කොමිසන් එකක් නෙවෙයි දහයක් දාන්න මං බය නෑ; - රාජිත - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, November 7, 2018

කොමිසන් එකක් නෙවෙයි දහයක් දාන්න මං බය නෑ; - රාජිත


මට තියෙන ප‍්‍රශ්නයත් එතුමා, මේ ගැන මා සමග කතා නොකළේ ඇයි කියන එකයි

එජාපය නොව රටේ කිසිවෙකු නොසිතූ අන්දමින් දේශපාලන සිතියම වෙනස් වී තිබේ. ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් ගන්නා ලද පියවර සමග පෙරළි සහ අර්බුද රාශියක් නිර්මාණය විය. එහි අනාගත තත්ත්වය කවරේද...? හිටපු අමාත්‍ය ලෙස සාමාන්‍ය ලෙස හැඳින්වුවත් ඔහු කවුදැයි ඔහුගෙන් විමසූ කල අපට ලැබුණු පිළිතුර අනුව ඔහු තවමත් කැබිනට් අමාත්‍යවරයෙකි. මේ නිසා දොස්තර රාජිත සේනාරත්න ලෙස ඔහු හඳුන්වා දෙන්නෙමු. අර්බුදයේ ඊළඟ ජවනිකාව හෙවත් දැන් ඊළගට මොකද වෙන්නේ...? යන ප‍්‍රශ්නය පිළිබඳව රාජිත සේනාරත්න මහතා සමග SL News Web  කරන ලද සාකච්ඡාවයි මේ.

ප‍්‍රශ්නය - හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස ඔබව, මේ මොහොතේ හැඳින්වීම නිවැරදිද...?

පිළිතුර - අපි තවම ඒ තනතුරුවල එහෙම්ම ඉන්නවා.

ප‍්‍රශ්නය - මෙහෙම තනතුරුවල, මන්දිරවල එල්ලිලා ඉන්න ලැජ්ජ නැද්ද කියලා. ජනතාව ඔබ ඇතුළු එජාපයෙන් ප‍්‍රශ්න කරනවා...

පිළිතුර - අපි මේ සියල්ල අත හැරලා යන්නේ, ජනතාව කියන දවසට... නැත්නම් මාව පත් කරපු ඒ නායකයෝ යන්න කියලා කියුවොත් මම යනවා.

ප‍්‍රශ්නය - තවම ඔබතුමාලාගේ අගමැති රනිල් වික‍්‍රමසිංහ... එතකොට මෛත‍්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා පිළිබඳව එජාපයේ දැන් තක්සේරුව කුමක්ද...?

පිළිතුර - ජනාධිපතිතුමා අපේ තමයි... අපි එතුමාව අතහැරියේ නැහැ. එතුමා අපිව අතහැරලා. මේ ගමන සඳහා එතුමායි මමයි එකට ආවේ... තිබුණු තත්වය උඩ මම එජාපයට එකතු වුණා. ඒ වුණාට අපි දෙන්නා ආවේ එක සටනකට... ඒ සටන වෙනස් වුණේ නැහැ. අපි ඇත්තටම ආවේ, මහින්දව පරද්දන්න කියලා හෝ එජාපය එක්ක ආණ්ඩු පිහිටුවන්න කියලා හෝ නෙමෙයිනේ... අපි ආවේ මේ රටේ පළවෙනි වරට රටේ වෙනසක් ඇති කිරීම සඳහායි... පක්ෂයෙන් පක්ෂයට ආණ්ඩු මාරු වුණා කියලා වැඩක් නැහැ... රට එතැනමයි... මේ නිසා ක‍්‍රමය මාරු කිරීම සඳහායි අපි මේ තීරණය ගත්තේ. අපි ජනතාවට කිව්වේ මොකක්ද...? මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගොඩනගනවා, ජනතාවට නිදහස ඇති කර දෙනවා, මේ රටේ සියලූ ජාතීන්ට සමාන ලෙස ජීවත්වීමේ අයිතිය ලබා දෙනවා, කියලා තමයි අපි පොරොන්දු වුණේ... මේ ත‍්‍රිවිධ ප‍්‍රාර්ථනාම අපි ලබා දුන්නා. දේශපාලන ගමනක් යනවිට නොයෙකුත් තත්වය මතු වෙනවා. ප‍්‍රශ්න මතු වෙනවා. එසේ තිබියදී අපි මේ ත‍්‍රිවිධ ප‍්‍රාර්ථනා මේ රටේ ස්ථාපිත කළා. තවම මේ අරගලය අපි නිමා කළේ නැහැ. ඒවා මහා පොළොව මත අපි ප‍්‍රතිෂ්ඨාපනය කළ යුතු වෙනවා. ඒ අතර තමයි මේ දේ සිද්ධ වෙන්නේ... මේ සඳහා හරස් කපපු, මේ රටේ නිදහස, ප‍්‍රජාතන්ත‍්‍රවාදය නැති කරපු, මාධ්‍ය නිදහස ඇතුළු මානව හිමිකම් නැතිකරපු, පිරිස සමග මෛත‍්‍රිපාල ජනාධිපතිතුමා එකතුවෙන්නේ... එතුමා මේ ගත්ත පියවරේ දේශපාලනය මොකක්ද කියලා මට තේරෙන්නේ නැහැ. එදා එතුමාට මුළු ලෝකයම ප‍්‍රශංසා කළා. අද ඒ සියලූ දෙනා, මේ පුද්ගලයාට වුණේ මොකද කියලා වික්ෂිප්ත වෙලා ඇති. අද මේ මුළු ලෝකේ කිසිම රටක් මේ ආණ්ඩුව පිළිගන්නේ නැහැ. මේ පත්කරයි කියන අගමැතිව පිළිගන්නෙත් නැහැ... මේ පත්කරයි කියන කැබිනට් මණ්ඩලය පිළිගන්නෙත් නැහැ. තවමත් ඔවුන් පිළිගන්නේ අපිව. අගමැති වශයෙන් පිළිගන්නේ රනිල් වික‍්‍රමසිංහව... කැබිනට් මණ්ඩලය ලෙස පිළිගන්නේ, අපේ කැබිනට් එක.

එදා මෛත‍්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාව පිළිගත්ත ලෝක නායකයෝ, අද ශ‍්‍රී ලංකාව ගැන කතා කරන්නේ, රනිල් වික‍්‍රමසිංහව පිළිගනිමින්... එදා ජීවිතය පවා එපා කියලා, එතුමා ආපු ගමනේ විශාල කළු පැල්ලමක් තමයි, ඔහු විසින් අද ඇතිකරගෙන තිබෙන්නේ. තවමත් එතුමට මෙතැනින් එළියට එන්නට පුළුවන්. එතුමාව ගොඩනගපු නැති, එතුමාව පරාජය කරන්නට හදපු, එතුමාට නොයෙකුත් වාසි බස් දොඩවපු, ඉතාම නරක විදිහට එතුමාට පහර ගහපු, පුද්ගලයෝ ටිකක් එකතු වෙලා තමයි, අද එතුමාව අරගෙන, යන්නේ. අපි ආවේ එතුමාව අරගෙන, ගොඩ නගන්න... අරගොල්ලෝ එතුමාව අරගෙන විකුණනවා. මේ වටේ ඉන්න කට්ටිය, එතුමාව මහින්දලට විකුණලා ගාණක් හම්බු කරනවා.

ප‍්‍රශ්නය - ජනමතයට හිස නමන බව ඔබ කිව්වා... පළාත් පාලන මැතිවරණයේදී ලැබුණු ජනමතය තමයි, මෛත‍්‍රිපාල ජනාධිපතිතුමා විසින් ක‍්‍රියාවට නැගුවේ කියලා යමෙකුට කියන්න පුළුවන්...?

පිළිතුර - එදා අපිට විරෝධයක් ජනතාවගෙන් එල්ල වුණා. ඒ ඡන්ද ප‍්‍රතිශත දිහා බලනකොට අපිට ලබා දුන්න ඡන්ද ප‍්‍රතිශත එහෙම්ම තියෙනවා. වර්ධනයක් නැති එක තමයි, තියෙන්නේ. ඇත්තට බැලූවොත් මහින්ද රාජපක්ෂට ලැබුණු ඡන්ද ප‍්‍රතිශතය සෑහෙන ගාණකට අඩු වුණා. ඒක තමයි ඇත්ත කතාව. කොට්ඨාස ක‍්‍රමය නිසා, කොට්ඨාස දෙස බලන විට වෙනම මතයක් පිළිබිඹු වුණා. අපේ අය ඡුන්ද පොළට නොගිහින් විරෝධතා දැක්වුවා. ඒ විරෝධතාවට හේතු වුණේ, මේ පක්ෂ දෙකක ආණ්ඩුවක් පැවතීම. පළාත් පාලන මැතිවරණයේදී ජනාධිපතිවරයාගේ සමස්ත මැතිවරණ ව්‍යාපාරයම පුරා, ඔහු කළේ මේ ආණ්ඩුවට පහරදීම. ”ආණ්ඩුව ඇතුළේ හොරු ඉන්නවා... හොරු නැති ආණ්ඩුවක් පිහිටුවන්න ඉඩ දෙන්න ...” කියලා තමයි ඔහු ඉල්ලා සිටියේ... ආණ්ඩුව ඇතුළේ හොරු ඉන්නවා කියලා, ඒ ආණ්ඩුවේම නායකයා කියනවා. එහෙම මැතිවරණ ව්‍යාපාරයක් ලංකා ඉතිහාසයේ පමණක් නෙමෙයි, ලෝක ඉතිහාසයේම නොතිබුණු බව මම ජනාධිපතිතුමාටත් කිව්වා. ඕනෑම ආණ්ඩුවක වැරදි තියෙනවා. ඒ වැරදි ඇතුළේ හදා ගන්නවා මිසක්, ප‍්‍රසිද්ධ වේදිකාවට ගිහිල්ලා, ආණ්ඩුවට බනින සිරිතක් නායකයෙක්ගේ නැහැ. එහෙම බැන්න නම්, බැන්නේ, ඒ ආණ්ඩුව කඩලා, වෙන වැඩ පිළිවෙළක් සඳහා යන්න හදන නායකයෙක් විතරයි. ඒකෙන් වුණේ, ආණ්ඩුවත් පහළට වැටුණා, එතුමත් වැටුණා.

ප‍්‍රශ්නය - ඔබ සඳහන් කරන්නේ, ඇතිවුණු තත්ත්වය පිළිබඳව විග‍්‍රහයක් පමණයි. තමන් මෙවැනි පියවරක් සඳහා යොමුවුණු හේතු ගණනාවක් ජනාධිපතිතුමා ජාතිය අමතා කරන ලද, සිය කතාවෙන් පැහැදිලි කළා. එහි පළවෙනි චෝදනාව වූයේ බැඳුම්කර මගඩියයි... 

පිළිතුර - එතුමා කරන ලද චෝදනාවෙන් චෝදනාවට මම පිළිතුරු දෙන්නම්... බැඳුම්කරේ කියන්නේ, ලංකා ඉතිහාසයේ සිද්ධ වෙච්ච පළවෙනි වංචාව ද...? මේ වගේම කොල්ලකෑම් ගිය රජයේ තිබුණා. එවැනි දූෂණ ක‍්‍රියා ආණ්ඩු යටතේ සිද්ධ වෙනවා. මේ රජයේ තියෙන වෙනස මොකක්ද...? වෙන ආණ්ඩු ඒ හැම දූෂණයක්ම යට ගැහැව්වා... ඒවා හෙව්වේ නැහැ. මේ රජය ඒවා සම්පූර්ණයෙන්ම හෙව්වා. ඒක කෝප් එකේ විභාග කරන්න ඉඩ දුන්නා. ඊටත් එහා ගිහිල්ලා ජනාධිපතිතුමාම කොමිසමක් පත් කළා. ඒ කොමිසම ඉදිරියේ ඇමැතිවරු තුන්දෙනෙක් සාක්ෂි දෙන්න ගියා. එක ඇමැතිවරයෙක්ට තමන්ගේ ඇමැතිකමත් නැති වුණා. රටේ අග‍්‍රාමාත්‍යවරයා එම කොමිසමට ගියා. ඔහු පැය ගාණක් ඒ කොමිසම ඉදිරියේ සාක්ෂි දුන්නා. මේවා කවදාවත් ලංකා ඉතිහාසයේ සිද්ධ වෙලා නැහැ. ඔව්...වරදක් සිදු වුණා. ඒ වරදට දඬුවම් හිමිවුණා. මේ බැඳුම්කර වාර්තාවේ කොහෙවත්, අගමැතිවරයා, ඊට සම්බන්ධයි කියලා හෝ මේ ඇමැති මණ්ඩලයේ කිසිම කෙනෙක් මේකට සම්බන්ධයි කියන එක නැහැ. රවි කරුණානායක මැතිතුමාට චෝදනා එල්ල වුණේ, බැඳුම්කරය සම්බන්ධයෙන් නොවෙයි. ගෙයක් කුලියට ගැනීම සම්බන්ධ කාරණයක්. මේකේ වැරදිකරුවන් තවමත් හිරගෙදර... ගිය රජයේ වැරදිකරුවන් හිරගෙදර ඉන්නේ, සති දෙකයි. ඒ කට්ටිය එළියට එනවා. කොමිෂන් සභා වාර්තාවේ සඳහන් වෙන පරිදි, බැඳුම්කර වංචාවේ අලාභය, රුපියල් බිලියන එකොළහයි... ඒ සමාගමේ බිලියන දොළහක මුදලක් අධිකරණය විසින් රඳවා තබාගෙන සිටිනවා. එහෙනම් ආණ්ඩුවට පාඩුවක් නැහැ, තවත් බිලියනයක් වැඩිපුරත් තිබෙනවා. එහෙම නම්, රටේ ආර්ථිකයට කිසිම ප‍්‍රශ්නයක් නැහැ, හොරකමේ සල්ලි ටික ගන්න පුළුවන්. එහෙම ගන්න බැරි වුණ දේවලටවත් මෙවැනි දඬුවම් ලැබිලා නැහැ. එහෙම නම් තව දුරටත් බැඳුම්කරේ ගැන කතා කරන්නේ ඇයි...?

ප‍්‍රශ්නය - ජනාධිපතිවරයා ඝාතනය සඳහා කැබිනට් ඇමැතිවරයෙක් සහ ත‍්‍රස්ත මර්දන අංශයේ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු සම්බන්ධවීම අනෙක් කාරණයයි. නාමල් කුමාරගේ හෙළිදරව් කිරීමට අනුව, මේ පිළිබඳව හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවා දැනගෙන සිට තිබෙනවා. 

පිළිතුර - එතුමාව ඝාතනය සඳහා සත්‍ය ලෙසම ඉඩක් තිබුණා නම්, එතුමාටත් වඩා ඊට එරෙහිව පළමුව නැගී සිටින්නේ මමයි. අපි බලයට පත් වුණේ, 2015 ජනවාරි අට වැනිදා පවත්වන ලද ජනාධිපතිවරණයෙන්... ඒ වසරේ පෙබරවාරි තුන්වෙනිදා එතුමා, මගේ නිල නිවසට ආවා. එතුමා ඉතා රහසේ මට පැවසුවා ” ඩොක්ටර්, නිදහස් දවසේ මට වෙඩි තියන්න, රාජපක්ෂලා සූදානමක් තියෙනවා...” කියලා. එතකොට ඒ ගැන වාර්තා වුණේ කොහොමද කියලා මම ඇහැව්වා... මේ ගැන සම්පූර්ණයෙන් බුද්ධි වාර්තා දැනුම් දීලා තියෙනවා කියලා, එතුමා මට කිව්වා. මේ ඝාතනය සිද්ධ කරන්න හදන්නේ කොහොමද කියලා මම ඇහැව්වා... නිදහස් උත්සවයේ ආචාර පෙළපාලිය සඳහා යන භටයෙක් ලව්වා තමයි මට වෙඩි තියන්න හදන්නේ කියලා ජනාධිපතිතුමා කිව්වා. මේ සැලසුම අනුව බලන කොට ඊජිප්තුවේ ජනාධිපති අන්වර් සදාත්ට, ඒ රටේ නිදහස් පෙළපාලියේදී හමුදා භටයෙක් වෙඩි තබා මරා දමපු ආකාරයේ සැලසුමක් තමයි, තිබුණේ. ඒ සැරේ, මම යෝජනා කළා, ජනාධිපති ආරක්ෂක අංශයේ ප‍්‍රධානි, එස්. එම්. වික‍්‍රමසිංහව වහාම කැඳවමු කියලා. මගේ දුරකථනයෙන් කතා කරලා, මම ඔහුව කැඳෙව්වා. මම ඔහුට මේ තත්ත්වය පැහැදිලි කළා. ”හෙට උදේ හය වෙනකොට මේ පෙළපාලිය සඳහා සහභාගි වෙන සියලූම හමුදා භටයන්ගේ තුවක්කුවල තිබෙන මැගසින් එක ගලවලා, එම තුවක්කු පරීක්ෂා කරලා බලන්න පුළුවන්ද කියලා” මම ඔහුගෙන් ඇසුවා. ඔහුට පුළුවන් කිව්වා. ඔහු කණ්ඩායමක් අරගෙන ගිහිල්ලා, ඒ මැගසින් පරීක්ෂා කරලා, මට වාර්තා කළා. ඒ අනුව මැගසින් තුනක පමණ, මූනිස්සම් නොවන වැඩක් නැති කැබලි පමණක් තිබුණා කියලා ඔහු මට වාර්තා කළා. කොහොම හරි, සියල්ල, හරි කියලා ඔහු වාර්තා කළා. මම මගේ භාර්යාව සමග ජනාධිපතිවරයාගේ අසුනට කිට්ටුව වාඩිවෙලා හිටියාට, මම පුටුවේ ගැට්ටේ වාඩි වෙලා හිටියේ... කවුරු හරි භටයෙක් වැරදි විදිහට අත උස්සනවා නම්, මම ඔහුගේ ඇඟට පැනලා, ඔහුවත් බිමදාගෙන පතිත වෙන්න තමයි සූදානම් වෙලා හිටියේ. අනිත් සියලූ දෙනා, ඒ දිහා බොහොම විනෝදයෙන් බලාගෙන ඉද්දි මම හිටියේ විශාල තිගැස්සමකින්... පෙළපාලියේ හිටිය, අවසාන හමුදා සෙබළාත් පහුවෙලා, පාසල් ළමුන්ගේ සංදර්ශන පෙළපාලිය එනකම්ම මම සූදානම් වෙලයි හිටියේ. අන්න ඒ වගේ තමයි, අපි එතුමාගේ ජීවිත ආරක්ෂාව ගැන හිතුවේ. මේ ඝාතන කුමන්ත‍්‍රණය එහෙම එකක් නම්, අපි නිකං බලාගෙන ඉන්නේ නැහැ. මේ කියන්නේ පොලිස් ඔත්තු කරුවෙක්. ඔය වැනි චරිත සඳහා කාල් මාක්ස් භාවිත කළේ ලූම්පන් කියන වචනය. නන්නත්තාර වූ නිර්ධන පන්තිය කියන එක තමයි, ඒකේ තේරුම... මුදලට ඕනෑම වැඩක් මේ අය කරනවා. මාධ්‍යයත් මේක පුම්බලා දැම්මා. ඔහු තමයි, සිංහල ජාතිවාදීන්ව කොටු කරලා දුන්නේ... දිගන සිද්ධියේ සිංහල ජාතිවාදීන්ව කොටුකරලා දුන්නේ මෙයා, ඒ සඳහා ගාන හම්ඹු වුණේ නැහැ. මේ දෙදෙනා, ඒ කියන්නේ, පොලිස් ඔත්තුකරුවා සහ නියෝජ්‍ය පොලිස්පතිවරයා අතර දැන හැඳුනුම්කම් මත දුරකථන සංවාද ඇති වුණා. ඒ හඬපට 124 ක් ඉදිරිපත් වෙලා තියෙනවා. එයින් 123 ක් හඬ ගැළපිලා තියෙනවා. එයින් 124 ම අරගෙන බැලූවත්, ඒ කිසිවක ජනාධිපති ඝාතන කුමන්ත‍්‍රණයක් ගැන කතා වෙලා නැහැ. එකම තැනක තිබෙනවා, අපි අගමැතිතුමාව උස්සලා තියෙන්න ඕනේ කියලා. ඒ දෙබස විතරයි, ඔය ගැන කිට්ටුවටවත් තියෙන්නේ. නාලක සිල්වා, පොලිස්පති ධුරය ලබා ගැනීම සඳහා බොහොම ආශාවෙන් හිටිය බව සඳහන් වෙනවා. එතකොට අගමැතිතුමාව උස්සලා, අගමැතිතුමා ගැන ගුණ වර්ණනා කරලා, ඔහුට උදව් කරන්න හදන්න ඇති. ඒ හැරෙන්න, කිසිම තැනක ඔහු, රනිල් වික‍්‍රමසිංහ එක්ක කතා කරපු බවක් නැහැ. එහෙම තියෙද්දී, ජනාධිපතිතුමාට මේ පිළිබඳව වාර්තා ඉදිරිපත් වෙලා තියෙන්නේ, කොහොමද කියලා මම නම් දන්නේ නැහැ. සත්‍ය වාර්තා අනුව නම්, එහෙම කිසිවක් නැහැ. මම මේ වාර්තාව පිළිබඳව තුන් වතාවක් විතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් එක්ක එකතුවෙලා, තොරතුරු දැන ගත්තා. ජනාධිපතිවරයාව, මේ ගැන බොරු බියක් හදලා, බය කරලා තියෙනවා. ලෝකයේ කුමන්ත‍්‍රණ යන්නෙත් ඔහොමයි. එක එක්කෙනා ඔය වාර්තා අර්ථකථනය කරන්නේ තමන්ගේ අරමුණ පිණිසයි. නමුත් වාර්තාවේ කොහෙවත් එහෙම දෙයක් නැහැ.

ප‍්‍රශ්නය - ඇතිවී තිබෙන තත්ත්වය පිළිබඳව ඔබ සහ ජනාධිපතිතුමා අතර සාකච්ඡාවක් සිදු වුණේ නැද්ද...? ඔබ විසින් පවසන්නේ, එතුමා සහ ඔබ සටන් සගයන් බවයි, එසේ නම් මෙවැනි තත්ත්වයක් පිළිබඳව ඔබ සහ ජනාධිපතිතුමා කතා නොකළේ ඇයි...?

පිළිතුර - එතුමා විසින් ජනාධිපතිවරණයට පෙර පැවති අවසන් රැස්වීමේදී මාව හඳුන්වා දුන්නේ, තමාගේ සටන් සගයා ලෙසයි. මට තියෙන ප‍්‍රශ්නයත් එතුමා, මේ පිළිබඳව මා සමග කතා නොකළේ ඇයි කියන එකයි. පසුගිය කාලයේදී එක පිරිසක් ඔහුව වෙළෙඳාම් කළා. දැනුත් එතුමා උපදෙස් ගන්නේ ඒ පිරිසගෙන්... එතුමා අපිත් එක්ක කතා කරන කාලේ, මේ රටෙත් ලෝකයෙත් ජනප‍්‍රියම නායකයා එතුමා. අපි නැතුව ඔය කටිටියත් එක්ක යන ගිය ගමන් එතුමාට මොකද වුණේ. එතුමා ශ‍්‍රීලනිපයට ගිය දවසේ ඉඳලා තමයි, මේ ප‍්‍රශ්න හැදුණේ. අලූත් කල්ලියක් ඇවිල්ලා, මේ මනුෂ්‍යයාට කරපු විනාශය බලන්න. අපි උත්තරීතර තත්ත්වයකට පත් කරපු පුද්ගලයාව අද විනාශයටම ඇදලා දාලා ඉවරයි.

ප‍්‍රශ්නය - මේ තත්ත්වය විසඳා ගැනීම සඳහා ජනාධිපතිතුමා සමග දුරකථනයෙන් හෝ ඔබ කතා කළේ නැද්ද?

පිළිතුර - දැනටමත් එතුමා, මා සමග දෙවරක් දුරකථනයෙන් කතා කළා. එතුමාගේ එහෙම කිසිම වෙනසක් නැහැ.

ප‍්‍රශ්නය - මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස වැඩ භාර ගත්ත දවසේ, රාත‍්‍රියේ ඔබ යම් පිරිසක් යවා සෞඛ්‍ය අමාත්‍යාංශයේ, ඉබි යතුරු කඩා ලිපිගොනු සහ පරිගණක මතක ගබඩා රැගෙන ආ බවට චෝදනාවක් තිබෙනවා...?

පිළිතුර - සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකයේ තමයි, මගේ ඡායාරූප සහ වීඩියෝ තිබෙන්නේ, ඒවා ගැනීම සඳහා මගේ මාධ්‍ය ඒකකයේ කිහිපදෙනෙක් එතැනට ගිහිල්ලා තිබ්බා. ඒ හැරෙන්නට කිසිම ලිපිගොනුවක් මම ගෙනාවේ නැහැ. මගේ එදිනෙදා කතා සඳහා අවශ්‍ය දත්ත සහ තොරතුරු සහිත ෆයිල් කිහිපයක් තිබෙනවා, පස්සේ දවසක ගිහිල්ලා ඒවා නම් අරගෙන ආවා. එහෙම නැතුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ෆයිල් ලක්ෂ ගණනක් මම අරගෙන එන්නද...? මම කවදාවත් එහෙම එලියට බහින්නේ නැහැ. දැන් ඒවා එතැනින් ඉවරයි. ඔබගේ පුවත්පතේ ලොකු බොරුවක් දාලා තිබ්බා, අමාත්‍යංශයේ සමහර කාමර වලට සීල් තිබ්බා කියලා. ඒ සීල් තිබ්බේ, වෙන කෙනෙකු ඒක අරී කියලා මිසක්, මට විරුද්ධව ගත්ත ක‍්‍රියා මාර්ගයක් අනුව නෙවෙයි. මම කියන්නෙවත් නැතිව ලේකම්තුමිය ඒක නිවැරදි කරලා තිබ්බා.

ප‍්‍රශ්නය - එජාපයෙන් තව කී දෙනෙක් ආණ්ඩුවට යන්න ඉන්නවද...?

පිළිතුර - දැන් යන එවුන් නැහැ. ඉන්නේ බිලිබා ගන්න කට්ටිය. සල්ලි වලට සහ බලයට බිලී බෑවෙන ඒ අය ගැන අපි හොයන්නේ නැහැ.

ප‍්‍රශ්නය - රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ඔබට එරෙහිව දූෂණ චෝදනා එල්ල කරමින්, ඒවා විභාග කිරීම සඳහා කොමිසමක් පත් කරන ලෙස ඉල්ලා තිබුණා...

පිළිතුර - මම සෞඛ්‍ය ඇමැති ලෙස සමාගම් වලට සේවය කළේ නැහැ. අපි සේවය කළේ මේ රටේ ජනතාවට. බෙහෙත් මිල අඩු කළේ කා හින්දද...? ස්ටෙ‍්‍රන්ට් එක නොමිලේ දුන්නේ ඇයි...? පිළිකා ඖෂධ නොමිලේ දුන්නේ ඇයි...? අක්ෂි කාච නොමිලේ දුන්නේ ඇයි..? ඉන්සියුලින් මිල අඩු කළේ ඇයි..? දුම්කොළ වලට බදු ගැහැව්වේ ඇයි...? පැණි බීම වලට බදු ගැහැව්වේ ඇයි...? ඒ සියල්ල නිසා යෝධ සමාගම් මා එක්ක තරහ වුණා. ඊට අමතරව දොස්තරලා කිහිප දෙනෙක් සහ ඔවුන් නියෝජනය කරන, වෛද්‍ය සංගමයේ ඉන්න දොස්තරලා කිහිප දෙනකුත් මාත් එක්ක තරහයි. මේ අය දොස්තරලත් නෙවෙයි. කොන්දොස්තරලාටත් අන්ත කට්ටිය. මේ අයට අද අනුග‍්‍රහය දක්වනවා ඇත්තේ, මාත් එක්ක තරහ සමාගම් වෙන්න ඇති. ඒ අයට මම කියනවා ” කොමිෂන් එකක් නෙමෙයි, දහයක් ගේන්න... මම බය නැහැ” කියලා. තුවක්කුව ඉස්සරහ තියාගෙන විජේවීරලා වැඩ කරපු කාලේත් බය නැතුව හිටපු මම, ඔය පාදෙනියලා වගේ අයට බයද...? (කේන්තියෙන්... ශබ්ද නගා කතා කරමින්) ඔය අය හිතන් ඉන්නේ මම වැදගත් විදිහට කතා කරන කොට, ඒගොල්ලන්ට බයේ කියලා. හරියට රාජිත සේනාරත්නව ආපහු පෙන්නුවොත් මේ ගොල්ලන්ට දුවන්න ඉඩ නැහැ...

ප‍්‍රශ්නය - මේ පෙරළියත් සමග ඇත්තටම ඔබට බයක් දැනෙන්නේ නැද්ද...?

පිළිතුර - මොකටද බය වෙන්නේ...

ප‍්‍රශ්නය - ඔබ විසින් දැඩි ලෙස ප‍්‍රහාර එල්ල කරපු, රාජපක්ෂලා යළි බලයට ඇවිත්...

පිළිතුර - ඒ අයට මට කරන්න කිසි දෙයක් නැහැ. මම මිනිස්සුන්ට කරපු දේවල් වලට විරුද්ධව මට නඩු දාන්නද...? මම රාජපක්ෂලාට අභියෝග කරනවා, පුළුවන් නම් මම සෞඛ්‍යට කරපු වැඩ කොටස ඉදිරියට කරගෙන යන්න කියලා...

සාකච්ඡා කළේ - මනෝජ් අබයදීර

51,327 Viewers

No comments:

Post a Comment

Post Bottom Ad