ආණ්ඩුවත්, ආණ්ඩුවට කඩේ යන හීලෑ විපක්ෂයත් එකට අල්ලා පොළවේ ගැසීමට සූදානම්..- ඒකාබද්ද විපක්‍ෂය කියයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, September 10, 2018

ආණ්ඩුවත්, ආණ්ඩුවට කඩේ යන හීලෑ විපක්ෂයත් එකට අල්ලා පොළවේ ගැසීමට සූදානම්..- ඒකාබද්ද විපක්‍ෂය කියයි..

ආණ්ඩුවත් ආණ්ඩුවට කඩේ යන හීලෑ විපක්ෂයත් දෙකම එකට අල්ලා පොළවේ ගැසීමට තරම් හයියක් ඒකාබද්ධ විපක්ෂයට ඇති බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.

ඒකාබද්ධ විපක්ෂය දුර්වල වී ඇතැයි ආණ්ඩුව සිතන්නේ නම් පළාත් සභා මැතිවරණය පවත්වන්නැයි අභියෝග කළ රණතුංග මහතා දුර්වල ඒකාබද්ධයේ බලය එදාට බලාගත හැකි වනු ඇති බවත් ප්‍රකාශ කළේය. ප්‍රසන්න රණතුංග මහතා මෙම අදහස් පළ කළේ මිනුවන්ගොඩ, උග්ගල්බොඩ ප්‍රදේශයේ දී පැවැති ජනහමුවකට සහභාගී වෙමිනි. මන්ත්‍රිවරයා එහිදී වැඩිදුරටත් මෙසේ ද ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරණය පැවැත්වීමට තවත් ඉතිරිව ඇත්තේ වසරකුත් මාස තුනක කාල සීමාවක් පමණයි. ව්‍යවස්ථාවට අනුව 2019 දෙසැම්බර් 08 වැනි දා වන විට ජනාධිපතිවරණය පවත්වා අවසන් කළ යුතුව තිබෙනවා. ඒ අනුව බලන විට ‍ඒ වසරකුත් මාස තුනක කාලය ඉතාමත් තීරණාත්මක කාලසීමාවක් බව අමුතුවෙන් කිව යුතු නැහැ. 2015 ජනවාරි 08 වැනි දා පැවැති ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මැතිතුමා පරාජයට පත් වුණාට පස්සේ එතුමාගේ නායකත්වය තවදුරටත් අපේක්ෂා කරන කණ්ඩායම එකතු වෙලා හදපු බලවේගය තමයි අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විදියට ස්ථාපිත වෙලා තියෙන්නේ. අද මේ රටේ ‍ශක්තිමත්ම දේශපාලන බලවේගය පොදුජන පෙරමුණයි.

අපේ බලය අපි රටට ලෝකයට පැහැදිලිව පෙන්නලා තියෙනවා. විශේෂයෙන් පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී ලංකාවෙම පළාත් පාලන ආයතනවල බලය තහවුරු කරන්න අපිට හැකි වුණා. ඒ නිසා ඉදිරි ජනාධිපතිවරණයේ දී තීරණාත්මක ජයග්‍රහණය ලබන කණ්ඩායම බවට පොදුජන පෙරමුණ පත්වෙලා තියෙන බව සැකයක් නැහැ. අපට තිබෙන බලය හමුවේ ආණ්ඩුව අන්දමන්ද වෙලා තියෙන ආකාරය මේ දවස්වල ජනාධිපතිවරයා සහ අගමැතිවරයා කරන කියන දේවල්වලින් පැහැදිලි වෙනවා. වසර තුනක් තිස්සේ ජාතික සම්පත් කොල්ල කාපු, රටේ ආර්ථිකය විනාශ කරපු, ජනතා අපේක්ෂා නොසලකා හැරපු ආණ්ඩුවට දැන් තමයි ජනතාව මතක් වෙලා තියෙන්නේ.

අවුරුදු තුනක් තිස්සේ කරන්න බැරි වුණ සංවර්ධනයක් දැන් එක අවුරුද්දෙන් කරන්න හදනවා. අපේ ආණ්ඩුව කාලේ පටන් ගත්තු බොහෝ ‍ව්‍යාපෘති තමන්ගේ නම ගහගෙන විවෘත කරන එක තමයි ආණ්ඩුවේ ලොකුම වැඩේ වෙලා තියෙන්නේ. අපි පටන් ගත්තු ඒවා විවෘත කරන ගමන් අපි විවෘත කරපුවා විකුණන එකත් ආණ්ඩුවේ ප්‍රතිපත්තියක් වෙලා ඉවරයි. එදා දැයට කිරුළට හිනා වෙච්ච අය අද එන්ටර්ප්‍රයිස් කියලා නාඩගමක් නටනවා. එදා මාධ්‍යවේදීන් වෙනුවෙන් පාරවල් ගාණේ උද්ඝෝෂණ කරපු අය අද ප්‍රසිද්ධියේ මාධ්‍යවලට තර්ජනය කරනවා. එදා පාරවල් කන්නද අහපු අය ලහිලහියේ පාරවල් කාපට් කරනවා. මෙයාලා මොකටද එන්නේ කියලා ජනතාවට හොඳට තේරෙනවා.

මේ එන්නේ රටට, ජනතාවට ආදරේට නෙමෙයි. මේ එන්නේ මීළඟ ජනාධිපතිවරණයත් කපටිකමින්, බොරුවෙන් ජයග්‍රහණය කරන්නයි. මෙදා පාර නම් ජනතාව රැවටෙන්න සූදානම් නැහැ. පොදු අපේක්ෂකයෝ සීයක් ආවත් මේ පාර දිනන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රධාන ඒකාබද්ධ විපක්ෂයේ බලවේගය බව කවුරුත් මතක තබාගන්න ඕනේ. අද ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් බයවෙලා ඉන්නේ ජනාධිපතිවරණය පැරදුණොත් විඳින්න වෙන විපාක සිහිවෙලයි. මහ බැංකුව කොල්ල කාපු, මහපොළ සල්ලි සාක්කුවේ දාගත්තු මහ හොරු වගේම පළාත් සභාවට ලක්ෂ හයහමාරේ පුටු ගෙනාපු පුට හොරු වගේ හිඟන හොරුත් අපට අමතක වෙලා නැහැ.

මේ සියලු හොරුන්ට එරෙහිව විශේෂ මහාධිකරණයේ නඩු අහලා හිරගෙදරට යවනවා. හිරගේත් මදි නම් එල්ලුම් ගහට යවනවා. හැබැයි අර ‍සිරිසේන මහත්තයා ක්‍රියාත්මක කරපු එල්ලුම් ගහට නෙමෙයි. එතුමා නින්දෙන් නැගිටලා එක වතාවක කියනවා මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන් එල්ලනවා කියලා. හැබැයි ඒක එහෙමම යට යනවා. ආයෙත් වතාවක් කියනවා පොදු දේපළ හොරා කන අය එල්ලුම් ගහට යවනවා කියලා. සිරිසේන මහත්තයෝ පොදු දේපළ බිලියන ගණන් කොල්ලකාපු අය ඉන්නේ තමුන්නාන්සේගේ ආණ්ඩුවෙයි. මම දන්නේ නැහැ, මම දැක්කේ නැහැ කියලා අත පිහදාගන්න නම් තමුන්නාන්සේට හම්බ වෙන්නේ නැහැ.

සමහරු කියනවා ඒකාබද්ධ විපක්ෂය දුර්වල වෙලාලු. ඒකාබද්ධ විපක්ෂය බෙදිලලු. එහෙම නම් තියන්න පළාත් සභා මැතිවරණය කියලා අපි අභියෝග කරනවා. බෙදිලා තියෙන ඒකාබද්ධයේ බලය එදාට බලාගත හැකි. ආණ්ඩුවයි, හීලෑ විපක්ෂයයි දෙකම එකට අල්ලලා පොළවේ ගහන්න තරම් හයියක් ඒකාබද්ධ විපක්ෂයට තියෙනවා.

– ප‍්‍රදීප් අනුර කුමාර

No comments:

Post a Comment

Post Bottom Ad