හිටපු ඇමති අමරතුංග ජෝන් අල්ලසක් ගත් බව අධිකරණයේදී හෙළිවේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, May 14, 2020

හිටපු ඇමති අමරතුංග ජෝන් අල්ලසක් ගත් බව අධිකරණයේදී හෙළිවේ

ලිපිකාරිනිය කුමන හේතුවක් මත අමාත්‍යවරයාට මුදල් ලබාදුන්නේ දැයි දන්නෙ නෑ කියලා
තවත්  අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරයකුත් සම්බන්ද වෙලා

2019 වසරේදී කැනඩාවේ පැවැත්වෙන ප්‍රදර්ශනයකට යෑමට සංචාරක සංවර්ධන, වනජීවී හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍යාංශයේ සේවකයන්ට ලැබුණු අවස්ථාවක් ප්‍රයෝජනයට ගෙන ව්‍යාජ ලියකියවිලි සකස් කර ලක්ෂ 20 බැගින් පුද්ගලයන් 4 දෙනකුගෙන් ලක්ෂ 80ක මුදලක් ලබාගැනීමේ සිද්ධියට අදාළව හිටපු සංචාරක සංවර්ධන, වනජීවී හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතාට ලක්ෂ 4ක මුදලක් ලබාදී ඇති බවට ඊයේ (13දා) කොළඹ කොටුව අධිකරණය හමුවේ අනාවරණය වුණා.

සිද්ධියට අදාළ නඩුව යළි කැඳවූ අවස්ථාවේ එසේ අනාවරණය වූයේ අදාළ නඩුව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදීයි.

හිටපු අමාත්‍යවරයාගේ ‘සරත්’ නමැති පෞද්ගලික ආරක්ෂක නිලධාරියාගෙන් වංචා විමර්ශන කාර්යාංශය ලබාගත් ප්‍රකාශයක් අනුව මේ කරුණු අනාවරණය වී ඇති අතර, ආරක්ෂක නිලධාරියා වංචා විමර්ශන කාර්යාංශ නිලධාරීන්ට ප්‍රකාශ කර ඇත්තේ, සිද්ධියේ 1 වැනි සැකකාරිය වන ධනංජනී ජයශාන්ති නමැති අය ලබාදුන් ලක්ෂ 4ක මුදලක් ජෝන් අමරතුංග මහතාගේ කොළඹ පිහිටි නිවෙසේදී ඔහුගේ අතටම භාරදී ඇති බවයි..

ලිපිකාරිනිය කුමන හේතුවක් මත අමාත්‍යවරයාට මුදල් ලබාදුන්නේ දැයි තමා නොදන්නා බවටද ඔහු වංචා විමර්ශන කාර්යාංශ නිලධාරීන්ට ප්‍රකාශ කර තිබෙනවා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතුවල නිරත වංචා විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් ඉවත් කොට ඒ සඳහා වෙනත් නිලධාරීන් පිරිසක් පත්කරන ලෙසට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා ලබාදුන් නියෝගයට අනුව අදාළ විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාසය භාරගත් බවටද කොළඹ අපරාධ කොට්ඨාසය එදින (13දා) දැනුම් දුන්නා.

වංචා විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් අදාළ විමර්ශනයෙන් ඉවත් කොට ඒ සඳහා වෙනත් නිලධාරීන් පිරිසක් පත්කරන ලෙසට කොටුව මහෙස්ත්‍රාත්වරයා බස්නාහිර පළාත් නියෝජ්‍ය පොලිස්පතිවරයාට නියෝගයක් නිකුත් කර තිබූ අතර අදාළ නියෝගයට අනුව සිද්ධියට අදාළ විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාසය (CCD) භාර දෙනු ලැබුවා.

සිද්ධියට අදාළ විමර්ශන නිසි පරිදි ඉටු නොකිරීම සම්බන්ධයෙන් සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරුවන් වන හිටපු සංචාරක සංවර්ධන අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම්වරයකුව සිටි ලාල් රත්නායක, තවත් අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරයකු වූ ‘රහීම් බායි’ නමැති අය සහ එම සිද්ධියට සම්බන්ධ වී ඇති ප්‍රධාන සැකකරුවන් අත්අඩංගුවට නොගෙන සිටීම මත මහෙස්ත්‍රාත්වරයා අදාළ නියෝගය නිකුත් කෙරුණා.

සිද්ධියට අදාළව හිටපු සංචාරක සංවර්ධන, වනජීවී, ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතාට ඉහත සඳහන් කළ පරිදි රුපියල් ලක්ෂ 4ක මුදල ලබාදී ඇති බවටද අධිකරණය හමුවේ කරුණු අනාවරණය වුණා.

වංචා විමර්ශන කාර්යාංශය මඟින් හිටපු අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියාගෙන් ප්‍රකාශයක් ලබාගෙන ඇති අතර ‘සරත්’ නමැති අදාළ නිලධාරියා වංචා විමර්ශන කාර්යාංශයට ප්‍රකාශ කර ඇත්තේ ධනංජනී ජයශාන්ති නමැති 1 වැනි සැකකාරිය දුන් ලක්ෂ 4ක මුදලක් ජෝන් අමරතුංග මහතාගේ කොළඹ පිහිටි නිවෙසේදී ඔහුගේ අතටම භාරදී ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විටක් රක්ෂිත බන්ධනාගාරගතව සිටින්නේ සංචාරක සංවර්ධන අමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ ලිපිකාරිනියක් ලෙස සේවයේ යෙදී සිටි ධනංජනී ජයශාන්ති සහ කොට්ටච්චි ආරච්චිලාගේ දෝන සුජීවා නන්දනී නමැත්තියයි.

ඊයේ (13දා) දින නඩුව කැඳවූ අවස්ථාවේ කොටුව මහෙස්ත්‍රාත්වරයා දන්වා සිටියේ, දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින කාන්තාවන් දෙදෙනාට සිද්ධියට අදාළව ඇත්තේ සුළු සම්බන්ධයක් බවත් සිද්ධියට ප්‍රධාන ලෙස සම්බන්ධ වී ඇති තෝරු මෝරු එළියේ සිටින බවත්ය. ඒ සම්බන්ධව සාධාරණත්වයක් තිබිය යුතු බවටද මහෙස්ත්‍රාත්වරයා දැනුම් දුන්නා.

සංචාරක සංවර්ධන, වනජීවී, ක්‍රිස්තියානි කටයුතු අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම්වරියක වන දීපා ලාලනී සන්නසූරිය යන අය විසින් 2019-7-11 දින කරන ලද පැමිණිල්ලකට අනුව වංචා විමර්ශන කාර්යාංශය මඟින් සිද්ධියට අදාළ විමර්ශන ආරම්භ කොට තිබෙනවා.

No comments:

Post a Comment

Post Bottom Ad