බිරියට දේවතාවකු සිහිනයෙන් කියූ නිධානය ගන්න ගිය සැමියා සහ තවත් අයෙක් රිමාන්ඩ් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, June 20, 2018

බිරියට දේවතාවකු සිහිනයෙන් කියූ නිධානය ගන්න ගිය සැමියා සහ තවත් අයෙක් රිමාන්ඩ්


දේවාරූඪයක් ඇති සිය බිරියට දේවතාවකු විසින් සිහිනයෙන් කියූ නිධානය ගොඩ ගැනීම සදහා කැණීම් සිදු කරමින් සිටි ඇගේ සැමියා හා තවත් තරුණයකු පරසන්ගස්වැව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන
අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද (20) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අනුරාධපුර අතිරේක මහෙස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු හර්ෂණ ධනුක රත්නායක මහතා නියෝග කළේය.

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ පරසන්ගස්වැව පානීයන්කඩවල ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි. සැකකරුවන් අධිකරණයට ඉදිරිපත්කළ පරසග්ගස්වැව පොලිසිය අධිකරණයට කියා සිටියේ පුවරසන්කුළම පහළ ජනපදයේ පිහිටි පෞද්ගලික ඉඩමක නිධන් සෙවීම සඳහා පිරිසක් කැණීමක් සිදුකරමින් සිටින බවට පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ලැබුණු පැමිණිල්ලක් මත වහාම ක්‍රියාත්මකවූ පරසන්ගස්වැව

පොලිසියේ වැඩ බලන ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිසක් එම ස්ථානය වටලා සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවයි.

වැටලීම සිදුකරන විට පෞද්ගලික ඉඩමේ හිමිකරු ඇතුළුව තවත් දෙදෙනකු නිවෙසට මීටර් පනහක් පමණ ඈතින් පිහිටි කැලෑබද ගල් තලාවේ අඩි හතක පමණ ගැඹුරැති වළක් හාර තිබූ බවත් වැටලීම සිදුකරද්දී ඊට සම්බන්ධවී සිටි සැකකරුවකු එම ස්ථානයෙන් පලාගිය බවත් පොලිසිය අධිකරණයට දැන්වුවේය.  නිදන් සෙවීම සදහා කැණීම සිදුකළ සැකකරුවන් සන්තකයේ තිබී උදලු දෙකක් හා සවල් දෙකක් නඩු භාණ්ඩ වශයෙන් අත්අඩංගුවට ගත්බව පොලිසිය  අධිකරණයට දැන්වූවේ ය.

ඉඩම හිමිකරු සැකකරු අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී බිරියට දේවාරූඩයක් තිබෙන බවත් ඇයට දිනපතා පාහේ රාත්‍රී නින්දේදී දේවතාවකු පැමිණ නිවස පිටුපස ගල් තලාවේ තිබෙන වටිනා නිධානය ගොඩ ගන්නා ලෙස කරන ඇවටිල්ල මත කැණීම සිදුකළ බව සැකකරු පොලිසිය යට පැවසුවේයැයි සැකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත්කළ පරසන්ගස්වැව පොලිසිය විනිසුරුවරයාට දැන්වූවේය. මේ වැටලීම සිදුකරද්දී එක් සැකකරුවකු පලාගිය බවත් ඔහු පිළිබඳ මේ වනවිට තොරතුරු අනාවරණය වී තිබෙන බවත් පොලිසිය අධිකරණයට දැක්වූ අතර සැකකරුවන් කැණීම් සිදුකළ ස්ථානය පුරාවිද්‍යා වටිනාකමක් ඇති ස්ථානයක් ද යන්න තහවුරු කර ගැනීමට පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ වාර්තාවක් ලබාගෙන ඉදිරි දිනයේ එය අධිකරණයට ඉදිරිපත් කරන බවත් පොලිසිය අධිකරණයට දැක්වුවේය.

දැනට පලාගොස් සිටින සැකකරු වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් කැණීම් සිදුකළ බව කියන ස්ථානය සම්බන්ධයෙන් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා ගෙන් වාර්තා වක් ලබාගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් විනිසුරුවරයා පොලිසියට නියෝග කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad