ආදායම ලක්ෂෙට වැඩිනම් සීයට 4 බැංකු පොලියට සීයට 5 රට සල්ලි එවද්දි සීයට 5 ගෙවල් ඉඩම් විකුණද්දි සීයට 10 අද 1 වනදා සිට බදු වෙනස්වන හැටි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, April 1, 2018

ආදායම ලක්ෂෙට වැඩිනම් සීයට 4 බැංකු පොලියට සීයට 5 රට සල්ලි එවද්දි සීයට 5 ගෙවල් ඉඩම් විකුණද්දි සීයට 10 අද 1 වනදා සිට බදු වෙනස්වන හැටි


නිත්‍ය ආදායම ලක්ෂෙට වැඩිනම් සීයට 4
බැංකු පොලියට සීයට 5
රට සල්ලි එවද්දි සීයට 5
ගෙවල් ඉඩම් විකුණද්දි සීයට 10
අද 1 වනදා සිට බදු වෙනස්වන හැටි


මුදල් ඇමති මංගල සමරවීර හඳුන්වාදුන් නව දේශීය ආදායම් පනත අද 1 වනදා සිට ක්‍රියාත්මක වේ. නව බදු හදුන්වාදීම් රැසක් සමග මුදල් ඇති අයගෙන් රජය පොහොසත්වන ක්‍රමවේදයක් මෙහිදී හඳුන්වාදී ඇති අතර මේ දක්වා භාණ්ඩ හා සේවා වලට පැනවූ වක්‍ර බදු සියයට 60 සිට 40 ට අඩු කර සෘජු බදු සියයට 20 සිට 40 ට ඉහළ නැංවීමක් සිදු කර ඇත.
මෙහිදී වයස අවුරුදු 18 ට වැඩි සෑම පුරවැසියෙකු සදහාම බදු ලිපිගොනුවක් විවෘත කෙරෙනු ඇති
නමුත් බදු පැනවෙනු ඇත්තේ අදාළ වගන්ති ප්‍රකාරවයි.
2017 අංක 24 දරණ දේශීය ආදායම් පනත 2017 වසරේ ජුලි මාසයේදී මුලින්ම ඉදිරිපත් වුවත් පසුව ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ මත සැප්තැම්බරයේදී එහි සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී සම්මත විය.

සේවා නියුක්ති නිත්‍ය ආදායම් බදු
නව බදු පනත අනුව මාසිකව රුපියල් ලක්ෂයක් දක්වා ආදායම් උපයන්නන්ට බදු ගෙවන්නට අවශ්‍ය නැත නමුත් ලක්ෂයට වැඩිවීම සමග ආදායම් බදු සියයට 4 සිට 24 දක්වා ප්‍රතිශත වශයෙන් ගෙවිය යුතුය. මෙයට වැටුප,අතිකාල දීමනා, විශ්‍රාම වැටුප,කොමිස් මුදල්, සියලු විවිධ දීමනා ඇතුළත්ය.

එම බදු ආදායම අනුව වැඩිවන හැටි පහත වගුවේ පරිදිය.

(වගුව ආදායම් බදු දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙනි)

ප්‍රාග්ධන බද්ද
මීට අමතරව තමන්ට හිමි නිවසක් ඉඩමක් වැනි වත්කමක් ගත් මුදලට වඩා වැඩි මිලකට විකිණීමේදී එම මිල අතර වෙනසට සියයට 10 ක් රජයේ බදු වලට යටත් කිරීමේ ප්‍රාග්ධණ බද්දක්ද අද 1 සිට ක්‍රියාත්මක වේ.

විදේශ වේතන ලැබීම් බද්ද
විදේශවල සේවාවන් සිදුකරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් ලංකාවට යොමු කරන මුදල් මතද සියයට 5 ක බද්දක් අයකරන්නට අද සිට පියවර ගෙන තිබේ.එය ඒ දිනට නියමිත විදේශ මුදල් ඒකක අගය අනුව ගණනය වනු ඇත.

රඳවා ගැනීමේ බද්ද
මෙරට බැංකුවල දේශීය සහ විදේශීය මුදල් ඉතුරුම් ගිණුම්වල පොලී ආදායම මත 2015 සිට ක්‍රියාත්මක වීම ඇරඹූ සියයට 2.5 බද්ද අද සිට දෙගුණ කර තිබෙන අතර සියයට 5 ක රදවා ගැනීමේ බද්දක් ලෙස එය අද සිට අය කෙරෙනු ඇති. එය සාමාන්‍ය හා නිත්‍ය ඉතිරිකිරීම් ගිණුම් හිමියන් මිලියන ගණනකට බලපාන වෙනසක් වනු ඇත.

මෙම බදු අයකිරීමේ පටිපාටිය හා අදාළ සියලු විස්තර ඇතුළත් 2017 අංක 24 දරණ දේශීය ආදායම් පනත මෙතැනින් කියවන්න
https://drive.google.com/file/d/1vdC6Etxf_t7CRkgjGabnGndbxA7IzTus/view

No comments:

Post a Comment

Post Bottom Ad