වයස අවුරුදු 15ට අඩු ළමයින් තරග විභාගවලට පෙනී සිටීම තහනම් කරන්නලු - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, July 6, 2018

වයස අවුරුදු 15ට අඩු ළමයින් තරග විභාගවලට පෙනී සිටීම තහනම් කරන්නලු


අවුරුදු 15ට අඩු ළමයින්ට තරග විභාගවලට පෙනී සිටීම නීතියෙන් තහනම් කිරීමට අදාළ නීතිමය ප්‍රතිපත්තියක් සකස් කිරීමට බලාපොරොත්තු වන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති නීතිඥ එච්. එම්. අබේරත්න මහතා පවසයි. විභාගවලින් දරුවන් බේරාගෙන ඔවුන්ගේ මානසිකත්වය යහපත්ව
පවන්වාගෙන යාම මෙම වැඩපිළිවෙළේ අරමුණ බවද ඒ මහතා කීය.

කුඩා කාලයේ සිටම දරුවන්ට විභාගවලට පෙනී සිටීමට සිදුවීම නිසා එකී දරුවන්ට ගහකොළ ඇසුර, සතා සිව්පාවුන්ගේ ඇසුර, වතුපිටිවල ඇවිදීමට හා කෙළිසල්ලම් කිරීම වැනි ඔවුන්ට හිමිවිය යුතු සුන්දර අවශ්‍යතාවන් අහිමිව

ගොස් ඇති බව පෙනෙන්නට තිබෙන බවද ඒ මහතා පැවැසීය. ඊට හොඳම උදාහරණය පස්වනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය බව එකී විභාගයට සූදානම් කිරීම සඳහා බොහෝ මවුපියන් එකී දරුවන්ව උදෑසන කාලයේ සිට රාත්‍රි කාලය දක්වා විවිධ උපකාරක පන්තිවලට යවා එම දරුවන්ව වෙහෙසකාරී තත්ත්වයකට පත් කරන බවද ඒ හේතුවෙන් දරුවන් මානසික කඩාවැටීමේ තත්ත්වයක් උද්ගතව ඇති බවද ඒ මහතා පෙන්වා දෙයි.

මෙම තත්වයට පිළියමක් වශයෙන් උපකාරක පන්ති නැවැත්වීමට කටයුතු කළහොත් එය මහා අලකලංචි සිද්ධියක් බවට පත්විය හැකි බවද එයට කළයුතු හොඳම පිළියම වන්නේ ඉහත කී වයස් සීමාවෙන් පහළ දරුවන්ව විභාගවලට  පෙනී සිටීම නීතිමය වශයෙන් තහනම් කිරීම බවද එවිට උපකාරක පන්ති පැවැත්වීම ඉබේම මඟහැරී යනු ඇති බවද ඒ මහතා පැවසීය. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඒ  මහතා වැඩිදුරටත් කියා සිටියේ මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් ඉදිරියේදී අදාළ බලධාරීන් සමඟ සාකච්ඡා කරන බවත්ය.

No comments:

Post a Comment

Post Bottom Ad