"මූණ මහන්සි පාට අය ජනාධිපති වෙන්න එපා - නාට්ටාමි කෙනෙක් වෙන්න" - ඩලස් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 25, 2019

"මූණ මහන්සි පාට අය ජනාධිපති වෙන්න එපා - නාට්ටාමි කෙනෙක් වෙන්න" - ඩලස්

අපි බලයට පත්වුණාම අනිවාර්යෙන්ම ස්ථාවර ආණ්ඩුවක් ගොඩ නගන්න බැරි මේ මැතිවරණ ක්‍රමය වෙනස් කරනවා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

ඒ ඊයේ පවතී මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදි ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

“අද සිට ජනාධිපතිවරණයට තියෙන්නේ තවත් දින 148. අගෝස්තු එකොළොස් වැනිදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහා සමුළුව පැවැත්වෙනවා. සියලු ප්‍රගතිශීලී බලවේග නියෝජනය කරන අපේ ජනාධිපතිවරණ  අපේක්ෂකයා එදින රටට දැනුම් දෙනවා. මහා සමුළුවෙන් පසුව එළඹෙන අගෝස්තු එකොළොස් වැනිදා සිට දින සියයකින්  ආණ්ඩුව අවසන් කිරීමේ වැඩපිළිවෙළ ඇරඹෙනවා. මේ ආණ්ඩුව ජනවාරි 9 වැනිදා බලයට ආවේ දින 100න් අලූත් රටක් තේමාවෙන්. අපිත් අගෝස්තු මස 12 වැනිදා සිට දින 100න් අලුත් රටක් නිර්මාණය කිරීමේ වැඩපිළිවෙල අරඹනවා. අගෝස්තු 12 වෙනිදා ට  දින 100න් අලූත් රටක් කියලා කියලා මාධ්‍ය ඔස්සේ වාර්තා  කරන්න පුළුවන්. ජනාධිපතිවරණ අපේක්ෂක පෝලිමට අලුතෙන් කෙනෙක් එකතු වුණා. ඒ ඌරුවරිගේ රාජිත සේනාරත්න. අපේ වන්නියලැත්තන්ගේ ඌරුවරිගේ ගැන නෙවෙයි මේ කියන්නේ. ජනාධිපති අපේක්ෂක නාමාවලියට නම් ඇතුළත් කර ගැනීමේ දේශපාලන රෝගයකින් සියලුම දෙනාම  පෙළෙනවා. දේශපාලකයින්ගේ දේශපාලන ජීවිතයට වසර 25ක් පිරිම වැනි දේ සමරමින් මීට කාලෙකට ඉහත සැමරුම් උත්සවය පැවතුණා.  ඒ කාලේ දවස පත්තරයේ කර්තෘ ගුණදාස ලියනගේ මහතා මේ උපහාර උළෙල නවත්තන්න වැඩක් කලා. හොරණ නගරයේ මුට්ට කරගහන ජොනීගේ මුට්ට කර ගැසීමට වසර විසිපහක් පිරීම සමරමින් එතුමා උත්සවයක් සංවිධානය කරා. එතනින් පස්සේ දේශපාලනඥයින්ගේ උපහාර උළෙලවල් නැවතුණා."

"අපේ ජනාධිපතිවරණ අපේක්ෂකයා විය යුත්තේ කවුද. ඔහු නිසැකයෙන්ම ලෝක බලවතුන් ඉදිරිපිට දණ නොනමන නායකයෙක් විය යුතුයි. අන්තවාදයට ත්‍රස්තවාදයට  කොන්දේසියකින් තොරව කටයුතු කළ හැකි නායකයෙක් විය යුතුය. කාන්තාවට දරුවන්ට ආදරය කරන සංස්කෘතික මිනිසෙක් විය යුතුයි. විසිඑක්වැනි සියවසට ගැළපෙන නූතන දැක්මක් සහිත සිංහල දමිළ මුස්ලිම් බොදු කිතුණු  හින්දු සියලු ජනවර්ගවලට මගෙ රට කිවහැකි රටක් නිර්මාණය කරන නායකයෙක් විය යුතුයි. එහෙම නැතුව ඇස් ගිලීම, මූනේ මහන්සි පාට, නින්ද නොයාම රාජ්‍ය නායකයෙකුට ගැළපෙන්නේ නැහැ. ඒ වගේ අය ගැන පිටකොටුවේ නාට්ටාමි සංගමයට දැනුම් දෙන්න. අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරයට මුවා වෙලා , ඒ සිද්ධිය නිසා ඇතිවුණු  කැළඹිල්ල ප්‍රයෝජනයට ගනිමින්  මුවාවෙලා බරපතළ  තීන්දු තීරණ ගත්තා. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විකුණුවා. සමෘද්ධි ව්‍යාපාරය මුළුමනින්ම දේශපාලනීකරණය කළා. පැලවත්ත සෙවණගල ආදී කර්මාන්ත දේශපාලකයන්ගේ සාක්කුවට දෙන  විදිහට පනත් සම්මත කළා. රාජ්‍ය  ඔත්තු  සේවා හෙළිදරව් කළා. දැන් රාජ්‍ය බැංකු පුද්ගලීකරණය කිරීමේ වැඩපිළිවෙළ සකසමින් සිටිනවා. ඒත් සමඟම මාධ්‍යයත් මේ ලැයිස්තුවට එකතු වෙලා. මාධ්‍යවේදීන් සහ මාධ්‍ය ආයතන දඩයම් කිරීමේ පනතක් ගේන්න සූදානම් වෙනවා. යුධ වාතාවරණය යටතේවත් අපේ රටේ එවැනි පනත් ගෙනාවේ නැහැ. මේ පනත යටතේ මාධ්‍යවේදීන් හෝ මාධ්‍ය ආයතන ලක්ෂ පහකට නොඅඩු දඩයකට යටත් කරන්න හැකියාව ලැබෙන අතරම වසර දහයකට නොඅඩු සිරදඬුවමක් දෙන්නත් පුළුවන්.”යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසිය.

No comments:

Post a Comment

Post Bottom Ad