ඉතින් පේශල, චැම්පියන් ස්ටාස් නැගලම යනවා නේද?
ඔව් අනේ හොඳට යනවා. හොඳටම.
කොහොමද ලැබෙන ප්‍රතිචාර?
ප්‍රතිචාර ගොඩක් හොඳයි. ඇත්තටම අපි මේ වැඩසටහන පටන් ගත්තේ ඒ කාල තීරුව ආවරණය කරගන්න. ඉතින් ආරම්භයේදී අපි හිතුවේ නැහැ මේක මේ තරම් මිනිස්සු අතරට යයි කියලා. මේ දැනුත් ස්වාමින් වහන්සේ නමක් කතා කරලා වැඩසටහන ගැන ගොඩක් ප්‍රශංසා කළා. ස්වාමින් වහන්සේලාගෙන් පවා ගොඩක් ප්‍රතිචාර ලැබෙනවා. පන්ති භේදයක් නැතිව හැමෝම බලන වැඩසටහනක් වෙලා දැන්. උසස් රැකියා කරන අය, බස්වල අය, ත්‍රීවීල්වල අය වගේ ලොකු පරාසයක ප්‍රේක්ෂක පිරිසක් එකතුවෙලා ඉන්නවා. මාර ප්‍රතිචාරයක් තියෙන්නේ.
ඇයි වැඩසටහනේදී හැම වෙලාවෙම සචිනිටම විතරක් විහිළු කරන්නේ?
ඒක තමයි වැඩසටහනේ මාකට් එක. ඒකට තමයි කවුරුත් කැමති. මම කියන්නේ මට හිතෙන හැටි.
එතකොට විරාමයකට යද්දි ඇයි සචිනිවම එක්කරගෙන යන්නේ?
ඉතින් වෙන කවුරුත් නැහැනෙ එක්ක යන්න. අනික සචිනිව අරගෙන ගියාමයි පොඩි ගැම්මක් එන්නේ. සමහර වෙලාවට මාධව හරි එදාට එන ආරාධිත අමුත්තෙක් හරි එක්කරගෙන යනවා. අපි සාමාන්‍ය කතා බහේදී කියන ගොඩක් දේවල්වල තේරුම සචිනි දන්නේ නැහැ. ඒවා කියලා දෙන්න, පෙන්නන්න කියලා තමයි සචිනිව විරාමයේදී එක්කගෙන යන්නේ.
ආරාධිත අමුත්තන්ව විහිළුවට අරගෙන ප්‍රශ්න ඇතිවෙලා නැද්ද වැඩසටහනේ?
අද වෙනකල් කවුරුවත් තරහවෙලා නැහැ. එහෙනම් ඉන්දියාවේ වැඩසටහන්වලට ඇවිත් ෂාරුක් ඛාන් වුණත් මොනතරම් බයිට් වෙනවද?
විශේෂ අර්ථයක් නැති දේවල් කරන අතරෙම මෑතක අර්ථවත් ගීතයක් නම් කළා නේද?
ඔව්. මනුසතා කියලා ගීතයක් කළා ඉරාජ්ලා එක්ක. අපිට තියෙන ප්‍රශ්න ගැනයි මේ ගීතයෙන් කියන්නේ. මේ රටේ ජනතාවට ජාති, ආගම් භේද, ජාති ආගම් ප්‍රශ්න ඕන නෑ කියලයි අපි කියන්නේ.
ඔබ සාම්ප්‍රදායික සංගීතය ගැඹුරින් අධ්‍යයනය කළ කෙනෙක්. ඒත් ඇයි ඒ දේවල්වලින් ප්‍රයෝජනයක් නොගෙන වෙනත් අංශවලින් විතරක් ඉදිරියට එන්නේ?
ඉගෙනගත්ත දේවල්වලින් ප්‍රයෝජනයක් නෑ කියන්න බෑ. මම ඒවායින් ප්‍රයෝජනය ගන්නවා. දැනට මගේ කොළඹ සහ කුරුණෑගල පන්තිවල ගොඩක් ළමයි සංගීතය ඉගෙන ගන්නවා. සාම්ප්‍රදායික සංගීතයෙන් සංගීත ක්ෂේත්‍රයට කරන්න පුළුවන් දේ මම කරනවා. ඒත් ගොඩක් මාධ්‍ය නාලිකා සාම්ප්‍රදායික සංගීතයට ඉඩක් දෙන්නේම නැති තරම්. අද රිවිරෙන් මට කතා කරලා මගෙන් විස්තර අහන්නෙත් මගේ ටීවී වැඩසටහන් නිසා මිසක් මම සාම්ප්‍රදායික සංගීතය ඉගෙනගෙන ආව කෙනෙක් නිසා නෙවෙයිනේ. අපි ඉන්දියාවේ ඉඳන් ලොකු දුකක් විඳගෙන මේ දේවල් ඉගෙනගෙන ආවට කවුද ඒවා අහන්න ඉන්නේ. සින්දුවක් කරලා ජනප්‍රිය වුණොත් ඇරෙන්න සාම්ප්‍රදායික සංගීතෙ ඉගෙනගෙන ආව කිව්වට මිනිස්සු වටිනාකමක් දෙන්නේ නැහැ. මගේ න්‍යාය මේකයි. නුවරට යන ප්‍රධාන පාර වහලා නම් “ෂෝට් කට්” එකකින් හරි යන්න ඕනෙ.
ඉතින් සංගීතෙට දැනෙන්න දෙයක් කරන්නේ නැද්ද මේ අවුරුද්දෙවත්?
ඔව්. මේ අවුරුද්දේ අපේ දක්ෂතා තියෙන අය එකතුවෙලා දෙයක් කරන්න ඕන. ගිය අවුරුද්දේම කට්ටිය හිටියේ අඬාගත්ත ගමන්. දුක හිතුණා කියයි, ඇස් රිදෙනවා කියයි, කඳුළු ගලනවා කියයි. අඬාවැටෙන සිංදු විතරයි තිබුණේ. ඉස්සර සංගීතයේ ගීතයේ විවිධත්වයක් තිබුණා. අමරදේව, නන්දා මාලනී වගේම එම්.එස්. ප්‍රනාන්දු, නිහාල් නෙල්සන් ගී ගැයුවා. සරත් දසනායකයන්, කේමදාස මාස්ටර් සංගීතයට අලුත් දේ එකතු කළා. ලයනල් රන්වලයන් ජන ගායනා අංශය දියුණු කළා. ඉස්සර වේදිකා නාට්‍ය ගීත, ටෙලි නාට්‍ය ගීත කොච්චර ප්‍රසිද්ධයිද? ඒ සංගීත කණ්ඩ වලින් අපිට නාට්‍ය අඳුනගන්න පුළුවන් තත්ත්වයක් තිබුණා. ඒත් දැන් හැම නාට්‍යයේම එකම කතාව, එකම නළු නිළියෝ නම විතරයි වෙනස්. මම ආස විවිධත්වයට. අද කහපාට දැක්ක නම් හෙටත් කහපාට නොදැක ඒ වෙනුවට රතු පාට දැක්කොත් වෙනසක් තියෙනවා.
එතකොට මේ අවුරුද්දේ මංගල උත්සවයත් ගන්නවා කිව්වා නේද?
මේ අවුරුද්දේ වෙඩින් එක ගන්න හිතාගෙන තමයි ගිය අවුරුද්දේ විවාහ ගිවිස ගත්තේ. ඒත් ඉතින් කියන දේවල් කරන්න පුළුවන් නම් බැරිද? පහුගිය කාලේ පොඩි පොඩි නොගැළපීම් ටිකක් එක්ක ඒගොල්ලෝ මාව ප්‍රතික්ෂේප කළා.
ඉතින් දැන් මොකද කරන්නේ?
මේ විදියටම ඉන්නවා බ්‍රහ්මචාරීව. බුදුහාමුදුරුවොත් කියලා තියනවානේ කසාද ජීවිතේ දුකක් කියලා. තනියම ජීවිතේ කොච්චර ජොලිද කියලා ඔයා දන්නවද? ජීවිතේ එක පැත්තක් සාර්ථක වෙනකොට අනිත් පැත්තෙන් ප්‍රශ්න එනවා. ඒත් මම අටලෝ දහමින් කම්පා වෙන්නේ නැහැ.
පේශල මනෝජ් ළඟදීම වනගතවෙයි ද එතකොට?
නැහැ. ලෞකික ජීවිතේ දැහැමිව ගෙවනවා. ආරණ්‍යගත වෙනවට වඩා ඒක හොඳයි.
දැන් මේක ඇහුවම පේශලගේ රසිකාවියන්ට දුක හිතෙයිනේ?
රසිකාවියෝ මොකටද දුක් වෙන්නේ. ඒගොල්ලෝ සතුටුවෙයි. එතකොට ඒ එක්කෙනෙක් රීප්‍ලේස් වුණොත් එහෙම “පේශල ඔයාගේ ජීවිතේ මම සැපවත් කරන්නම්” කියලා.
No comments:
Post a Comment