බංග්ලාදේශයට ගිය ජනපතිට ඉහළ පිළිගැනීමක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, July 13, 2017

බංග්ලාදේශයට ගිය ජනපතිට ඉහළ පිළිගැනීමක්

බංග්ලාදේශ අගමැතිනි ෂීක් හසීනා මහත්මියගේ ආරාධනාවක් අනුව තෙදින රාජ්‍ය සංචාරයක් සඳහා බංග්ලාදේශය බලා පිටත්ව ගිය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අද (13) පෙරවරුවේ බංග්ලාදේශයේ ඩකා ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ළඟා විය.

ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු මෛතී‍්‍රපාල සිරිසේන මහතා බංග්ලාදේශයේ සිදුකරන පළමු සංචාරය මෙය වන අතර ජනාධිපතිවරයා වෙත ඉහළ පිළිගැනීමක් ලබාදීම වෙනුවෙන් එරට රජය සියලු කටයුතු සූදානම් කර තිබුණි. ඩකා ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණි ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා බංග්ලාදේශ ජනාධිපති මොහොමඩ් අබ්දුල් හමීඩ් මහතා විසින් ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබූ අතර ආචාර වෙඩි මුර 21 ක් සහිත හමුදා උත්තමාචාර පිරිනමමින් ඉතා අභිමානවත් අයුරින් එම පිළිගැනීම සිදු විය.

බංග්ලාදේශ විදේශ අමාත්‍යවරයා, මුදල් අමාත්‍යවරයා, සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු ඉහළ පෙළේ මැති ඇමතිවරු පිරිසක් ද ජනාධිපතිවරයා පිළිගැනීම වෙනුවෙන් ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ. 1972 වසරේ ඇරඹි ශී‍්‍ර ලංකාව සහ බංග්ලාදේශය අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් තහවුරු කර ගනිමින් දෙරට අතර ආර්ථික, වෙළෙඳ සබඳතා නැවුම් ප‍්‍රවේශයක් ඔස්සේ ඉදිරියට ගෙනයාම ජනාධිපතිවරයාගේ මෙම සංචාරයේ අරමුණ වන අතර, බංග්ලාදේශ අගමැතිනිය ඇතුළු ඉහළ පෙළේ අමාත්‍යවරු කිහිප පළක් සමග ද ජනාධිපතිවරයා ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

එමෙන්ම දෙරට අතර කෘෂිකර්ම, අධ්‍යාපන, විදේශ කටයුතු පුහුණුවීම්, ආගමන සහ විගමන ආදී ක්ෂේත‍්‍ර ආවරණ වන පරිදි අවබෝධතා ගිවිසුම් කිහිපයකට ද මෙහිදී අත්සන් තැබීමට නියමිතය. ශී‍්‍ර ලංකාව සහ බංග්ලාදේශය අතර ආයෝජන සහ ව්‍යාපාරික අවස්ථා පිළිබඳ සොයා බැලීමේ ව්‍යාපාරික හමුවකට ද ජනාධිපතිවරයා සිය සංචාරය තුළදී එක්වනු ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad