මහේලට පණ දෙන්න හදන ජමීල් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, May 21, 2016

මහේලට පණ දෙන්න හදන ජමීල්

ශ්‍රී ලංකාව ක්‍රිකට් වලට ගොඩක් ප්‍රසිද්ධ රටක්. තව නොබෝ දිනකින් ආරම්භ වන ශ්‍රීලංකාව හා එංගලන්තය අතර තරගාවලිය නිසා නැවතත් ක්‍රිකට් උණුසුම අපි අතරට පැමිණේවි.

ඒ නිසා අද ක්‍රිකට් සම්බන්ධ මාතෘකාවක් ගැන තමයි කතා කරන්න යන්නෙ. ඒ අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩකයන්ව දිරිගන්වන විශේෂ පුද්ගලයකු ගැන. මා එසේ පැවසූ විගසම ඔබේ මතකයට පැමිණෙන්න ඇත්තේ පර්සි මහතාව හෝ ගයාන්ව. එහෙත් මොහුගේ නම ජමීල් හස්සන් (Jameel Hassan) . ජමීල් කියන්නෙ පකිස්තානු ජාතිකයෙක්.

නමුත් ඔහුගේ ප්‍රියතම ක්‍රිකට් කණ්ඩායම තමයි ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායම. 1992 වසරේ මාර්තු මස පළමුවැනිදා පාකිස්තානයේ පේශාවර් හි උපත ලබා ඇති මොහුගේ ආගම සුන්නි ඉස්ලාම් දහමයි. පේශාවර් විශ්වවිද්‍යාලයෙන් අන්තර්ජාතික සබඳතා පිළිබඳ උසස් උපාධියක් ලබාගෙන ඇති මොහු වර්තමානයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි හි පෞද්ගලික ආයතනයක සේවය කරයි.

අපි කවුරුත් ආදරය කරන මහේල ජයවර්ධන තමයි මොහු වැඩියෙන්ම ඇලුම් කරන ක්‍රීඩකයා. මොහු කුඩා කාලයේ පටන්ම (වසර 1999) ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායමට සහයෝගය දක්වා ඇති අතර ජමීල්ගේ මව්බිම වන පාකිස්තානය හා ශ්‍රීලංකාව අතර තරග වලදී පවා මොහු ශ්‍රීලංකා කණ්ඩායමට සහයෝගය දක්වන්නට තරම් අපේ සිංහ පැටවුන්ට ආදරය කරයි.

මොහු එසේ උපන් රටේ ක්‍රිකට් කණ්ඩායමට වඩා ශ්‍රීලංකා කණ්ඩායමට සහයෝගය දක්වන්නේ අන් කිසිම හේතුවක් නිසා නොව ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායම ඉතාම කැපවීමකින් හා කණ්ඩායම් හැඟීමෙන් ක්‍රීඩා කරන අභිමානවත් කණ්ඩායමක් නිසා බව ඔහු පවසනවා. මොහුගේ දිවියේ දුක්බරම දිනය ලෙස මොහු සඳහන් කරන්නේ පාකිස්තානයේ ලාහෝර් හිදී ශ්‍රීලංකා කණ්ඩායමට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වූ දිනයි.

එම අවස්ථාව වනවිට ඔහු පාසලේ අධ්‍යයන කටයුතුවල නිරතව සිට ඇති අතර මොහුට නිවසේ දුරකතනයට ඇමතුමක් පැමිණ ඇත, එම දුරකතන ඇමතුමෙන් ඔහුට පවසා ඇත්තේ ශ්‍රීලංකා කණ්ඩායමට ප්‍රහාරයක් එල්ල වී ඇති බවත් මහේල ජයවර්ධන එම ප්‍රහාරයෙන් මියගොස් ඇති බවත් ය.

එම පුවත ඇසීමෙන් ශෝකයට හා කම්පනයට පත් වූ ජමීල් හඬන්නට පටන්ගෙන ඇති අතර පාසල නිමා වූ විගසම නිවෙස වෙත දිව ගොස් සෑම මිනිත්තුවක් පාසාම ඔහු කර ඇත්තේ ප්‍රවෘත්ති නැරඹීමයි. මඳ වේලාවකින් සිදුවීම පිළිබඳ සැබෑ තොරතුරු දැනගැනීම ලැබීම නිසා මොහුගේ සිතට සැනසීමක් දැනී ඇති අතර ජමීල් ඒ මොහොතේම ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් දෙවියන්ට ස්තූති කර ඇත.

දැන් කතා කරන්න යන්නේ ජමීල් ගේ ජීවිතයේ සතුටුම දිනය ගැනයි. ඒ 2011වසරේ එක්තරා දිනයක්. ඒ වනවිට ඔහු පදිංචි වී සිටියේ අබුඩාබි නගරයේය. ශ්‍රීලංකාව පකිස්තාන අතර ටෙස්ට් තරගාවලිය ආරම්භ වීමට පෙරාතුව මොහුට මහේල ජයවර්ධන ක්‍රීඩකයාව හමුවීමට අවස්ථාවක් උදා වී ඇත.

මහේල හමුවූ පසු ජමීල් පවසා ඇත්තේ ඔහු මහේලගෙ ප්‍රියතම රසිකයකු බවත් ඔහු මහේලට ගොඩක් ආදරය කරන බව හා ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායමට සහයෝගය දක්වන්නේ මහේල නිසා බවයි. මෙය ඇසූ පසු මහේල ඔහු සමඟ සිනාසී ඔහුව වැළඳගෙන ඇති අතර ඔහු සමඟ ඡායාරූපයකට පෙනී සිට ඇත. මොහු මහේලගේ හෙල්මටය ගලවන ලෙස ඉල්ලීමක් කල ඇති අතර මහේල ඉතා සතුටින් එම ඉල්ලීම ඉෂ්ට කර ඇත.

ඉන්පසුව මොහු මහේලගෙ උරහිසට අතක් දමාගෙනද ඡායාරූපයකට පෙනී සිට ඇත. එතරම් ශ්‍රේෂ්ඨ ක්‍රීඩයකු ඔහු සමඟ ඉතා නිහතමානීව හැසිරීම ජමීල් විමතියට පත් වුනු කාරණාවක් වී ඇති අතර ඒ නිසාම මහේල කෙරෙහි ඔහුට තිබූ ගෞරවය දහස් ගුණයකින් වැඩි වී ඇත. එදින ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයන් හමුවී ඔවුන්ගේ සමරු අත්සන් ලබා ගත්තද එම දිනපොත ඔහු අතින් නැතිවී ඇති බව ජමීල් පවසන්නේ ඉතා දුකිනි. 


එහෙත් ඔහු ක්‍රීඩකයන් සමඟ ලබා ගන්නා ලද ඡායාරූප සියල්ල ඔහු සතුව සුරක්ෂිතව තිබීම ඔහුට සතුටකි. මොහු මෙසේ පිස්සුවෙන් මෙන් ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායමට සහයෝගය දක්වන බව මොහුගේ නෑදෑ හිත මිතුරන් හා අසල්වැසියන් සියල්ලම දන්නා අතර මොහුගේ ගම් ප්‍රදේශයේ අය මොහුට කතා කරන්නේ ජමීල් කියා නොව මහේල කියාය.

අබුඩාබි නගරයේ පැවත්වෙන සෑම තරගයකදීම ශ්‍රීලංකා කණ්ඩායමට සහය දැක්වීමට යන මොහු කිහිපවිටක්ම ශ්‍රීලංකාවේද සංචාරය කර ඇත. ජමීල් පවසන්නේ ශ්‍රීලාංකිකයන් ඉතාමත් නිහතමානී අවංක පුද්ගලයන් බවයි. උපතින් ශ්‍රීලාංකිකයකු නොවුණත් හදවතින් ශ්‍රී ලාංකිකයකු වන ජමීල්, දිනන දවසට හුරේ දමා පැරදුණු විට ක්‍රීඩකයන්ට බනින සමහරක් ක්‍රීඩාලෝලීන්ට මහඟු ආදර්ශයක්.

කවිඳු වීරරත්න

No comments:

Post a Comment

Post Bottom Ad