ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ උණුසුම් තත්ත්වයක් - ආරක්ෂාවට පොලිසිය කැඳවයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, November 29, 2016

ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ උණුසුම් තත්ත්වයක් - ආරක්ෂාවට පොලිසිය කැඳවයි

ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ උණුසුම් තත්ත්වයක් - ආරක්ෂාවට පොලිසිය කැඳවයි

අද (29) දිනය පුරාවට රියදුරු බලපත්‍ර සඳහා වෛද්‍ය සහතික ලබා ගැනීමට පැමිණෙන පිරිස විශාල වශයෙන් ඉහළ යාම නිසාත් එලෙස පැමිණෙන පිරිස් කලහකාරී ලෙස හැසිරීම නිසාත් පොලිස් ආරක්ෂාව ලබා ගැනීමට කටයුතු කළ බව ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති වෛද්‍ය රෝහණ පුෂ්පකුමාර මහතා පවසයි.

එලෙස පැමිණෙන පිරිස් කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතන තුළ උණුසුම්කාරී තත්ත්වයක් ද හටගෙන තිබේ.

ලබන වසර සඳහා වන අයවැය යෝජනා මගින් වැරදි කිහිපයක් සඳහා පනවා ඇති දඩ මුදල රුපියල් 25,000 දක්වා ඉහළ නැංවීමට කර ඇති යෝජනාව හේතුවෙන් මෙම තත්ත්වය දක්නට ලැබෙන බව සභාපතිවරයා තවදුරටත් සඳහන් කර සිටියේය.

ඒ අනුව මේ වනවිට ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ නුගේගොඩ පිහිටි ප්‍රධාන ආයතනයට ආරක්ෂාව සැපයීම සඳහා කොහුවල පොලිස් ස්ථානයේ නිලධාරීන් කිහිපදෙනෙකු පැමිණ සිටී.

මේ අතරින් වෛද්‍ය සහතික ලබා ගැනීමට පැමිණෙන වැඩි පිරිසක් ත්‍රිරෝද රථ සහ යතුරුපැදි සඳහා රියදුරු බලපත්‍ර අපේක්ෂා කරන අය බව එහි සභාපති වෛද්‍ය රෝහණ පුෂ්පකුමාර මහතා පැවසීය.

මේ අතර, රථවාහන පැවරීම සම්බන්ධයෙන් මහජනතාවට ලබා දී තිබූ සහන කාලය ලබන මස 31 වනදා දක්වා දීර්ඝ කිරීමට අදාළ යෝජනාවක් කැබිනට් මණ්ඩලය වෙත යොමු කර තිබේ.

ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් සෝමවීර මහතා ප්‍රකාශ කළේ රථ වාහන පැවරීම සම්බන්ධයෙන් මහජනතාවට පසුගිය සැප්තැම්බර් 01 වනදා සිට ලබන නොවැම්බර් 30 වන දින දක්වා මාස 3ක සහන කාලයක් ලබාදුන් බවයි.

එහිදී වැඩි පිරිසක් වාහන පවරා ගැනීම සඳහා පැමිණ ඇති අතර, තවදුරටත් එම කාලය දීර්ඝ කරන ලෙසට බොහෝ පිරිසක් ඉල්ලීම් කර තිබේ.

ඒ හේතුවෙන් අදාළ යෝජනාව අද (29) පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සාකච්ඡා කෙරෙනු ඇති බව ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම්වරයා කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad