මාව ගොනාට අන්දවලා වික්ටර්ට අපහාස කළා - විල්සන් කරු - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, November 14, 2017

මාව ගොනාට අන්දවලා වික්ටර්ට අපහාස කළා - විල්සන් කරු

සිනමාවේ හැමදාමත් දුෂ්ටකම් කරන විල්සන් කරූ පසුගිය දවස්වල ඉරාජ්ගේ මියුසික් වීඩියෝ එකක රඟපාලා කවුරුත් ගරු සරු කරන ගායන ශිල්පී වික්ටර් රත්නායකයන්ටත් දුෂ්ටකමක් කළාද කියලා සමහරු අහන්න ගත්තා. ඒත් අපිත් එක්ක මේ කතා බහට එක්වූ විල්සන් කරූ නම් කිව්වේ ඊට හාත්පසින්ම වෙනස් කතාවක්.

විල්සන් කරූ කියන නළුවා සිනමාවට පැමිණීම අහඹු සිදුවීමක් කියලයි අපි අසා තිබෙන්නේ. එය ඇත්තක්ද?
ඇත්තටම මම නළුවෙක් වෙන්න හිතාගෙන හිටපු කෙනෙක් නොවෙයි. සුදාර් මතිස් අධ්‍යක්ෂණය කළ “හදවත් නැත්තෝ” චිත්‍රපටයේ රොබින් ප්‍රනාන්දු එක්ක සටන් ජවනිකාවකට සුදුසු නළුවෙක් හොයනකොට අපේ ගෙවල් පැත්තේ හිටපු සිනමා තිරනාටක රචකයකු වන පුණ්‍යදාස බුලත්සිංහල මහතා තමයි මම ගැන කියලා තියෙන්නේ. ඒ අනුව මම ඒ අධ්‍යක්ෂවරයා හමු වුණා. ඒ විදියට තමයි මගේ ගමන පටන් ගත්තේ. ඒ 1972 අවුරුද්දේ.

එදා මෙදා තුර ඔබ රඟපෑ නිර්මාණ ගැන කතා කළොත්?
මම චිත්‍රපට 250ක විතර රඟාපාලා තිබෙනවා. ටෙලි නාට්‍ය 15ක විතර රඟපාලා තියෙනවා. Music video එකකත් රඟපෑවා.

ඒ අතරින් වඩාත්ම සතුටක් ලැබුවේ කුමන නිර්මාණයකට සම්බන්ධ වෙලාද?
මාලනී ෆොන්සේකාගේ “සසර චේතනා” චිත්‍රපටයේ නිකලස්ගේ චරිතය තමයි මගේ රංගන ජීවිතයේ වැඩියෙන්ම තෘප්තියක් ලැබූ චරිතය. ඒ රංගනයට ඒ වසරේදී රංගන කුසලතා සම්මානයකුත් ලැබුණා. ඒ චරිතය ගැන ඒ දවස්වල බොහෝ දෙනා අතරේත් කතා බහට ලක් වුණා.

ඔබ රඟපෑ එකම එක Music video එකත් සමාජය තුළ දැඩි කතා බහට ලක් වුණා. ඒ රංගනය ගැන අද ඔබ සතුටු වෙනවාද?
රඟපෑ චිත්‍රපට 250 හා ටෙලි නාට්‍ය 15 ගැන නම් සතුටු වෙනවා. හැබැයි රඟපෑ එකම එක ර්භඵඪජ මඪඤඥධ එක ගැන නම් කිසිම සතුටක් නැහැ.

එතකොට ඔබ ඔය කියන මියුසික් වීඩියෝ එකේ රඟපෑවෙත් අසතුටින්ද?
රඟපාන්න යන විටදීවත් රඟපාන විටදීවත්  කිසිම අසතුටක් තිබුණේ නැහැ. ඒත් ඒ Music video එක නිකුත් වෙලා හතරවටින් ප්‍රතිචාර එද්දි තමයි ඒ දුක ඇතිවුණේ. ඒ Music video එක වික්ටර් රත්නායකගේ ජීවිත කතාව බවට හැම තැනම ප්‍රචාරය වෙද්දී තමයි මමත් ඒක බැලුවේ. සොසේජස් දර්ශන, කෙසෙල් ගෙඩි දර්ශන දැක්කේ ඒ වේලාවේ. වික්ටර් රත්නායකයන්ව මමත් කිරුළපන ප්‍රසංගවලට කැඳවා තිබෙනවා. ඒ දරුවොත් මට හිතවත්. එතුමාට අපහාස වන නිර්මාණයකට කියලා දන්නවා නම් මම එතැන ඒ කටයුත්ත කරපු හැමෝටම ගහලා කැමරා ආම්පන්නත් ‍පොඩි කරලා තමයි එතනින් එන්නේ.

ඒ කියන්නේ ඉරාජ් ඔබව රැවැට්ටුවා?
ඔව්, ඒ ගැන මම එයාගෙන් ඇහුවා. එයා කියනවා මේක වික්ටර්ට අපහාස කරන්න කරපු video එකක් ‍නෙවෙයිලු. ඒක වික්ටර්ගේ කතාවට සම්බන්ධ කරගෙන තියෙන්නේ බලන අයලු.

අද සිදුවන මේ වගෙ දේවල් දකින විට ඔබට එදා සිනමාව ගැන මොකද හිතෙන්නේ?
එදා අපි ෂුටිං ගියේ විනෝද ගමනක් යනවා වගේ. හරිම සතුටින් තමයි ලොජ් වෙලා හිටියේ. අපි “සංඛපාලි” රූගත කරද්දී ඊට ටිකක් දුරින් තමයි “බඹරු ඇවිත්” කළේ. සමහර දාට විජය, කලං එහෙම බඹරු ඇවිත් ෂුටිං ඉවර වෙලා, රෑට අපි ඉන්න හොටෙල් එකට එනවා. රෑ 2 විතර වෙනකල් සින්දු කියලා විනෝද වෙලා යන්නේ.

අද නළු නිළියන් හා එදා සිටි නළු නිළියන් අතර වෙනස ඔබ දකින්නේ කොහොමද?
දක්ෂ අය අදත් ඉන්නවා. ඒත් එදා තිබුණු ප්‍රේක්ෂක ප්‍රතිචාර අද නැහැ. අද චිත්‍රපටයක් ටෙලි නාට්‍යයක් ෂූටිං කරන්න ගියාම පාරේ යන අය ඒ දිහා බලල හැරිලා යනවා. ඒත් එදා ගාමිණි ෆොන්සේකා, මාලනී ෆොන්සේකා, එනව කියලා දැන ගත්තම පළාතේ අය පිරෙනවා. බයිසිකල් දහස් ගණනක් එක පෙළට නවත්තලා මිනිස්සු කට්ටිය නැවතිලා ඉන්නවා. හෝට‍ලේට එනවා. බයිසිකල් බලාගන්න වෙනම අය ඉන්නවා. ඒ අය ඒ කටයුත්ත කරලා දවසට ලොකු ගාණක් එකතු කරගන්නවා.

ඒ කා‍ලේ රූගත කිරීම්වලට ගියාම අමතක නොවන අත්දැකීම්වලට මුහුණ දෙන්නත් ඇති නේද?
ඒ වගේ අවස්ථා නම් ගොඩක් තියෙනවා.

එකක් දෙකක් කියන්නකෝ බලන්න?
“සංඛපාලි“ රූගත කළේ වැල්ල ආශ්‍රිත ප්‍රදේශයක. දවසක් අපි ෂූටිං කරන්න සූදානම් වෙලා ඉන්නවා. ඔය වෙලාවේ ඒ පළාතේ චණ්ඩි වගයක් ඇවිත් අපේ නිළියන්ට ගල් කැටවලින් ගහන්න පටන් ගත්තා. ගාමිණී ෆොන්සේකා මහත්තයා ඒ අය ළඟට ගිහින් කාරුණිකව කතා කරලා කිව්වා. ඒ වැඩේ නවත්වන්න කියලා. ඊට පස්සේ ඒ අය අපිත් එක්ක ගැටුමට ආවා. ගාමිණී මහත්තයයි මමයි ඒ චණ්ඩින්ට පන්න පන්නා පහර දුන්නා. ඊට පස්සේ ඒ බොරු චණ්ඩි පැත්ත පළාතේ ආවේ නැහැ.

ඔබ සැබෑ ජීවිතේදීත් චණ්ඩියෙක්ලු නේද?
ඉස්කෝ‍ලේ 2-3 පන්තිවල ඉඳන් හැමදාම ගෙදරට නඩු එනවා. කාට හරි ගහලා. හැබැයි කවදාවත් අසාධාරණ කම් කරලා නැහැ. කාට හරි අසාධාරණයක් වුණොත් මම ඊට විරුද්ධව සටන් කරනවා.

සිනමාවේදී හැමදාම දුෂ්ටකම් කරද්දී රසිකාවියන්ගේ ආදරය ලැබෙන්නේ නැහැ නේද?
අහිංසක පිරිමින්ට කැමති ගැහැනුත් ඉන්නවා. දඩබ්බර චණ්ඩින්ට කැමති ගැහැනුත් ඉන්නවා. මට කැමති රසිකාවියොත් හිටියා. ආදරය ඉල්ලලා විවාහ යෝජනා කරලා ලියුම් එවපු ගෑනු ළමයිනුත් හිටියා.

නිළියන්ගෙන් ආදර යෝජනා ඇවිත් නැද්ද?
නැහැ. ඒ හැමෝම මගේ යාළුවෝ.

ජීවිතය තනිකඩව ගෙවීම ගැන අද මොකද හිතෙන්නේ?
මම යාළු මිත්‍රයෝ වට කරගෙන ඉන්න කෙනෙක්. මේ නිදහස විඳින්නේ තනිකඩව ඉන්න හින්දා කියලා හිතෙනකොට සතුටක් දැනෙනවා. ඒත් ගෙදරදී තේ එකක් බොන්න හිතුනම තනියමනේ තේ එක හදාගන්න වෙන්නේ. ඒ වගේ වෙලාවට නම් හිතෙනවා බිරිඳක් හිටියා නම් හොඳයි කියලා. හැබැයි ඉතින් විවාහ නොවී සිටීම ගැන නම් මම පසුතැවෙන්නේ නැහැ. තනිකඩව ජීවිතය ගෙව් එකම කෙනා මම ‍නෙවෙයිනේ.

ආරියවංශ කුලතිලක(lakbima)

No comments:

Post a Comment

Post Bottom Ad