FCIDය සීරුවෙන්: මහා පරිමාණ වංචා 60ක පරීක්ෂණ වාර්තා නීතිපති අතට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, March 15, 2017

FCIDය සීරුවෙන්: මහා පරිමාණ වංචා 60ක පරීක්ෂණ වාර්තා නීතිපති අතට

FCIDය සීරුවෙන්: මහා පරිමාණ වංචා 60ක පරීක්ෂණ වාර්තා නීතිපති අතට

පසුගිය වසරකට අධික කාලයක් පුරා මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් පරීක්ෂණයට භාජනය කරන ලද රුපියල් කෝටි දසදහසකට වඩා වටිනාකමකින් යුත් වංචා විශාල ප්‍රමාණයකට අදාළ පරීක්ෂණ වාර්තා අතරින් පරීක්ෂණ අවසන් කළ වාර්තා හැටකට අධික ප්‍රමාණයක ලිපිගොනු නීතිපතිවරයාගේ උපදෙස් ලබාගෙන ඒවාට නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා නීතිපතිවරයා වෙත යවා ඇතැයි වාර්තා වේ.

පසුගිය කාලයේ රජයේ රුපියල් කෝටි ගණන් වටිනා රාජ්‍ය දේපළ අයථා ලෙස භාවිතා කරමින් විවිධ ආකාරයෙන් පෞද්ගලික පරිහරණ සඳහා යොදා ගනිමින් සිදුකළ මහා පරිමාණ වංචා විශාල ප්‍රමාණයන් මේ අතර වන බව ආරංචි මාර්ග සඳහන් කළේය.

ඒවා අතරින් පසුගිය කාලයේ ජනාධිපති කාර්යාලයේ වාහන මුදල් සහ වෙනත් දේපළ අනිසි ලෙස භාවිතා කිරීමට අදාළ වාර්තාද, ජනාධිපති කාර්යාලයේ මුවාවෙන් සිදු කළ තවත් වංචා රැසකට අදාළ පරීක්ෂණ වාර්තා, හිටපු දේශපාලනඥයන්, අමාත්‍යංශ ලේකම්වරු, අධ්‍යක්ෂ මණ්ඩල නිලධාරින් ඇතුළු විවිධ තරාතිරමේ නිලධාරින් ඔවුන්ගේ ඥාතීන් විසින් සිදු කරන ලද රාජ්‍ය දේපළ අනිසි ලෙස භාවිතයට අදාළව සිදු කරන ලද පරීක්ෂණ රැසක් ද මේ අතර වෙයි. මේ සෑම පැමිණිල්ලක්ම රුපියල් කෝටි පහ ඉක්මවා ගිය ඒවා බවද අනාවරණය වී ඇතැයි එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.

මේ පරීක්ෂණ සිදු කිරීමේදී මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නිලධාරින්ට එම පරීක්ෂණවලට අදාළ පැමිණිලිවලින් ඉදිරිපත් කර ඇති තොරතුරු තහවුරු කර ගැනීම සඳහා අදාළ ආයතන වෙත ගොස් පරීක්ෂණවලට තොරතුරු ලබා ගැනීමේදී දැඩි පීඩාවකට පත්වීමට සිදු වී ඇති අතර ඊට හේතුව වන්නේ එම තොරතුරු අදාළ ආයතනවල නිලධාරීන් විසින් පරීක්ෂණවලට ලබා නොදි සඟවා තැබීමට උත්සාහ කිරීම නිසා බව එම තොරතුරු අනාවරණ කළේය.

කෙසේ වෙතත් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් මේ පැමිණිලිවලින් ඉදිරිපත් කර ඇති තොරතුරුවලටත් වඩා වැඩි මහා පරිමාණ වංචා පවා සොයාගෙන ඇති බවද මූල්‍ය අපරාධ කොට්ඨාස ආරංචි මාර්ග සඳහන් කරයි.

මූල්‍ය අපරාධ කොට්ඨාසය නීතිපති දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර ඇති පරීක්ෂණ වාර්තාවලට නීතිපති උපදෙස් ලැබෙන තෙක් මේ වන විට බලා සිටින අතර කඩිනමින් එම නීතිපති උපදෙස් ලැබෙන්නේ නම් ඔවුන්ගේ පරීක්ෂණවලට අදාළ කටයුතු අවසන් කළ හැකි බවද එම ආරංචි මාර්ග පැවසී ය.

මේ අතර මේ වන විට මුල්‍ය අපරාධ කොට්ඨාසයට ලැබෙන පැමිණිලි ප්‍රමාණය විශාල වශයෙන් අඩු වී ඇති බවද වාර්තා වෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad