චන්ද්‍රිකාට ඇරියස් කවර් කරගන්න දැන් කල යුතු දේ මෙන්න මේක.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, November 25, 2014

චන්ද්‍රිකාට ඇරියස් කවර් කරගන්න දැන් කල යුතු දේ මෙන්න මේක..

විරුද්ධ පක්ෂයේ පොදු අපේක්ෂකයා දින 100 ක කාලයකින් විධායක ජනාධිප‍ති ධූරය අහෝසි කරන බවට ප්‍රකාශ කරනවිට, එක්සත් ජාතික පක්ෂයේ තිස්ස අත්තනායක මහතා ප්‍රකාශ කරනුයේ පැය 24 කින් විධායක ජනාධිපති ධූරය අහෝසි කළ යුතු බවයි. 

පොදු අපේක්ෂකයාට සහය පළකරන ජනතාව මින් කවර මතයක් විශ්වාස කලයුතු දැයි? විමල් වීරවංශ අමාත්‍යවරයා ප්‍රශ්න කරයි. අමාත්‍යවරයා මෙම අදහස් පලකළේ නුවරඑළිය , කොත්මලේ “තොණ්ඩමාන්ගම“ ජනසෙවණ නිවාස ගම්මානය ජනතා අයිතියට පත්කිරීම වෙනුවෙන් පැවති උත්සවයට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වෙමිණි.

මෙහිදී අදහස් දැක්වූ විමල් වීරවංශ අමාත්‍යවරයා “ අපි කවුරුත් මේ රටේ ඉපදුණු, මේ රටේ ජීවත්වන, මේ රටේ මැරෙන මිනිස්සු. අපේ හැම හීනයක්ම තියෙන්නේ මේ රටත් එකක් බැදිලා. ගෙයක් හදා ගන්න හීනයක් තියෙනවා නම් ඒක වෙන රටක නෙමෙයි ඒ මේ රටේ. 

දරුවෙක් දීග දෙන්න හීනයක් තියෙනවා නම් ඒකත් මේ රටේ තවත් පවුලක දරුවෙකුට තමයි. ඉගෙන ගන්න ඕනේ කියලා හිතෙනවා නම් ඒත් මේ රටේ ඉස්කෝලයක. ජීවත් වෙන්න ඕනේ කියලා හිතෙනවා නම් ඒත් මේ රටේම රැකියාවක්. ඒ නිසා මේ රට තමයි සිංහල වුණත් දෙමළ වුණත් මුස්ලිම් වුණත් අපිව පෝෂණය කරන්නේ. 

මේ රට තමයි අපිව රැකබලාගන්නේ. ස්වභාවදහම ඉතාමත්ම අපූරුවටම නිර්මාණය කරපු රටක් මේ රට. තමුන්නාන්සේලා තමයි ඒ ස්වභාවදහම නිර්මාණය කරපු අපූරුම කලාපයේ ජීවත්වෙන්නේ. ඒ කලාපයේ ජීවත්වන තමුන්නාන්සේලා වතු කම්කරුවන්  හැටියට හඳුන්වලා එදා සුදු අධිරාජ්‍යවාදී පාලන කාළේ ඉතාම දුක්ඛිත ජීවිත ගත කරන්න  තමුන්නාන්සේලාගේ මුතුන්මිත්තන්ට සිදුවුණා. සුද්දා ගියා. 

තමුන්නාන්සේලා එහි ඉතුරු වුණා.  නමුත් තමුන්නාන්සේලාගේ ජීවන තත්තවය උසස් කරන්න මහා වැඩපිළිවෙලක්  ඒ පැවති බලවේගවලින්  ආවේ නැහැ. තොණ්ඩමාන් ඇමතිතුමන්ලා, එතුමාගේ පියතුමන්ලා ඔබලා වෙනුවෙන් ඒ කරන ලද දීර්ඝකාලීන උත්සාහයක ප්‍රතිඵල වශයෙන් තමයි එදාට සාපේක්ෂව අද යහපත් ජීවන තත්වයක්   උරුම කරගන්න පුළුවන්වෙලා තියෙන්නේ.

අතිගරු ජනාධිපතිතුමන් තොණ්ඩමන් ඇමතිතුමාගේ සාධාරණ හැම ඉල්ලීමක්ම ඉටුකරන්න කිසිවිටෙකත් පැකිළෙන්නේ නැහැ. තොණ්ඩමන් ඇමතිතුමන්ට සමහරුන්ට වගේ වචන දෙකකුත් නැහැ. ඒක තමයි ජනාධිපතිතුමා එතුමට වඩාත්ම කැමති. එතුමා  මම සර් එක්ක ඉන්නවා කිව්වොත් ඉන්නවා. මම නෑ කිව්වොත් නෑ. 

යනවද ඇහුවොත් නැහැ. කෙළින් එතුමා වැඩ. සමහර පක්ෂවල නායකයෝ නම් කොහෙට හැරෙනවද කියලා කේන්දරේ බල බල ඉන්නේ. ග්‍රහ මණ්ඩලය දිහා බලන් ඉන්නේ. මෙතුමා බොහොම විශ්වාසවන්තව අතිගරු ජනාධිපතිතුමත් එක්ක අද අත්වැල් බැඳගෙන රටේ රාජ්‍ය නායකයාගේ සහයෝගය සම්පූර්ණයෙන් වතුකරයේ ජනතාව වෙනුවෙන් අරගෙන අද ඒ අවශ්‍ය කරන බොහෝ සංවර්ධන කටයුතු ඉටුකරන්න කැපවෙලා කටයුතු කරනවා.

මේක විශේෂ කාලයක්. වහින කාලයක් නිසා නෙමෙයි මං එහෙම කියන්නේ.  ලබන මාසේ  8 වෙනිදට ජනාධිපතිවරණයට නාමයෝජනා දෙනවා. ජනාධිපතිතුමයි, අපි ඔක්කොම බලන් හිටියා අලියෙක් එයි කියලා. අලියෙක් ආවොත් ටිකක් තරඟයක් හරි තියෙයි කියලා. අන්තිමට අලියෙක් නෙමෙයි ආවේ. බලියක්. දැන් මහින්දට ඕනේ නෑ ඇහින්ද අපේක්ෂකයො. 

විරුද්ධ පක්ෂයේ  අපේක්ෂකයො අහුලලා දාන්නේ. එහෙ මෙහ වැටිලා ඉන්න අපේක්ෂකයො ඉන්නවා නම්  කැමතිද ඉල්ලන්න කියලා බලලා ආණ්ඩුවේ හරි එහෙම ආසාවක් තියෙනවා නම්  අහුදලා දානවා. මහින්ද පරද්දන්න බැහැ ඇහිදලා දාන අපේක්ෂකයන්ගෙන්. අලියෙක් එයි කියලා බලන් හිටපු අපිට දැන් හම්බවෙලා තියෙන්නේ බලියක්. 

මේ බලිය කවුද එව්වවේ? අර ධූරකාල දෙකක් නාස්ති කරපු වික්ටර් අයිවන් මහත්තයා ඇගේ දාපු අනුවර්ථ නාමයයි. චෞර රැජින.  මේ රටේ බැංකුවල සේවකයන්ට තිබිච්ච විශ්‍රාම වැටුප් අයිතිය නැතිකරපු කෙනා. අදත් ඉන්නවා බැංකුවල සේවකයෝ කොටසක් විශ්‍රාම වැටුප් අයිතිය නැතිව. ජනාධිපතිතුමා ආවට පස්සේ තමයි රාජ්‍ය බැංකුවල අලුතින් බඳවා ගන්නා සේවකයන්ට ඒ අයිතිය දුන්නේ. 

ඒ නෝනගේ කාළේ මේ රටේ කාලය කා දැමුවා. කරපු දෙයක් නැහැ. එතුමිය ගම්පහ දිස්ත්‍රික්කයේ ජීවත් වෙනවා කිව්වට පෑලියගොඩ හංදියේ තිබිච්ච අධිවේගී මාර්ගය හදන පරණ ඒ හදපු කෑල්ල දිහා බල බලා හිටියා මිසක් කවදාවත් ඒකට අත තිබ්බේ නැහැ.  එහෙම කාලෙ කාපු නායිකවක්. එතුමියට තියෙනවා ඇරියස් වගයක් කවර් කරගන්න. ඇරියස් කවර් කරගන්නවා අපේක්ෂකයෝ දාලා. 

නෝනත් ඇවිල්ලා නෝනගේ මඟපෙන්වීම යටතේ ඒ අපේක්ෂක බලියත් ඇවිල්ලා මාධ්‍ය සාක්ච්ඡාවක් තිබ්බා.  රටේ ජාතික ප්‍රශනයක් ගැන කිව්වද? වතුකරයේ ජනතාවගේ මොනවහාරි තියෙන ප්‍රශ්නයක් ගැන කිව්වද? උතුරේ ජනතාවගේ ප්‍රශ්නයක් ගැන කිව්වද? මොනවත් නැහැ. තම තමන්ගේ මොන මොනවහරි වෙච්ච දේවල් නිසා ඇතිවුණයි කියලා කියන හිතේ තියෙන මොකක්දෝ වේදනවාක් පිටකළා.

ඉතිං මේ තමන්ගේ දුක කිය කියා  හඬ හඬා ඉන්න අයට ඡන්දේ දීලා රටට වැඩක් වෙයිද? ඔහොම දේශපාලනයේ පොඩි පොඩි ප්‍රශ්න  නිසා හඬ හඬා වැලපෙන අයත් එක්ක රටට වැඩක් කරන්න පුළුවන් වෙයිද? කල්පනා කරලා බලන්න. එදා මේ පළාත්වල හිටපු දෙමළ සහෝදරවරුන්ට පවා කොළඹට ගියාම විවිධ ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිදුවුණා. හැදුනුම්පත අනිවාර්ය වුණා. පොලිසියේ ලියාපදිංචි වෙන්න වුණා.  

ජන කොටස් ඈත් වුණා. ඒ ඔක්කොම නැතිකරලා මේ වතුකරයත් ඇතුළුව, මධ්‍යම  කඳුකරයත් ඇතුළුව  උතුරත් නැගෙනහිරත් ඇතුළුව මුළු රටම  එක කොඩියක් යටතට   අරගෙන ආවේ වෙන කවුරුවත් නෙමෙයි. මේ රටේ රාජ්‍ය නායකයා  මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා.
තොණ්ඩමාන් ඇමතිතුමාටත් ජනාධිපතිතුමාට සහයෝගය දෙනවා කියලා සමහර විට ඉන්දියාවට එහෙම ගියාම  යම් යම් ප්‍රශ්නවලට මුහුණදෙන්නට සිදුවුණා. එහෙමයි කියලා එතුමා සැලුනේ නැහැ. 

එතුමා බලන්නේ ඉන්දියාවේ තත්ත්වේ නෙමෙයි,  මේ රටේ තත්ත්වේ. එතුමා බලන්නෙ තමුන්නාන්සේලාගේ තත්ත්වේ. එහෙ කලබල වුණයි කියලා එහේ කියන විදිහට කරයි කියලා තමුන්නාන්සේලාගේ මෙහෙ ජීවිතේ හොඳවෙන්නේ නැහැනේ.  මොන අභියෝග  ආවත් මේ රට එක්සේසත් කරලා සමඟි සම්පන්න කරලා අද මේ රට ඉස්සරහට යනවා.

මේ ප්‍රාදේශීය ලේකම්තුමන්ලා දන්නවා ප්‍රාදේශීය  ලේකම් බල ප්‍රදේශයකට කොතරම් මුදල් ප්‍රමාණයක් එනවද කියලා. මේ අවුරුද්දට විතරක් මෙහෙට රුපියල් මිලියන 400 ක්. ඒවායින් තමයි ඔබලාගේ පොදු අවශ්‍යතා බලලා ඉටුකරලා දෙන්නේ. මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති විතරක් නෙමෙයි, අධිවේගී මාර්ග, බලාගාර, ගුවන් තොටුපළවල් විතරක්  නෙමෙයි. 

පාසල්වලට මහින්දෝදය තාක්ෂණාගාර 2000 ක් විතරක් නෙමෙයි. මේ ගම්මානය ඇතුළේ  තියෙන සුළු අවශ්‍යතා, පොදු වුවමනාවන්. ආන්න ඒවත් ඉටුකරලා දෙන්න. ඒ එවන්නේ තමුන්නාන්සේලා වෙනුවෙන්. මේ පොදු ජනතාව ගැන හිතන නායකයෙක් හන්දා. නැත්නම් වෙන අමුතු ජාතියේ නායකයින් හිටියා නම් එහෙම සිතුවිලි පහළ වෙන්නේ නැහැ.

එනවයි කියන අපේක්ෂකයා කියනවා දින 100 න් විධායක ජනාධිපති ක්‍රමය අයින් කරනවා කියලා. තිස්ස අත්තනායක මහත්තයා කියනවා පැය 24 න් ඒක අයින් කරනවා කියලා. පැය 24 ක් කියන්නේ දින 100 ක්ද? දින 100 ක් කියන්නේ පැය 24 ක්ද? මං දන්නැති හින්දා අහන්නේ. දැන් එනවයි කියන අපේක්ෂකයා කියනවා දින 100 න් කරනවලු. 

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් කියනවා පැය 24 න් කරන්න ඕනලු. දැන් කෝකද පිළිගන්නේ.  ඔය පැය 24 යි, දින 100 යි තව ටිකකින් කියයි 150 යි. කෙරෙන වැඩක් නම් ඔහොම එක එක කතා කියනවද? මේවා හරියට කතා කරලා එකඟතා හදාගෙන පිළිවෙලට කෙරන වැඩක් නෙමෙයි කියලා නේද මේ පේන්නේ. මේ හොරට කුටු කුටු ගගා හිටියට ඕවා කතා කරලා නෑ මට පේන්නේ. 

දැන් දින 100 න් හරි පැය 24 න් හරි  චන්ද්‍රිකාගේ බලිය ඉල්ලලා දිනලා. දිනන්නේ නැහැ ජිවිතේට.  හීනෙන් දැක්කයි කියලා හිතමුකො. දින 100 න් දාලා එයා කොහෙද? යන්නේ ගෙදර. ගෙදර යන්න ඔහෙට පනින්න ඕනෙද? මෙහෙ ඉදලම යත හැකිනේ හොඳට. ගෙදර යන්න ආසාවෙන්ද මේ කරන්නේ. අගමැතිකම දෙනවලු  විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහත්තයට. 

ඒ කියන්නේ එක්සත් ජාතික පක්ෂිකයාගේ කතිරය ගස්සගන්න. දැන් යූ. ඇන්. පී. පාක්ෂිකයෝ බලන් හිටියා 2010 ආවා හංසයෙක්. මේ පාර කපුටෙක් නොදා අලියා එයි කියලා බලන් හිටියා. අවුරුදු ගාණකට පස්සේ ජනාධිපතිවරණයකට අලියට කතිරය ගහන්න.  කවුරුත් දන්න ලකුණනේ. අලියා වැටුනා. ගිය පාර හංසයා මේ පාර කොකා වගේ මට පේන්නේ. ඕක තමයි තත්ත්වය.

මේක රට හදන එකඟතාවක් නොවයි. චන්ද්‍රිකා නෝනට තියෙනවා එයාගේ ඇරියස් කවර් කරගන්න. අනිත් කට්ටියට තියෙනවා තම තමන්ගේ ඇරියස් කවර් කරගන්න. ඇරියස් කවර් කරන්න ජනාධිපතිවරු හදපු කාලේ ගියා. මේ රටේ ජනාධිපතිවරු හදන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා හදපු තැනට වඩා ඉස්සරහට මේ රට ගෙනියන්න මිසක් පස්සට ගෙනියන්න නෙමෙයි. 

එක එක්කෙනාගේ ඇරියස් කවර් කරන්න ඡන්දෙ දෙන්න තමුන්නාන්සේලා, අපිට පිස්සුද?  මේක පුදුම කතාවක්නේ. ඒගොල්ලොන්ට හරි පීඩනයක් තියෙවලු. ආතතියක් තියෙනවලු. ඉතිං බෙහෙත් ගන්න. බෙහෙත් තියෙනවා ඒකට. හොඳ දොස්තර මහත්තයෙක් ළඟට ගියොත් ඒවට බෙහෙත් තියෙනවා. තමුන්නාන්සේලාට පේනවා මේ වෛරයයි. ඉරිසියාවයි. 

නෝනට පේනවා ජනාධිපතිතුමා හම්බන්තෝට ගිරුවාපත්තුවෙන් ආපු නායකයා රට හරියට කරගෙන යනවා. ඉතිං බලන් ඉන්න බැහැ. ඇගේ වෛරය. ඒ නිසා මේ එකතුවෙන්නේ රට හදන්න නෙමෙයි. වතුකරයේ දුප්පත් අම්මා තාත්තාට වැඩ කරන්න නෙමෙයි. ජනාධිපතිතුමා මේ අමාත්‍යාංශ දීලා මට හැමදාම මතක් කරපු දෙයක් තමයි මේ වතුකරේ ජනතාව වෙනුවෙනුත් මේවා කරන්න. 

සාමාන්‍යයෙන් නිවාස ඇමතිවරු වැඩ කරන්නේ එගොල්ලන්ගේ ඡන්දෙ ඉල්ලන දිස්ත්‍රික්කකෙට විතරයි. ගොඩක් ඇමතිවරු එහෙමනෙ. රස්සාවලට දානකොට  මහවැලියෙ නම් ඉන්නේ වැඩිපුර පොළොන්නරුවේ අය. එහෙම නැතුව වතුකරේ ජනතාව ගැනත් බලන්න කියලා කිව්වා. එතුමා තමුන්නාන්සේලා ගැන හිතන නායකයෙක්. ගෙවල් 50, 000 ක් හදන වැඩපිළිවෙලක් ආරම්භ කරලා තියෙනවා, තොණ්ඩමන් ඇමතිතුමාගේ ඉල්ලීම අනුව. 

මේ රට ස්ථාවර කළේ ජනාධිපතිතුමා. මරන බිය නැති කළේ  ජනාධිපතිතුමා. සැකය, අවිශ්වාසය නැති කළේ ජනාධිපතිතුමා. නිදහසේ යන්න එන්න තියෙන අයිතිවාසිකම නැවත තහවුරු කළේ ජනාධිපතිතුමා.
මේ රට අද ඉස්සරහට යනවා, හැදෙනවා, දියුණු වෙනවා. ඒක වළක්වන්න තමයි මේ දුෂ්ඨ කල්ලිවලට ඕන වෙලා තියෙන්නේ. වික්‍රමසිංහ මහත්තයා ආවා නම් මීට වඩා තරඟයක් තියෙනවා. 

එතුමා ඡන්ද පැරදිලා තියෙන නිසා රටේ මිනිස්සු හැමෝම එතුමාව දන්නවා. පොදු අපේක්ෂකයා දැන ගන්නත් ටික කාලයක් යනවා මිනිසුන්ට. දැන් වතුකරයේ සහෝදර ජනතාව පොදු අපේක්ෂකයාගේ නමවත් දන්නවද?

වික්‍රමසිංහ මහත්තයා හිතා මතාම පන්දුව නිදැල්ලේ ඇරියා වෙන්නත් පුළුවන්. එතුමා අමාරු පන්දුවලට බැට් එක දාලා නිකං යෝකර් වලට අහුවෙන්න යන්නේ නැහැ. එතුමා ගිය පාරත් බැට් එක දාන්නැතුව නිදැල්ලේ යැව්වා බෝලේ. ෆොන්සේකා මහත්තයා බැට් එක අරං ගිහිල්ලා හිට් විකට්වෙලා  ගෙදර ගියා. 

අපි කෙළින්ම  කඩුල්ලට දැම්මේ නැහැ. එයා පිත්ත කඩුල්ලේ හප්පගෙන ගෙදර ගියා. මං දන්නෑ මෙතුමා මොනවා කරගනියිද කියලා.  ජනාධිපතිතුමන් මුත්තයියා මුරලිදරන් වගේනේ. දාන්නේ දඟර පන්දුනේ. වික්‍රමසිංහ මහත්තයා ඕක දන්න  නිසා කවුරුහරි බිල්ලක්ව යවනවා ශතකයක් දාන්න කියලා. ශතකයක් නෙමෙයි දහයක් වත් ගහන්න බැරුව කඩුල්ල දැවිලා එනවා ටික කාලෙකින්. 

එතකොට වික්‍රමසිංහ මහත්තයා ඉන්නවා අඳුරන්නෙ නැහැ, දන්නෑ වගේ. ෆොන්සේකා මහත්තයා කියලා තිබ්බා පත්තරේට, අනේ ඕකට කරගැහුවොත් තනිවෙනවා, ඊට පස්සේ කවුරුත් නැතිවෙනවා, දුක සැප බලන්න මිනිහෙක් නැහැ. පුදුම දුකක් විදින්න වෙන්නේ කියලා. හිටපු හමුදාපතිතුමාව අන්දලා යැව්වා. හිට් විකට් දැන් ඉතිං එතුමා ඉන්නවා තනිවෙලා. වටේ හිටපු කවුරුත් නෑ. 

නෝනා විතරයි ඉන්නේ. ඉතිං අපි හිතුවා තරඟයක් එයි කියලා. දැන් තරඟයක් නැති තත්තවයට වැටිලා.
වික්‍රමසිංහ මහත්තයව විධායක අගමැති කරලා එතුමාව ප්‍රධානනියා කරන්න මේ ආණ්ඩුව ඇතුළේ ඉන්න අයට  ඕනකමක් නැහැ. ඒ ගොල්ලො  දන්නවා ඒක කරලා වැඩක් නැහැ කියලා.  එක්සත් ජාතික පක්‍ෂෙ හිටපු රනිල් වික්‍රමසිංහ මහත්තයගේ නායකත්වය පිළිගත්තු අය ගොඩක් අද ඉන්නේ ආණඩුවත් එක්ක. 

දැන් මෛත්‍රී පාලනයක් නෙමෙයිනේ එන්නේ. මෛත්‍රී පාලනය නෙමෙයි ප්‍රශ්නෙ. මෙමත්‍රීව පාලනය කරන කෙනයි ප්‍රශ්නෙ. චෞර රැජින. එයානේ මේ පාලනය කරන්නේ. මාධ්‍ය සාකච්ඡාවේදී මෛත්‍රීට කියන්න ඕන එක කියන්නේ, නොකියන්න ඕන එක  නොකියන්නේ, ඇඟිල්ලෙන් ඇන ඇන කියන්නේ එතුමිය. අධ්‍යක්ෂකවෙලා හිටියේ එයානේ.  එයා අධ්‍යක්ෂක වෙච්ච ගමන් අපිට තේරෙනවානේ පිටපත කොහෙන්ද? කොහොමද? මොකක්ද? වෙන්නේ කියලා. 

ඒ නිසා තමුන්නාන්සේලා අපිට තේරෙනවා මැද කඳුකරයේ ජනතාව විතරක් නෙමෙයි මුළු රටේම ජනතාව තීරණය කරලා ඉවරයි,  මේ චන්ද්‍රිකාගේ ඇරියස් කවර් කරගන්න කාටවත් ඡන්දෙ දෙන්න මේ රටේ ජනතාව සූදානම් නැහැ.  චන්ද්‍රිකා යහ පාලනය ගැන දැන් කතා කරනවා ඒ ගැන මට පුදුමයි. අපි අහනවා දැන් යහ පාලන බලකායෙන් චන්ද්‍රිකාගේ කාළේ යහ පාලනය තිබ්බද?  චැනල්  නයින් ගණුදෙනුව කියලා ඒ කාලේ කතා කලේ මොකක්ද? එතකොට යහ පාලනය හදන්න චන්ද්‍රිකා එනවද? 

කොහොමද එහෙම හැදෙන්නේ. එයා හිටපු කාළේ හැදුවද? බුදුසරණයි, දෙවිපිහිටයි කියලා බෝඩ් එක ගහගෙන මරන්න හරක් ගෙනියනවා වගේ වැඩක් මේක. අපි හැමෝටම ලොකු වගකීමක් තියෙනවා. මේ රට නැවත පස්සට ගෙනියන්න දෙන්න බැහැ. ඒ නිසා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා විශිෂ්ට අයුරින් දිනවන්න අපි හැමෝම පෙළගැහෙමු. ඒ සඳහා  ඔබ සියළු දෙනාටම ආරාධනා කරනවා ” යුනවෙන්ද විමල් වීරවංශ අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

– Con media

NMD_7106 NMD_7119 NMD_7218 NMD_7323


No comments:

Post a Comment

Post Bottom Ad