සා.පෙළ ගණිතය නිසා බිමල් හා අකිල ගැටෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, November 23, 2016

සා.පෙළ ගණිතය නිසා බිමල් හා අකිල ගැටෙයි

සා.පෙළ ගණිතය නිසා බිමල් හා අකිල ගැටෙයි

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අ.පො.ස සාමාන්‍ය පෙළ ගණිතය විෂය සමත් නොවුණු සිසුන්ට ද උසස් පෙළ විභාගයට පෙනී සිටීමට අවස්ථාව ලබාදෙන බවට කළ ප්‍රකාශයට ඊයේ (22) පාර්ලිමේන්තුවේදී ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා විරුද්ධත්වය දැක්වීය. 

බිමල් රත්නායක මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ මෙරට අධ්‍යාපනයේ මට්ටම රැඳී තිබෙන්නේ ගණිතය විෂය නිසා බවත් ගණිතය නොමැතිව සෞන්දර්යය විෂයන් හැදෑරීමට පවා නොහැකි බවත්ය.

ඒ සම්බන්ධව අදහස් දැක්වූ බිමල් රත්නායක මහතා,"සාමාන්‍ය පෙළ ගණිතය සමත් නොවී උසස් පෙළ විභාගයට පෙනී සිටීමට අවස්ථාව දෙනබව අධ්‍යාපන ඇමැති කිව්වා. නමුත් ගණිතය දැනුම අත්‍යවශ්‍යයි. සංගීතය කරන්නත් ගණිත දැනුම අවැසි බව අමරදේවත් කිව්වා. අපට වියුක්ත චින්තනය අවශ්‍යයි. ගණිතයෙන් තමයි අපිට සංකල්ප දෙන්නේ. මම ගරු ඇමැතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ කරුණාකරලා, ගණිතය නැතුව දරුවෝ උඩට ගිහින් වැඩක් නෑ. හිතන්න බැරි නම් දරුවන්ට තේරුමක් නෑ. අවුරුදු 11ක් පාසල් ගිහින් ලකුණු 35ට වැඩිය ගන්න බැරිව ළමයින් අසමත්වීමට විසඳුම ඒක නෙමෙයි. මේ රටේ අධ්‍යාපනයේ මට්ටම රැකිලා තිබෙන්නේ ගණිතය නිසා. ඒ නිසා ඔය දේ කරන්න එපා. ඒක අධ්‍යාපනයට මරු පහරක්. ගණිතය නැතුව ක්‍රිකට් ගස්සවන්නවත් යවන්න එපා" යනුවෙන් කියාසිටියේය.

ඊට පිළිතුරු දුන් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා කියා සිටියේ ගණිතය විෂය අත්‍යවශ්‍ය උසස් පෙළ විෂයයන් සඳහා ගණිතය සමත් වීම අනිවාර්ය බවත් රොබෝ තාක්ෂණය වැනි වැඩ මූලික කරගත් විෂයයන් සඳහා ගණිතය සමත්වීම අනිවාර්ය නොකළ බවත්ය.

එහිදී බිමල් රත්නායක මන්ත්‍රීවරයා,අවුරුදු 10කට පස්සේ ඔබතුමාට පෙනෙයි මම අධ්‍යාපනයට වළක් කපලා තිබෙන්නේ කියලා. කරුණාකර ගණිත මහාචාර්යවරු කැඳවා තීරණයක් ගන්න" යැයි පැවසූ අතර ඊට පිළිතුරු දෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා කියාසිටියේ "ලෝකයේ දියුණු අධ්‍යාපන ක්‍රම සොයා බලා තමා අපි තීන්දු තීරණ අරගන්නේ" ලෙසයි.

No comments:

Post a Comment

Post Bottom Ad