ජෝනිගෙන් විජේදාසට අභියෝගයක්.. විජේදාස සැගවෙයි ? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, September 10, 2018

ජෝනිගෙන් විජේදාසට අභියෝගයක්.. විජේදාස සැගවෙයි ?


ඒ වන විටත් ලැබී තිබුණු ආරංචි මගින් කියවුණේ ‘ජන බලය කොළඹට’ නම් උද්ඝෝෂණයට පෙර ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් කිහිප දෙනෙකු සිර ගත කිරීමේ සූදානමක් ඇති බවය. ‘පොදු දේපළ පනත’ නම් අලූතින්ම තනා ගත් මාංචු කුට්ටමක් අතට ගෙන යහපාලනය විසින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය, දියත් කරන්නේ 2015 ජනවාරි 08 වැනිදා සිටය. ඒ නවතම සොයා ගැනීම සිය දේශපාලන විරුද්ධවාදීන් සෑහෙන ප‍්‍රමාණයක් විෂයයෙහි, ආණ්ඩුව විසින් අත්හදා බැලීමෙන් පසු ඊළඟ වාරය එළඹෙන්නේ කාටදැයි, කවුරුත් බලා සිටියහ. ජොන්ස්ටන් ප‍්‍රනාන්දු එහි ඊළඟ ගොදුර වන බවට අනාවැකි රාශියක් පැතිරී යමින් තිබුණි. තමන්ට පවරා තිබූ එක් නඩුවක් සඳහා කුරුණෑගල මහාධිකරණය බලා පිටත් වී යෑමට පෙර ‘SL NEWS WEB’ සමග පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා කරන ලද සාකච්ඡුාවයි මේ.

ප‍්‍රශ්නය - ඔබ යළිත් වරක් සිරගත කිරීම සඳහා සැරසෙන බවට මේ වන විට ආරංචියක් පැතිරී යමින් තිබෙනවා. මොකක්ද මේ කතාව...?

පිළිතුර - එහෙම ආරංචියක් පැතිරී යන බව බොහෝ දෙනෙක් මටත් කිව්වා. ඒකේ ඇත්ත නැත්ත අද දහවල් වනවිට ඔබතුමාලට දැක ගන්න පුළුවන් වෙයි. ඒ වගෙම මම කියන්න කැමතියි, සිරගත කිරීම කියන්නේ මට අලූත් දෙයක් නෙමෙයි. මේ ආණ්ඩුව තමන්ට අභියෝගයක් වෙන, ඒකාබද්ධ විපක්ෂයේ සහ ආණ්ඩුවට දැඩි විවේචන එල්ල කරන යම් යම් කොටස් අත්අඩංගුවට ගන්නා ආකාරය පසුගිය වසර තුනහමාර පුරාම අපි දැක්කා. මේ වන විට මට එරෙහිව නඩු එකොළහක් දාලා තියෙනවා. ඒ වගේම දවස් තිහක් මාව හිර ගත කරලා තිබ්බා. අදත් ඒ වගේ නඩුවක් තියෙනවා. ආණ්ඩුව අපිට එරෙහිව නොයෙක් ක‍්‍රියාමාර්ග ගනියි. පස් වැනිදා පවත්වන ජනබලය කොළඹට උද්ඝෝෂණය පිළිබඳව ආණ්ඩුව දැනටමත් බය වෙලා ඉවරයි. එය කඩාකප්පල් කිරීම සඳහා ආණ්ඩුව විවිධ පියවරවල් අනුගමනය කරමින් සිටිනවා. ඒ මොනවා කෙරුවත්, සිද්ධ වෙන්නේ, රටේ ජනතාව තව තවත් ආණ්ඩුවට එරෙහිව යනවා මිසක් වෙන කිසිවක් නෙමෙයි. 
 
ප‍්‍රශ්නය - ඔබට එරෙහිව නඩු පැවරීම කියන්නේ, එක්තරා අතකින් ආණ්ඩුවේ ප‍්‍රධාන ප‍්‍රතිපත්තියක්... මේ ආණ්ඩුව බලයට පත්වන්නෙම, ¥ෂණය සහ වංචාවට එරෙහිවයි. ඒ සඳහා දඬුවම් දෙන බව මැතිවරණයේදී ආණ්ඩුව ප‍්‍රධාන පොරොන්දුවක් ලෙස රටට කිව්වා. ඒ සඳහා ආණ්ඩුව කටයුතු කරගෙන යන විට, දේශපාලන පළිගැනීම් සිදුකරන බවට ඒකාබද්ධය විසින් ප‍්‍රකාශ කරනවා. මේ පරස්පරය විසඳා ගන්නේ කොහොමද...?


පිළිතුර - හොරු අල්ලන්න කියලා ආපු ආණ්ඩුව මොකද කළේ...? මේ රටේ ඉතිහාසයේ සිදුකරන ලද ලොකුම හොරකම කළා. මහ දවාලේ මහ බැංකුව කොල්ල කෑවේ, මේ ආණ්ඩුව නෙමෙයිද...? මුල ඉඳලම කිව්වේ, එහෙම හොරකමක් වුණේ නැහැ කියලනේ... අපි ඒ ගැන පැමිණිලි කරලා, පාරට බැහැලා කෑ ගැහැව්වට පස්සේ, තමයි ආණ්ඩුව මේ ගැන බය වුණේ... ඒ හොරු බේරගන්න, ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරියා, ඔබට මතක ඇති. ඊට පස්සේ කොමිසමක් තිබ්බා, දැන් නඩු යනවා. ඒත් අර්ජුන මහේන්ද්‍රන් තාම කොහෙද ඉන්නේ කියලා, ආණ්ඩුව දන්නේ නැහැ. ආසියාවේ විශාලම රාජ්‍ය දූෂණය ලෙස හඳුන්වන මහ බැංකු කොල්ලයේදී එහෙම හැසිරෙන ආණ්ඩුව, ඒකාබද්ධ විපක්ෂයේ අයට එරෙහිව, නඩු පවරන්න කටයුතු කරන ආකාරය දිහා බලන කොට පේනවා, මේ හොරු ඇල්ලීමක්ද, දේශපාලන පළිගැනීමක්ද කියලා. 

හිටපු ආණ්ඩුවේ හොරු ඇල්ලීම ගැන අපේ කිසිම විරෝධයක් නැහැ. හොරු ඇල්ලීම සඳහා අපි මුල සිටම සහය දෙන්න ලැහැස්ති වුණා. හැබැයි, ඒ කටකතාවලින් කියවෙන දේවල් හෝ සිල් රෙදි ජනතාවට බෙදලා දුන්න වගේ කතා ගැන නෙමෙයි. ඇත්තටම හොරකම් වුණා නම්, අපි ඒ ගැන හොයන්න සහය දෙන්න ලැහැස්තියි... ඒ සඳහා සහයෝගය උපරිමයෙන් මම ලබා දුන්නා. අපි ගැන හෝ අපේ යටතේ වැඩ කරපු නිලධාරීන්ට හෝ යම් කිසි පෙත්සමක් අල්ලස් කොමිසමට ඉදිරිපත් වෙලා තිබුණා නම්, ඒ සඳහා කට උත්තර ලබා දීලා, මම සහ අනෙක් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රීවරු උපරිම සහය ලබා දී තිබෙනවා. එසේ තිබියදී මේ නඩු සම්පූර්ණයෙන්ම ඉලක්ක ගත කරන්නේ මඩ ගැසීම සඳහා සහ දේශපාලන පලිගැනීම සඳහා බව අපි දැක්කා. මේ ආණ්ඩුව බලයට ආවෙත් මඩ ගහලනේ... ඒ දෙයම තමයි, බලයට ඇවිල්ලාත් කරගෙන ගියේ. මේ මඩ කතා ඇත්ත කියලා පෙන්වන්න ආණ්ඩුවට නඩු දාන්න වෙලා තියෙනවා. ඒ නිසා ඔවුන් බොරු නඩු දානවා. සැලසුම් සහගත ලෙස වෙනම පොලිසියක් හදලා, එෆ්.සී.අයි.ඞී. කියලා ඒක නම් කරලා, තමන් එදා ගහපු මඩ ඇත්ත කියලා, රටට පෙන්වන්න මේ අය බොරු නඩු දානවා. ඒක තමයි ඇත්ත තත්ත්වය... එහෙම පෙන්වමින් මේ අය රටේ තිබෙන ලොකුම හොරකම් කරනවා. හොරු මොන පක්ෂයේද කියලා බලන්නේ නැතිව, හොරු අල්ලන්න කියලයි අපි කියන්නේ... ඒ වෙනුවට ජනතාවට ඇත්ත වසන් කරමින්, ආණ්ඩුවේ බැරිකම වසා ගැනීම සඳහා ඒකාබද්ධයේ පිරිස් හිරේ දාන වැඩපිළිවෙළක් තමයි අද මේ ආණ්ඩුව කරගෙන යන්නේ.

ප‍්‍රශ්නය - ‘ජොනී - පනී’ කියලා සමහර වෙබ් අඩවි පුවත් පළකරලා තිබුණා. තමන්ට තිබෙන චෝදනාවලින් ගැලවීම සඳහා ඔබ, ආණ්ඩුව සමග යම් එකඟතාවයක සිටිනා බව මේ වෙබ් අඩවි කියා තිබුණා...

පිළිතුර - ආණ්ඩුවට එක්වෙනවා නම්, මට ඒ සඳහා මුල සිටම අවස්ථාව තිබුණා. මට ඒ පැත්තෙන් ආරාධනා තිබුණා. මාව ගෙන්වලා කතා කෙරුවා. මට ඇමැතිකම් යෝජනා කළා. ඒ හැම දෙයක්ම මම ප‍්‍රතික්ෂේප කරලා, මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එක්ක ජනවාරි අට වෙනිදා ඉඳලා මම එකට හිටියා. එතුමා පැරදුනු දවසේ උදේ පාන්දරින්ම මම අරලියගහ මන්දිරයට ගිහිල්ලා, එදා ඉඳලා එක සිතෙන් එතුමා සමග සිටිනවා. එහෙම නැතුව වෙන වෙන හීන දකින මිනිස්සු නෙමෙයි අපි. මම තනතුරු බලාගෙන පාවාදීම් කරන පුද්ගලයෙක් නෙමෙයි. මගේ එකම බලාපොරොත්තුව වන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා නැවත වාරයක් මේ රට මෙහෙයවන්න පුළුවන් විදිහේ බලයක් ලබා ගන්න එක. ඒ සඳහා වන වැඩපිළිවෙළ තමයි අපි ක‍්‍රියාත්මක කරගෙන යන්නේ... බොරු නඩු එකොළහක් මට දැම්මා. මාව නිකං බොරුවට හිරේ දැම්මා. අදත් හිරේ දායිද දන්නේ නැහැ. මට කරන්න පුළුවන් හැම අරියාදුවක්ම කළා. ගහන්න පුළුවන් හැම මඩක්ම මට ගැහැව්වා. එහෙම වුණත් මේ රට බේරගත්ත නායක මහින්ද රාජපක්ෂ මහතා සමග මම ඉන්නවා. 

ජවිපෙ පත්තරයේ මම පනිනවා කියලා දාලා තිබ්බා. මේ රට බේරගත්ත නායකයා දාලා අපි එහෙට මෙහෙට යන්නේ නැහැ. හිරගෙවල් දහයක් නෙවෙයි සීයක දැම්මත් මගේ ප‍්‍රතිපත්තිය ඒකයි. එල්ලූම් ගහේ දැම්මත් මම ඉන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එක්ක... එතුමා නැවත වාරයක් මේ රට මෙහෙයවිය යුතුයි කියන එක තමයි මගේ අවශ්‍යතාවය. 

ප‍්‍රශ්නය -‘ජොනී - පනී’ කියන ආරංචිය පැතිරෙන්නේ, ඔබ විසින් ආණ්ඩුවේ කවුරුන් හෝ සමග යම් කතාබහක් කරගෙන, ඔබට එරෙහිව තිබෙන නඩු අහක දමා ගැනීම සඳහා රහසිගත කටයුත්තක නියැළුණ නිසාද ...? 

 පිළිතුර - මේවා මඩ... මම එහෙම කරන චරිතයක් නෙමෙයි. ඔය විදිහට මඩ ගහන්නේ. අපිව හිරේ දාගන්න වුවමනා වුණහම තමයි. මුලින්ම කරන්නේ අපිට මඩ ගහන එකයි. එහෙම කරලා අපිට තියෙන ගෞරවය නැති කරලා දානවා. ඔවුන්ගේ ඉලක්කය ඒකයි. අපි කෙලින් ඉන්න කොට වැනෙන පුද්ගලයෙක් කියලා, මේ මඩ ප‍්‍රචාර මගින් සමාජයට පෙන්වනවා. නිවැරදිව ඉන්නවා නම් හොරෙක් කියලා හංවඩු ගහනවා. මේ හැම දෙයක්ම කරන්නේ ඔවුන්ගේ බලය පවත්වාගෙන යෑම සඳහායි. ඒ සඳහා තමන්ට අභියෝගයක් වෙන මිනිස්සුන්ට පහරදීම තමයි මේ වැඩවල අරමුණ. හොරු ඉන්නේ ආණ්ඩුවේ... ඒ හොරකම් වහගන්න අපිට මඩගසමින්, අපිව නිරපරාදේ හිරේ දානවා. බැඳුම්කරේ විතරක් නෙමෙයි, හම්බන්තොට වරාය විකුණලා කෝටි ගාණක් මේ අය කොමිස් ගත්තා. මත්තල ගුවන් තොටුපළ ඉන්දියාවට දෙන්න යන්නේ තවත් ලොකු කොමිස් කුට්ටියක් බලාගෙන. කොළඹ වරායේ කොටසක් විකුණන්න යනවා. මේ සියල්ල පිටුපස්සෙම කෝටි ප‍්‍රකෝටි ගණනක හොරකම් තිබෙනවා. මොන ඡුන්දය තිබ්බත් ඔවුන් පරාදයි. ඒ නිසා ඉන්න ටික කාලයේදී, ප‍්‍රකෝටි ගණනක් හොරකම් කරගෙන යන්නයි, මේ හදන්නේ., 

 අපි ආණ්ඩුවට ගිහිල්ලා, සිරිසේන ජනාධිපතිතුමා එක්ක හරි රනිල් වික‍්‍රමසිංහ මහත්තයාත් එක්ක හරි හිට ගත්ත නම්, අපි හොඳ පිරිසිදු මිනිස්සු වෙනවා. ආණ්ඩුවට විරුද්ධව හිට ගන්නවා නම් ඒ සියලූදෙනා හොරු. බැඳුම්කර හොරකමට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ, අගමැතිතුමානේ... ඒක පොඩි හොරකමක් නෙමෙයිනේ... එතුමා හොඳින් ඉන්නවා. සිරිසේන මහත්තයාත් හොඳින් ඉන්නවා. දෙන්නා ගහත් ගන්නවා. ප‍්‍රශ්නත් ඇතිවෙනවා. සිරිසේන මහත්තයාම නොකියා කියනවා, අගමැතිතුමා හොරා කියලා. එහෙම කියන ගමන් දෙන්නා එකට ආණ්ඩු කරනවා. ජනතා දේපළ විකුණගෙන කනවා. ඒගොල්ලෝම උසාවි හදලා තියෙනවා. ඒ අයම පොලිසි පිහිටුවලා තියෙනවා. අපේ ආණ්ඩුවක් ආවාහම, මේ හොරු අල්ලන්න අපිට ඉතා පහසු වෙනවා. 

ප‍්‍රශ්නය - අද දවසේ ඔබ අධිකරණයට යන්නේ කුමන චෝදනාවක් සඳහා පිළිතුරු දෙන්නද...?

පිළිතුර - මට තියෙන චෝදනාව තමයි, සතොසින් භාණ්ඩ ගත්තාය කියලා. එම භාණ්ඩ අරගෙන මම මුදල් දුන්නේ නැහැ කියලා. මම කවදාවත්ම සතොසින් භාණ්ඩ අරගෙනම නැහැ... මේ ගැන නඩුවක් තිබෙන නිසා මම ඒ ගැන වැඩිය කතා කරන්න යන්නේ නැහැ. ඒ චෝදනාව මම සම්පූර්ණයෙන්ම අධිකරණයේදී ප‍්‍රතික්ෂේප කර තිබෙනවා. මම කවදාවත් ජනතාවගේ දේවල් ගන්න පුද්ගලයෙක් නෙමෙයි. මම ජනතාව වෙනුවෙන්, වියදම් කරලා, ඔවුන් වෙනුවෙන් පෙනී සිටින පුදගලයෙක්... සතොස මම භාර ගන්න කොට එහි මුළු පිරිවැටුම තිබ්බේ, මාසයකට බිලියනයක් විතර... අපි ඒක ලක්ෂ තිස්දාහ වෙනකං වැඩි කළා. 300 % කින් අපි ආදායම වැඩි කළා. ශාඛාවන් වැඩි කළා. ඒ යුගයේදී ලංකාවේ අඩුම බඩු මිල තිබ්බේ, සතොසේ... ඒ විතරක් නෙමෙයි, සතොසක් එක ප‍්‍රදේශයක ආරම්භ කරාම, ඒ මුළු ප‍්‍රදේශයේම මිල ස්ථාවර කරන්න පුළුවන් ශක්තියක් සතොසට තිබුණා. සතොස අපි භාර ගත්ත දවසේ ඉඳලා, එක රුපියලක් පාඩු ලැබුවේ, නැහැ. අපි ගත්ත දවසේ ඉඳලා අපි ලාභ ලැබුවා. ඒ විතරක් නෙමෙයි, අපි ආයෝජන පවා කරලා, ලාභ ගත්තා. දැන් සතොස තියෙන තත්ත්වය ගැන බලන්න, ළඟම තිබෙන සතොසට යන්න, කියලා මම ජනතාවට කියනවා.

ප‍්‍රශ්නය - සතොසින් හාල් ගෙන්වා, කෝටි ගණනක අලාභයක් ලැබුවා කියලා, ආණ්ඩුව චෝදනා කළා...

පිළිතුර - මම ඉතාම වගකීමෙන් කියනවා, අපි එක රුපියලක් පාඩු ලැබුවේ නැහැ. ඒ යුගයේදී... මේ මුළු අලාභයම සිද්ධ වුණේ මේ ආණ්ඩුව යටත්. අල්ලස් කොමිසම ඒ ගැන පරීක්ෂණ කරලා තිබෙනවා. අපි කියන්නේ, වහාම ඒ ගැන නඩු පවරන්න කියලයි. කවුද හොරු කියලා, එතකොට රටට පෙනෙයි... ජනාධිපතිතුමාගේ ප‍්‍රධාන ගෝලයෙක් පත් කරපු පුද්ගලයෙක් තමයි, මේ සඳහා චෝදනා ලබලා තියෙන්නේ... ඒ සඳහා වහාම නඩු දාන්න කියලා, අපි ඉල්ලනවා. රුපියල් බිලියන 2.5 ක මුදලක් එතැනින් වංචා කර තිබෙන බව මට ආරංචියි.

ප‍්‍රශ්නය - ඔබගේ කාලයේදී මහපොළ භාරකාර අරමුදල සම්බන්ධව දූෂණයක් සිදුවුණු බවට අමාත්‍ය විජේදාස රාජපක්ෂ විසින් චෝදනාවක් එල්ල කර තිබෙනවා...

 පිළිතුර - විජේදාස රාජපක්ෂ මහත්මයා කවුද කියලා රටම පසුගිය කාලයේ දැක ගත්තා. එක පාරක් ආණ්ඩුවෙන් අස් කරවනවා. ඊට පස්සේ, එතුමා ආණ්ඩු හදන්න යනවා. තව ටික දවසකින් ආයෙමත් ගිහිල්ලා, තනතුරක් අරගෙන එනවා. එහෙම වටේ ගිහිල්ලා, චෝර වෙලා, කොර වෙලා ගිය චරිතයක් තමයි, විජේදාස කියන්නේ... මම ඒ චෝදනාව ගැන විජේදාස රාජපක්ෂ මහත්මයත් සමග ඕනෑම විවාදයක් කරන්න සූදානම්... මහපොළ භාරකාර අරමුදල ඉතිහාසයේ වැඩිම ලාභය ලැබුවේ, මම ඇමැති වෙලා හිටිය කාලයේ... ඔය බොරු චෝදනාව මම සම්පූර්ණයෙන්ම ප‍්‍රතික්ෂේප කරනවා. මහපොළේ දේවල් වික්කේ, මේ ආණ්ඩුව කාලයේදී... ස්ලිට් එක වික්කා... ස්ලිට් එකේ මහපොළට අයත්ව තිබ්බ, කොටස් සියල්ල විකුණලා දැම්මා. මහපොළ අරමුදල තියෙන්නේ මණ්ඩලයක් යටතේ... එහි සිදුකෙරෙන දේවල් අගවිනිසුරු දැනගත යුතුයි. එතුමාවත් දන්නේ නැතුව ඒ කොටස් වික්කා. ස්ලිට් එකෙන් රුපියල් බිලියන සියයක් පමණ මහපොළට ලාභ ආවා. ඒ කොටස් ටික හොරෙන් වික්කා විතරක් නෙමෙයි, එහි මුදල් ගියේ කොහේද කියලත් මම කියන්නම්... මලික් සමරවික‍්‍රම තමයි මේකේ ඇමැතිවරයා... එහි ඉන්නේ, ගාමිණි දිසානායකගේ මස්සිනා... වික‍්‍රම වීරසූරිය... එයා ඒ මුදල් දැම්මේ, වෙනම ගිණුමක් ඇරලා... ඊළඟට, මේ සමාගමේ සල්ලි, ඒ සභාපතිතුමාගේ පුතාගේ, සමාගම හරහා තමයි ගියේ... මේවා තමයි හොරකං කියන්නේ... මේ මුදල් ආයෝජනයක කළේ ඒ පුතාගේ තැරැුව්කාර සමාගම මාර්ගයෙන්... දැන් වෙද්දී එයින් බිලියන ගණනක් පාඩුයි...මේවා තමයි හොරකම්... 

මම විජේදාස රාජපක්ෂට අභියෝග කරනවා... එන්න මේ ගැන කතා කරන්න කියලා... එන්න... මාත් එක්ක ප‍්‍රසිද්ධ විවාදයකට... 

19,867 Viewers

No comments:

Post a Comment

Post Bottom Ad