ඇඳක් යට අවුරුදු 10ක් තිස්සේ තිබිලා හම්බවෙච්ච ලෝකයේ ලොකුම මුතු මැණික මෙන්න - PHOTOS - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, February 2, 2017

ඇඳක් යට අවුරුදු 10ක් තිස්සේ තිබිලා හම්බවෙච්ච ලෝකයේ ලොකුම මුතු මැණික මෙන්න - PHOTOS

මිනිසෙකුට “වාසනාව” මුණ ගැහෙන්නේ ජීවිතයටම එක වතාවයි, නැත්තන් දෙවතාවයි. ඒ නිශ්චිත මොහොත මඟහැර ගියොත් සමහරවිට කවදාවත් යළි වාසනාව මුණනොගැසෙන්නට පුළුවන්. අතට පත්වුණු මග බරැති ගල “වාසනාව” බව නොදැන අවුරුදු දහයක් තිස්සේ මුහුද සමග ඔට්ටු වෙමින් දිවි ගෙවූ ධීවරයෙක් ගැන පුවතක් පිලිපීනයෙන් වාර්තා වුණා. 

පිලිපීනයේ පලවාන් දූපතේ වැසියෙකු හැටියට මිස ඔහුගේ නම වත් ප්‍රසිද්ධ මාධ්‍යයට නිකුත් නොකරන්නට පිලිපීන මාධ්‍යය පරිස්සම් වී තිබෙනවා. ඒ එම දුප්පත් ධීවරයා එතැන් පටන්, ලෝකයේ විශාලතම මුතු ඇටයේ හිමිකරුවා බවට පත්වන නිසයි. CNN පුවත් සේවය වාර්තා කරන හැටියට, පලවාන් දූපතේ මෙම ධීවරයා මීට වසර දහයකට පෙර මුහුදු ගිය අවස්ථාවක සිය බෝට්ටුවේ නැංගුරම සුදු පැහැති විශාල ගලක ගැටෙන බව පැහැදිලි ජලය අතරින් දැක තිබෙනවා. බෝට්ටුව නැංගුරම් දමා මුහුදට පැන ඒ බර ගල ගොඩට ගෙන එන්නට ඔහු කටයුතු කර තිබෙන්නේ එහි කිසියම් ලස්සනක් දැක ඇති නිසයි. 

සුපුරුදු පරිදි සිය මත්ස්‍ය අස්වැන්න විකුණා දමා ගෙදර ගිය ඔහු මුහුදෙන් රැගෙන ආ ගල සිය නිදන ඇඳ යටට විසිකර දමා තිබෙනවා. ඊට වසර දහයකට පසුව පදිංචිය මාරු කිරීමට නිවසේ බඩු අස්පස් කරන වෙලාවක එදා මුහුදෙන් ගෙනා ගල ඔහුගේ ඇස ගැටී තිබෙනවා. අසල්වැසි නිවසේ වාසය කරන සිය නැන්දනියට මේ ගල පවරා දෙන්නට ධීවරයා කටයුතු කර තිබෙන්නේ අලුත් නිවසට නිශ්ඵල ගලක් රැගෙන යාම අනවශ්‍ය කරදරයක් ලෙස සිතායි.

ඔහු ගල ලබාදුන් නැන්දනිය පිලිපීනයේ රජයේ සංචාරක ප්‍රවර්ධන ආයතනයේ සුලු සේවිකාවක වන අතර, මෙය වටිනා ගලක් දැයි සැක සිතී ඇය එය සිය කාර්යාලයේ ඉහළ නිලධාරියෙකුට පෙන්වා තිබෙනවා. ඉතිහාසය ලියවෙන්නේ එතැන් සිටයි.. දිගින් සෙන්ටිමීටර් 67කුත් විශ්කම්භය සෙන්ටිමීටර් 30කුත් වන මෙම අධි මිල මුතු මැණිකෙහි බර කිලෝ 34ක්. එතෙක් ලොව ලොකුම මුතු ඇටය ලෙස සැලකුනු කිලෝ 7 කට ආසන්න මුතු ඇටය මෙන් එය පස් ගුණයක් විශාලයි. 


මේ වන විට උපරිම ආරක්ෂාව සහිතව එය පිලිපීනයේ පලවාන් දූපතේ නගර ශාලාවේ තැන්පත් කර තිබෙන්නේ සංචාරකයන්ට බලාගැනීමටයි. ධීවරයා කැමති විටෙක එය මුදල් කර ගැනීමේ අයිතිය ඔහුට තිබෙනවා. ධීවරයාගේ ජීවන ගමන උඩු යටිකුරු වූයේ “වාසනාව” අතට පත්වී අවුරුදු දහයක් ගත වුණාටත් පසුවයි.






සාවිත්‍රි විතානගේ (රිවිර පුවත්පත ඇසුරෙනි)

No comments:

Post a Comment

Post Bottom Ad