දෙසැම්බරයේ අලුත් ආණ්ඩුවක් - ජනපති කියයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, July 16, 2019

දෙසැම්බරයේ අලුත් ආණ්ඩුවක් - ජනපති කියයි

ව මාස 05කින් මේ රටේ ජනතාවට අලුත් ආණ්ඩුවක් හැදීමට අවස්ථාව හිමි වන අතර පිරිසිදු, සැබෑ මානවවාදී, රටට ආදරය කරන සහ දූෂණයෙන් වංචාවෙන් තොර අවංක දේශපාලනඥයන් සිටින ජනතාවාදී ආණ්ඩුවක් පත් කර ගැනීමට එහි දී ජනතාව සිය ඡන්ද බලය භාවිත කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව ජනාධිපතිතුමා පවසයි.

සමස්ත ආර්ථික දේහයම කඩා වැටුණු සහ දේශපාලන දේහය අපිරිසුදු වූ සහ පිළිකුල්සහගත වූ මේ රට ගොඩනැඟීමට ඇති එකම මඟ අවංක දේශපාලනඥයන් සිටින ආණ්ඩුවක් තෝරා පත් කර ගැනීම බවත් එම වගකීම රටේ ජනතාවට හිමි වන බවත් ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ නුවරඑළියේ ඉදිකරන ලද අංග සම්පූර්ණ නව දිස්ත්‍රික් රෝහල ජනතා අයිතියට පවරාදීමේ අවස්ථාවට (15) එක් වෙමිනි.

මෙහි දී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළේ රටට ආදරය කරන අවංක දේශපාලනඥයන් ජනතාවගේ සැබෑ ප්‍රශ්න හඳුනාගනිමින් ඒවාට විසඳුම් ලබාදීමට කැප වන බවයි.

එමෙන්ම සංවර්ධනයේ යෝධ රෙජිමේන්තුව වන ලක්ෂ 16 ක් වූ රාජ්‍ය සේවයකයන් සහ මේ රටේ උගතුන් සහ පරිනතයන් සිය කාර්යයන් නිසි ලෙස ඉටුකරන්නේ නම් සංවර්ධනය අභියෝගයක් නොවන බව ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ වතුකරයේ ජනතාව වෙනුවෙන් කිසිදු යුගයක ඉටු නොකළ වැඩකොටසක් ඉකුත් වසර 05කට ආසන්න කාලය තුළ ඉටුකර තිබෙන බවයි. එම ජනතාවගේ නිදහස් සෞඛ්‍ය මෙන්ම නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් ද සෙසු අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් ද එහි දී පුළුල් වැඩකොටසක් ඉටුකර තිබෙන බව ජනාධිපතිතුමා කියා සිටියේය.

රටක් විනාශ කිරීමට ඇති පහසුතම මග නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම බව ද මෙහිදී සිහිපත් කළ ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ දේශපාලන පක්ෂවල සහ එක් එක් දේශපාලඥයන්ගේ පුද්ගලික න්‍යාය පත්‍ර හේතුවෙන් රටට යහපත් වූ කාර්යයන් සඳහා කොපමණ වෙහෙස වුවද ඉන් ප්‍රයෝජන ලබා ගැනීම අපහසු වී ඇති බවයි.

එබැවින් රටට යහපත් වූ සෑම කාර්යයකදීම දේශපාලනඥයන් පටු න්‍යාය පත්‍රවලින් බැහැරව අවංකව කටයුතු කිරීමේ වැදගත්කම ද ජනාධිපතිතුමා අවධාරණය කළේය.

නෙදර්ලන්ත සහන ණය ආධාර යටතේ රුපියල් බිලියන 07ක් වැය කරමින් ඉදිකර ඇති මෙම රෝහල ඇදන් 600 කින් සමන්විත වාට්ටු සංකීර්ණයකින්, නවීන තාක්ෂණයෙන් යුත් ශෛල්‍යාගාර, දැඩි සත්කාර ඒකක, බාහිර රෝගී සත්කාර ඒකක, ඖෂධාගාර, රුධිර පාරවිලන මධ්‍යස්ථාන මෙන්ම වෛද්‍ය, හෙද නිල නිවාසවලින් සමන්විතව අංග සම්පූර්ණ රෝහලක් ලෙස ඉදිකර තිබේ.

මෙහි ඉදිකිරීම් 2012 වර්ෂයේ දී ජනාධිපතිතුමා සෞඛ්‍ය අමාත්‍යවරයාව සිටියදී ආරම්භ කෙරුණු අතර නුවරඑළියට පැමිණෙන සංචාරකයන්ට ඉහළ ගුණාත්මකභාවයකින් යුත් සුරක්ෂිත ඵලදායී සෞඛ්‍ය සේවාවක් සැපයීම ද අපේක්ෂා කෙරේ.

සමරු ඵලකය නිරාවරණය කර නව රෝහල ජනතා අයිතියට පැවරූ ජනාධිපතිතුමා එහි නිරික්ෂණ චාරිකාවක ද නිරත විය.

රෝහල සඳහා ඇතුළත් කෙරුණු පළමු රෝගීන් තිදෙනා ලියාපදිංචි කිරීම සිදු කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි.

අමාත්‍ය රාජිත සේනාරත්න, නවීන් දිසානායක යන මහත්වරුන් ප්‍රමුඛ පළාතේ මැති ඇමතිවරු පිරිසක් ද, ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ යන මහත්ම මහත්මීන් සහ නෙදර්ලන්ත රජයේ සම්භාවනීය ආරාධිත පිරිසක් ද, නුවරඑළිය මහ රෝහලේ අධ්‍යක්ෂ මහේන්ද්‍ර සෙනෙවිරත්න මහතා ඇතුළු කාර්ය මණ්ඩලය මෙම අවස්ථාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය ඒකකය


No comments:

Post a Comment

Post Bottom Ad