මාවයි මහින්දවයි ගෝඨාභයයි ඝාතනය කරන්න හිටියෙ කෑගල්ලෙදි - මෛත්‍රී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, October 29, 2018

මාවයි මහින්දවයි ගෝඨාභයයි ඝාතනය කරන්න හිටියෙ කෑගල්ලෙදි - මෛත්‍රී

මා සමඟ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා, හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා යන තිදෙනාම කෑගල්ල ප්‍රදේශයේ විහාරස්ථානයක උත්සවයකට ගෙන්වා ඝාතනය කිරීම සඳහා කුමන්ත්‍රණයක්
දියත් වූ බවත් එම කුමන්ත්‍රණය පිටුපස සිටින පුද්ගලයාගේ නම හෙළි වූ විට මුළු රටම පුදුමයට පත්වනු ඇති බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ පෙරේදා (27දා) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදීය.

මෙම ඝාතන කුමන්ත්‍රණය ගැන මුලින්ම තමන් එතරම් ගානකට නොගත්තද ඒ සම්බන්ධයෙන් බුද්ධි අංශවලින් ලැබුණු තොරතුරුවලට අනුව මෙය ඉතා බරපතළ තත්ත්වයක් බව අවබෝධ වූ බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

මෙම ඝාතන කුමන්ත්‍රණය ගැන පරීක්‍ෂණ සිදු වන බවත් මෙහි මාධ්‍යට තවමත් හෙළි නොවූ කොටසක් පවතින බවත් එම කොටස හෙළි වූ පසුව මෙය පිටුපස සිටි සියලුම කුමන්ත්‍රණකරුවන් ගැන තොරතුරු හෙළි වන බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරීසේන මහතා මෙහිදී පෙන්වා දුන්නේය. මෙම ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් දැනට අත්අඩංගුවේ සිටින පුද්ගලයා රක්ෂිත බන්ධනාගාර ගතව සිටින විට වෙනත් පිරිසක් මඟින්ද මෙම ඝාතන කුමන්ත්‍රණය ක්‍රියාත්මක වීමට තවමත් ඉඩ තිබෙන නිසා දැඩි අවධානයකින් සිටින ලෙසට නවතම බුද්ධි අංශ වාර්තාවකින් තමා දැනුවත් කළ බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

එක්සත් ජනතා නිදහස් සන්ධානය ජාතික ආණ්ඩුවෙන් ඉවත් වීමට ආසම සිද්ධිය වූයේ මෙම ඝාතන කුමන්ත්‍රණය බවද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙහිදී පෙන්වා දුන්නේය. මෙම ඝාතන කුමන්ත්‍රණ කතාව හෙළිවීමත් සමඟම ස්නයිපර් ගිනි අවි දෙකක් අතුරුදන් වූ බවට තොරතුරු වාර්තා වූ බවත් මෙම සිද්ධීන් අතර සම්බන්ධයක් තිබෙන බවට පිළිගත හැකි සාක්‍ෂි බුද්ධි අංශ මඟින් අනාවරණය කරගෙන ඇති බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

මෙම ඝාතන කුමන්ත්‍රණය සිද්ධිය ගැන සිදුවූ පරීක්ෂිණ සෑහීමකට පත්වන ආකාරයෙන් සිදු නොවූ බවට සමාජය තුළ මතයක් තිබෙන බවද ජනාධිපතිවරයා පැවැසීය. මෙම ඝාතන කුමන්ත්‍රණය මෙතරම් බරපතළ කාරණයක් වී තිබියදීත් ආණ්ඩුවේ ප්‍රධානීන් කිසිවකු මේ සම්බන්ධයෙන් තමාගෙන් කිසිවක් විමසුවේ නොමැති බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරීසේන මහතා කියා සිටියේය. කැබිනට් මණ්ඩලය රැස්වන සෑම දිනකම අගමැතිවරයා එයට සහභාගි වීමට පෙර තමාගේ කාර්යාලයට පැමිණ යම් යම් දේ කතා කරමින් සිට බොහෝ විට තමා සමඟම කැබිනට් රැස්වීමට සහභාගි වීමට යන බවත්, පසුගිය අගහරුවාදා පැවැති කැබිනට් රැස්වීමට ගියත් තමා හමුවීමෙන් පසුව බවත් එසේම ඝාතන කුමන්ත්‍රණ සිද්ධිය අනාවරණය වීමෙන් පසු අවස්ථා දෙක තුනකදී තමාගේ නිල නිවෙසටද රනිල් වික්‍රමසිංහ මහතා පැමිණියත් ඒ කිසිම අවස්ථාවක ඝාතන කුමන්ත්‍රණය ගැන වචනයක්වත් තමා සමඟ කතා කර නැති බවත් ජනාධිපතිවරයා මෙහිදී පවසා ඇත.

මීට අමතරව ජාතික ආණ්ඩුව ආරම්භයේ සිටම පැනනැඟුණු එක්සත් ජාතික පක්‍ෂයේත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත් ප්‍රතිපත්තිමය ගැටුම් ගැනද ජනාධිපතිතුමා විසින් මෙහිදී දීර්ඝ පැහැදිලි කිරීමක් සිදු කරන ලදී. අමාත්‍යාංශ විද්‍යාත්මකව නම්  කිරීමට ක්‍රියා නොකළ බවත් විෂයන් විද්‍යාත්මකව වෙන් කිරීමට ක්‍රියා නොකළ බවත් ඒ ගැන තමාගෙන් කිසිවක් විමසීමට ක්‍රියා නොකළ බවත් ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශය එක් අමාත්‍යාංශයක් වශයෙන් ක්‍රියා කිරීම, රාජ්‍ය බැංකු මුදල් අමාත්‍යාංශයෙන් ඉවත් කිරීම, ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් අමාතශයෙන් ඉවත් කොට අග්‍රාමාත්‍යවරයාගේ යටතට පත් කිරීම ඇතුළු ගැටලු රැසක් පැවැති බවත් සංස්කෘතික නොගැළපීමද බොහෝ කාරණාවලදී තිබුණු බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

නව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්‍ෂ මහතා පත් කළේ නීත්‍යනුකූලව තමාට ලැබී ඇති බලතල අනුව බවත් නව ආණ්ඩුවට පාර්ලිමේන්තුව තුළ බහුතරය සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නොමැති බවත් 120 දෙනකුට ආසන්න පිරිසක් නව ආණ්ඩුව සමඟ සිටින බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. අරලියගහ මන්දිරයේ මාධ්‍ය හමුවලට සහභාගි වූ සිරිසෙන් කොටසක්ද නව ආණ්ඩුව සහාය ලබාදීමට කැමැත්ත ප්‍රකාංශ කර තිබෙන බවත් අවශ්‍ය වෙලාවට ඔවුන් නව ආණ්ඩුව සමඟ එක් වීමට නියමිත බවත් වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.


-ඩබ්ලිව්.කේ.ප්‍රසාද් මංජු-

No comments:

Post a Comment

Post Bottom Ad