විශේෂ කොමිසමක් පත්කර දුමින්ද සිල්වා ඇතුළු දේශපාලන සිරකරුවන් නිදහස් කරන්න - ඥානසාර හිමි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, December 8, 2019

විශේෂ කොමිසමක් පත්කර දුමින්ද සිල්වා ඇතුළු දේශපාලන සිරකරුවන් නිදහස් කරන්න - ඥානසාර හිමි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ඇතුළු දේශපාලන සිරකරුවන් වහාම නිදහස් කරන ලෙස බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටී.

ඒ සඳහා විශේෂ ජනාධිපති විමර්ශන කොමිසමක් පත් කර ඔවුන්ගේ නඩු තීන්දු කඩිනමින් යළි සමාලෝචනය කළ යුතු බවයි එහිමි අවධාරණය කරන්නේ.

"සමාව ලැබිය යුතු, එහෙත් නිලධාරීන්ගේ වරදින් සහ මේ පාලන තන්ත්‍රයන්ගේ වරදින් දුක් විඳින සිරකරුවන්ට වහාම නිදහස ලබාදෙන්න කියලා ඉල්ලීමක් කරන්න අවශ්‍යයි. මොකද විශාල ප්‍රමාණයක් ඉන්නවා. මම දන්න එක මනුස්සයෙක් හිටියා, ඒ මනුස්සයා රුවන්වැල්ලෙ. බොහෝම ශ්‍රද්ධාවෙන් උදේ හවස බුදුන් වැඳගෙන බුද්ධ පූජාව තබාගෙන ... අවුරුදු 5ක් දැන් වැඩිපුර ඉන්නවා. ඒවගේම අවුරුදු 70ට වඩා වැඩි අය ඉන්නවා, ඇත්තටම මහළු නිවාසයක දැමිය යුතු අය. ගෙනල්ලා මේ මේවාවල දාලා නිකම් මැරිලා යනවා. ඒ මිනිස්සුන්ව ඇත්තටම නිදහස් කරන්න පුළුවන්.

ඒවගේම මම දන්නවා නීතිය අවභාවිතා කිරීමෙන්, සමහර වෙලාවට දේශපාලන කාරණා නිසා ඉතාම නරක විදියට හිරේ තබාගෙන දේශපාලන බලවුවමනාවන්ට පාපන්දුව වගේ හැසිරෙන මිනිස්සුත් ඉන්නවා මේකෙ ඇතුළෙ. ඒවා හරි අපරාධ. ඉතිං ඒක නිසා වෙනම ඉක්මන් විමර්ශන කොමිසමක් දාලා මේ මිනිස්සු නිදහස් කරන්න කියලා ජනාධිපතිතුමාගෙන් ඉල්ලනවා.

දේශපාලන සිරකරුවන් ලෙස ඉතාම ස්වල්ප දෙනෙක් ඉන්නවා හිරේ. අත්‍යාවශ්‍යයෙන්ම නිදහස ලැබිය යුතු කණ්ඩායමක් ඉන්නවා. අපි ගත්තොත් රණවිරුවො. සුනිල් රත්නායකලා තාම ඇතුළෙ ඇත්ත වශයෙන්ම. ඒවගේම මතක් කරන්න ඕනෙ LTTE සිරකරුවොත් ඉන්නවා. ඔවුන් දැන් පුනරුත්ථාපනය වෙලා හොඳටම. සමහරුන්ට නඩුවත් පවරලා නෑ. ඒක අපරාධයක්. අපට හම්බුණා ඒ සමහර LTTE ඉලන්දාරි ඇවිල්ලා 'හාමුදුරුවනේ අපි එකට වැඩ කරන්න ඕනෙ දැන්. අපට කොතන හරි වැරදුණා. ඔබවහන්සේලා හිටියා නම් ඒකාලෙ උතුරු පළාතෙ ඔබවහන්සේලත් ඒකට බැඳෙයි. අපට කරන්න දෙයක් නෑ' දැන් ඒ යතාර්ථය තේරුම් අරගෙන නිවැරදි වෙලා සමාජගත වෙලා වැඩ කරන්න ඕනෙ අය ගොඩක් ඉන්නවා. නමුත් ඒ මිනිස්සුන්ට අවස්ථාවක් නෑ.

දැන් උදාහරණයක් විදියට දුමින්ද සිල්වා ගැන හිතන්නකො. විවේචන ඇති. කොතන හෝ වරදක් වුණා. සමහර වෙලාවට භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහත්තයගෙ පැත්තෙන් වෙඩි උණ්ඩ එල්ල වුණා. වාසනාවකට මේ මිනිහා මැරුණෙ නෑ. දැන් ජීවත් වෙන එකා අල්ලලා හිරේ දානවා. මේ කොතනද මේ වරද වුණේ ? ඒ හරි වැරැද්ද හොයන්නෙ නැතුව දේශපාලන වුවමනාවන්ට ... ඒක හරි ප්‍රශ්නයක්. ඒක ගැන විශේෂ විමර්ශනයක් කරලා ඒ සමහර නඩු තීන්දු, ඒවගේ සුනිල් රත්නායක වෙන්න පුළුවන්, දේශපාලන සිරකරුවන් හැටියට ඉන්න උදවිය වෙන්න පුළුවන්. අපි දැක්කනෙ ඒ මිනීමැරුම කියන කාරණේ පැත්තකට ගෙනිහින් ඒක දේශපාලන බල පොරයක් කරගත්ත හැටි. ඒවා හරි වැරදියි. ඒ කියන්නෙ දවසක් හරි මිනිහෙක් හිරේ තියනවා කියන එක හරි අමාරු වැඩක්" යනුවෙනුයි එහිමි සඳහන් කළේ.

ඥානසාර හිමි මේ බව පැවසුවේ පසුගියදා පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

No comments:

Post a Comment

Post Bottom Ad