ජයලත් මනෝරත්නගෙ පුතු සිය පියා පිළිබදව කියන කතාව - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, March 28, 2017

ජයලත් මනෝරත්නගෙ පුතු සිය පියා පිළිබදව කියන කතාව

සමහරු සල්ලි මත්තේ නැහෙද්දී තාත්තා වින්දනය සොයමින් ඇවිදිනවා

සිංහල වේදිකාව, සිනමාව සහ රූපවාහිනිය විජයග්‍රහණය කළ චරිතාංග නළුවකු වශයෙන් ජයලත් මනෝරත්නයන් දෙස් විදෙස් ශ්‍රී ලාංකේය රසික රසිකාවියන් අතරේ ඉතා ප්‍රකටය. ඔහුගේ රංගන හැකියාව පිළිබඳ අටුවා ටීකා ලිවීමට අවශ්‍ය නැත. එකිනෙකට හාත්පසින්ම වෙනස් හැසිරීම් රැගත් සහෝදරයන් තිදෙනෙකුගේ චරිත තුනක් එකවර තුන්පත් රටාවක ලස්සන ටෙලි නාට්‍යය තුළ ඔහු මැවූ ආකාරය ප්‍රේක්ෂකයා තුළ අදටත් මතකයේ රැඳී තිබේ. එම ටෙලි නාට්‍යයේ ඔහුගේ පුත් බානුක ප්‍රබුද්ධ මනෝරත්න ද රඟපෑවේය. කලාකරුවන් වන මව්පියන්ගේ මග පෙන්වීම හා ආශිර්වාදය ඇතිව කලා ලෝකයට පිවිස ගයන, වයන, රඟන දූ දරුවන් අඩුවක නැති සමාජ වටාපිටාවක ජයලත් මනෝරත්නයන්ගේ පුත් තිස්අට හැවිරිදි බානුක මෙල්බන් නගරයට වී අද ගත කරන ජීවිතය අප සිත තුළ කුහුලක් මතු කරවන්නට සමත් වූ කාරණාවක් විය.

බානුගේ පවු‍ලේ විස්තර මොනවද..?

මගේ බිරිඳ හිරණ්‍යා දුලාෂණී ගමආරිය. අපට දූවරුන්ම තුන් දෙනෙක් ඉන්නවා.මම මෙල්බන්වලට පැමිණ දැන් වසර දහයක් වෙනවා. මම පිහිටුවා තිබෙනවා ප්‍රසංග කළමනාකරණ ආයතනයක්. එමගින් මෙල්බන්වල සිදුකරන බොහෝ ප්‍රසංග සඳහා අවශ්‍ය සැලසුම් සහ ඉදිරිපත් කිරීම් මගේ ආයතනය මගින් සිදු කරනවා. ඒ වගේම මගේ තාත්තා වසරකට වරක් අපිව දකින්න මෙල්බන්වලට එනවා. එසේ පැමිණි බොහෝ අවස්ථාවල දී තාත්තාගේ වේදිකා නාට්‍යයක් මෙල්බන් ප්‍රේක්ෂකයන් සඳහා ඉදිරිපත් කරන්න මම කටයුතු කරනවා.

ඔබ කලා කටයුතුවලින් ඈත් වෙලාද ඉන්නේ..?

නැහැ. 2007 වසරේ සිට මම මෙල්බන්වල පැවැති විවිධ ප්‍රසංගවලට නොයෙක් ඉසව්වලින් සම්බන්ධ වුණා. 2010 දී තමයි මම ප්‍රසංග කළමනාකරණ ආයතනය ආරම්භ කළේ. ශ්‍රී ලංකාවේ ප්‍රසංග මෙල්බන්වල සිදුකරන බොහෝ අවස්ථාවලදී මම තමයි ඒවායේ කළමනාකරු විදිහට කටයුතු කරන්නේ. අද වන විට එය ඉතා සාර්ථක ආයතනයක් බවට පත් වී තිබෙනවා.

ඒ හැරෙන්නට ඔබේ පියා සම්මානනීය කලාකරුවෙක්. දක්ෂ රංගන ශිල්පියෙක්. නමුත් ඔබ පියාගේ අඩිපාරේ දිගටම ගියේ නැහැ. ඇයි ඒ.?

ඇත්ත මට මගේ තාත්තාගේ කිට්ටුවටවත් යන්න බැරි වුණා.

ඒ ගැන කනගාටුවක් නැද්ද.?

මගේ තාත්තා ඈත දුෂ්කර ගම්මානයක් වන නුවරඑළිය, දෙහිපේ සිට කොළඹට ආපු ගැමියෙක්. නමුත් ඔහු ශ්‍රී ලංකාවේ වේදිකාව, සිනමාව හා රූපවාහිනිය හරහා ප්‍රේක්ෂකයන්ගේ සම්පතක් වුණා. ඔහු බොහෝ දේ කියවන කෙනෙක්. විශ්වවිද්‍යාලයන්හි බාහිර දේශකයෙක්. නැටුම්, ගැයුම්, වැයුම් ගැන ඔහු සතු කුසලතා මම අමුතුවෙන් කිවයුතු නැහැ. නමුත් ඒ සියල්ල එක්ක මම ඉන්නේ කොතැනද? මම ඉගෙන ගත්තේ කොළඹ නාලන්දා විදුහ‍ලේ. මගේ ඇසුර තිබුණේ කොළඹ සුළඟ එක්ක. කර්කෂ හා වාණිජ නගරයක් එක්ක කරපු ගනුදෙනුව හේතුවෙන් ගමේ සුළඟ අහිමි වූ මට තාත්තාගේ දක්ෂතාවන්හි සුළඟ වදින කිට්ටුවටවත් ළඟා වෙන්න අමාරු වුණා. කොටින්ම කියනවා නම් තාත්තාගේ පදනම මට අහිමි වුණා. එය කනගාටුවට කාරණයක් තමයි.

නමුත් බොහෝ කලාකරුවන්ගේ දරුවන් ක්ෂේත්‍රයට එන්නේ ඔබ කියන ඔය පදනම එක්ක ‍නෙවෙයිනේ.

සමහර විට. නමුත් මම කැමති නැහැ නොදන්නා දේ කරන්න. මම කරන කටයුත්ත ගැන මට හොඳ දැනීමක් හා අවබෝධයක් තිබෙන්නට ඕනේ. කලාව පිළිබඳ ප්‍රමාණවත් අවබෝධයක් නැතිව තාත්තා කරපු නිසා මමත් කරන්නට ඕනෑ යන ස්ථානයේ මම නැහැ. ඒවා වැඩිකල් රඳා පවතින්නේ නැහැ.

ඔබ පවසන කරුණු විවාදාත්මකයි.

වෙන්න පුළුවන්. නමුත් ඒකනේ ඇත්ත. අද සමහර ටෙලි නාට්‍ය නරඹන විට මට හිතෙනවා චරිත නිරූපණයට තිබෙන හැකියාවට වඩා සොයා බලා ඇත්තේ රූපය පිළිබඳ කියලා. රූමත් යැයි සමහරු නිගමනය කළ පළියට ඒක සම්පතක් වෙලා නැහැ රූපවාහිනියට. මේ නිසා මම දන්නා දෙයින් රස්සාවක් කරලා ඉගෙනීම දියුණු කර ගන්නයි උත්සහ කරන්නේ.

ඔබ පවසන ආකාරයට වත්මන් රූපවාහිනී ක්ෂේත්‍රයේ නළු නිළියන් යැයි කියන සමහර උදවිය රඟපෑමට අවශ්‍ය කිසිම සුදුසුකමක් සපුරා නැහැ.

හරියටම හරි. මෑත කාලයේ වෘත්තීය මට්ටමින් පුහුණුව ලැබූ නළුවෙක් තමයි සෞම්‍ය ලියනගේ. මහේන්ද්‍ර පෙරේරා අයියාගේ වැඩමුළුවලින් බිහි වුණ දක්ෂ තරුණ, තරුණියන් පිරිසකුත් ඉන්නවා. නමුත් ලංකාවේ රූපවාහිනී කර්මාන්තයේ විශාල කඩා වැටීමක් පෙන්නුම් කරනවා. ලිංගිකත්වයට සමහරු මුල් තැනදීලා. බාහිර ස්වරූපයේ තිබෙන වාසනා ගුණය හේතුවෙන් රංගනයක් කළාට එතැන පැවැත්මක් නැහැ. සතියක් දෙකක් යනවිට කාටවත් මතක නැහැ ඒ නළු නිළියන්ව.

වේදිකාවත් එහෙමද.?

වැඩි වෙනසක් නැහැනේ. රාජිත දිසානායක වැනි යොවුන් නාට්‍යකරුවන් ක්ෂේත්‍රය තුළ යමක් කරන්නට උත්සහ දරනවා. ප්‍රේක්ෂකයින් සතුව තිබුණ රසඥතාව මොට කරමින් යන යුගයක් දැන් ශ්‍රී ලංකාවේ බිහි වී තිබෙන බවක් තමයි මෙල්බන් සිටියත් මට දැනෙන්නේ.

මේ තත්ත්වයත් එක්ක ඔයාගේ තාත්තා කොහොමද ඔළුව 'ගහගෙන' ඉන්නේ..?

තාත්තට ඉන්නවා සෑම පැත්තකින්ම දක්ෂ පිරිසක්. ඒ වගේම තාත්තා පටිගත කළ පසුබිම් හඬ යොදා ගනිමින් නාට්‍ය කරන්නේ නැහැ. වේදිකාවේ සෑම ඉසව්වක් පිළිබඳ ඔහු විනිශ්චය කරනවා. ඉව අල්ලනවා. ඒ ගැන ඔහුට තිබෙන පෘථුල දැනුම හේතුවෙන් තාත්තාට බිය වෙන්නට හේතුවක් නැහැ. ඔහු ඇතුළු පිරිවර සොයන්නේ සාක්කු පිරෙන්න සල්ලි නොවෙයි. වින්දනය පමණයි. ප්‍රේක්ෂකයින්ට වින්දනය ලබා දී හිස් අතින් තාත්තා ගෙදර ආ දවස් අප්‍රමාණයි. ඒ වගේම වේදිකාවට දැනුම නැතිව සමහර නළු නිළියන් කරන රංගනයේ දී ඔවුන් සහ ප්‍රේක්ෂකයින් විඳින වදය තාත්තා අත්විඳ තිබෙනවා. ඒ නිසා මම හිතනවා තාත්තා ඇතුළු පිරිස දෙතුන් දෙනෙකුට හෝ නාට්‍යයක් පෙන්වා ඔවුන්ගේ හදවත් මෘදු කොට හිස් අතින් හෝ ගෙදර එන බව.

අනුර හොරේෂස්
උපුටාගෑනීම - ලක්බ්ම

No comments:

Post a Comment

Post Bottom Ad