සිල් රෙදි නඩුව සම්බන්ධයෙන් වරදකරු වී සිටින ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිටගේ අභියාචනාවේ තීන්දුව නොවැම්බර් මස 13වන දා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, October 23, 2020

සිල් රෙදි නඩුව සම්බන්ධයෙන් වරදකරු වී සිටින ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිටගේ අභියාචනාවේ තීන්දුව නොවැම්බර් මස 13වන දා


සිල් රෙදි නඩුව සම්බන්ධයෙන් වරදකරු වී වසර තුනක සිර දඬුවම් නියම වී දැනට ඇප මත මුදාහැර සිටින හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සන්දේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනුෂ පැල්පිට යන මහත්වරු එම දඬුවමින් තමන්ව නිදහස් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන අභියාචනා පිළිබඳ තීන්දුව නොවැම්බර් මස 13 වන දා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය නියෝග කළා.


මෙම අභියාචනා පෙත්සම් අද කුමුදුනි වික්‍රමසිංහ සහ දේවිකා අබේරත්න යන මහත්මීන් ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැදවනු ලැබුවා.


එම අභියාචනා වලට අදාල වාචික දේශන ඉදිරිපත් කිරීම ඉකුත්දා අවසන් කෙරුණු අතර ඊට අදාළ ලිඛිත දේශන තිබේනම් ඒවා ලබන සදුදා ගොනු කිරීමට පියවර ගන්නා ලෙසයි විනිසුරු මඩුල්ල දෙපාර්ශවයේ නීතිඥවරුන්ට නියෝග කළේ.


ඉන් අනතුරුව මෙම අභියාචනා පිළිබඳව තීන්දුව නොවැම්බර් මස 13 වනදා ප්‍රකාශයට පත් කළ බව ද විනිසුරු මඩුල්ල නිවේදනය කළා.



2015 වසරේ ජනාධිපතිවරණය පැවති සමයේ විදුලි සන්දේශ නියාමන කොමිසමට අයත් රුපියල් මිලියන 600 කට ආසන්න මුදලක් වැය කර දිවයින පුරා පිහිටි විහාරස්ථානවලට සිල් රෙදි බෙදා හැරීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට යන මහත්වරුන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ඉකුත් යහපාලන රජය සමයේ මෙම නඩුව පවරා තිබුණා.


එම චෝදනා වලට වරදකරු කළ ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට යන මහත්වරුන්ට 2017 වසරේ සැප්තැම්බර් මස 07 වනදා  බරපතල වැඩ සහිතව වසර තුනක සිර දඬුවම් හා දඩ මුදල් ද කොළඹ මහාධිකරණය මගින් නියම කරනු ලැබුවා.


තමන්ට දඬුවම් නියම කර ඇති ආකාරයෙන් නීතියට පටහැනි බවත් තමන්ව සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කර ලෙස ඉල්ලමින් ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට යන මහත්වරු අභියාචනාධිකරණය හමුවේ මෙම නඩුව ගොණුකර තිබෙනවා.

No comments:

Post a Comment

Post Bottom Ad