“ග‍්‍රාමශක්ති“ ජනතා ව්‍යාපාරය ඇරඹේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, May 4, 2017

“ග‍්‍රාමශක්ති“ ජනතා ව්‍යාපාරය ඇරඹේ

“ග‍්‍රාමශක්ති“ ජනතා ව්‍යාපාරය ඇරඹේ
නැති බැරි අය, ඇති හැකි අය බවට පත්කරන ග‍්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය සාර්ථක කර ගැනීමේ ජාතික වගකීම ඉටුකිරීමට සියලුදෙනා එක්විය යුතු බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
පිටරටින් ගෙන්වන සියලු ආහාර ද්‍රව්‍ය සහ අනෙකුත් භාණ්ඩ පිළිබඳ විධිමත් සමීක්ෂණයක් සිදු කොට රටට ගෙන්වීමට සුදුසු දේ පමණක් ගෙන්වීමට අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කරන බව ජනාධිපතිවරයා පවසයි.
ඔහු මේ බව ප‍්‍රකාශ කළේ ග‍්‍රාමශක්ති ජනතා ව්‍යාපාරයේ සමාරම්භක උත්සවයට අද (04) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී එක්වෙමිනි. දුගී දුප්පත් ජනතාව එයින් මුදා ගනිමින් ඇති හැකි පිරිසක් බවට පත්කිරීම සදහා ග‍්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය ඇරඹේ. 2017 වසරේ රට දුගී භාවයෙන් නිදහස් කර ගැනීමේ වැඩපිළිවෙළේ ප‍්‍රධාන ව්‍යාපෘතිය ලෙස මෙය ආරම්භ කෙරෙන අතර, ඒ අනුව වර්ෂ 2020 වන විට ගම් 15,000ක ජීවත්වන ජනතාවගේ මූලික අවශ්‍යතා සැපිරීමට කටයුතු කෙරේ.
මෙම උත්සව සභාව ඇමතු ජනාධිපතිවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ දේශීය කර්මාන්ත හා දේශිය ව්‍යවසායකයින් නැංවීම සහ රටේ ජනතාව දුගී භාවයෙන් නිදහස් කර ගැනීම සඳහා පුළුල් ජාතික වැඩසටහනක අවශ්‍යතාවය සපුරාලමින් ග‍්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය ආරම්භ කෙරෙන බවයි.
ගම් මට්ටමේ සිටින සියලූ ක්ෂේත‍්‍ර නිලධාරින් මෙම වැඩසටහන සමග ඒකරාශී විය යුතු බව ප‍්‍රකාශ කළ ජනාධිපතිවරයා ලබන මාසයේ සිට සෑම දිස්ති‍්‍රක්කයකම සංචාරය කරමින් ප‍්‍රාදේශීය දේශපාලන නායකයත්වයන් සහ රාජ්‍ය නිලධාරින් සමග එක්ව මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට අවශ්‍ය වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමට තමා අපේක්ෂා කරන බව ද කියා සිටියේය.
ඇති හැකි පිරිසගේ වත්පොහොසත්කම් නැති බැරි පිරිස් අතරද බෙදී යා යුතු බව මෙහිදී ප‍්‍රකාශ කළ ජනාධිපතිවරයා සදහන් කළේ, රට පාලනය කළ යුත්තේ පොහොසතුන් නොව මධ්‍යම පාන්තිකයින් බව තම විශ්වාසය බවයි. නැති බැරි සියලූ ජනතාව ඇති හැකි අය බවට පත්කිරීමට ග‍්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය තුළින් හැකියාව ලැබෙනු ඇති බවට ද මෙහිදී විශ්වාසය පළ කළ ජනාධිපතිවරයා එය සාර්ථක කර ගැනීමේ ජාතික වගකීම ඉටු කිරීමට පක්ෂ, පාට භේදයකින් තොරව සියලු දෙනා ඒකරාශි විය යුතු බව ද අවධාරණය කළේය.
සමෘද්ධිමත් ආර්ථික මිනිසෙකු මෙන්ම, වගකීම් උසුලන, අයිතිවාසිකම් හඳුනන සමාජයීය මිනිසෙකු බිහි කිරීම ග‍්‍රාමශක්ති ජනතා ව්‍යාපාරයේ අරමුණයි. වසර 2020 වන විට ග‍්‍රාමශක්ති වැඩසටහන යටතේ ප‍්‍රජා පාලිත ග‍්‍රාමසේවා වසම් පන්දහසක් ඇති කිරීමට ද නියමිතය. ග‍්‍රාමසේවා වසමක ජනගහනය අනුව රු 8000 ක් සේ ගණන් බැලෙන ඒක පුද්ගල රාජ්‍ය ආයෝජනයක් ග‍්‍රාමීය සංවර්ධන අරමුදලක් ලෙස වසර 4ක කාලයක් සදහා ග‍්‍රාම සේවා වසම් සදහා ඝෘජුව ලබාදීම මේ යටතේ සිදු කෙරේ.
ජීවන මාර්ග දියුණු කරගැනීම, සංවර්ධන තීන්දු තීරණ ප‍්‍රජාව විසින් ගැනීමේදී ප‍්‍රතිඵල පාදක කරගත් රාජ්‍ය මූල්‍ය ආයෝජන,  ප‍්‍රජාවගේ ව්‍යවසායකත්වය වර්ධනය කිරීමේදී ප‍්‍රාග්ධන පහසුකම් ලබාදීම, ග‍්‍රාමීය ව්‍යවසායකත්වය වැඩි දියුණු කිරීමට පෞද්ගලික අංශයේ සකී‍්‍රය සහභාගිත්වය ලබා ගැනීම මෙමගින් ලැබෙන ප‍්‍රතිලාභයන්ය. රාජ්‍ය හා පෞද්ගලික අංශයේ අත්වැල් බැඳ ගැනීම තුළ දිළිදුකම පිටුදැකීම සඳහා සංවර්ධන හා පර්යේෂණ පහසුකම් ලබාදීම, නව තාක්ෂණය හා නවෝත්පාදනය පිළිබඳ අදහස් පදනම් කර ගනිමින් ග‍්‍රාමීය කෘෂිකාර්මික ව්‍යවසායකත්වය වැඩි දියුණු කිරීම මෙමගින් සිදු කෙරේ.
සමස්තයක් වශයෙන් ජනතාවගේ මූලික අවශ්‍යතා හා ගොඩනැගෙන අවශ්‍යතා පිරිමැසීම සඳහා ග‍්‍රාමනිලධාරි වසම් මට්ටමින් වැඩපිළිවෙළක් ගොඩනැගීම මේ හරහා සිදු වේ. පූජ්‍ය අතුරලියේ රතන ස්වාමින් වහන්සේ ද, අමාත්‍යවරුන් වන සරත් අරමුණුගම, එස්.බී. දිසානායක, සජිත් ප්‍රේමදාස, දකුණු පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඔස්ටින් ප‍්‍රනාන්දු යන මහත්වරුන් ද ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන්, මහතා ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරු, දිස්ත්‍රික් ලේකම්වරු, ප‍්‍රාදේශීය ලේකම්වරු ඇතුළු රාජ්‍ය නිලධාරින් ද, ලෝක බැංකුවේ නියෝජිතයින් ඇතුළු දෙස් විදෙස් නියෝජිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

No comments:

Post a Comment

Post Bottom Ad