“බැසිල්ගේ සංවිධාන ශක්තියට අභියෝග කරන්න නාමල්ට බෑ“ - රාජිත බැසිල්ගේ පැත්ත ගනී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, September 10, 2018

“බැසිල්ගේ සංවිධාන ශක්තියට අභියෝග කරන්න නාමල්ට බෑ“ - රාජිත බැසිල්ගේ පැත්ත ගනී

බැසිල් රාජපක්ෂ මහතාගේ සංවිධාන ශක්තියට අභියෝග කිරිමට උත්සාහ කළ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා තම පියාට විනාශය ලඟාකර දුන් බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කරයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පෙරේදා (08) සෞඛ්‍ය අමාත්‍යංශයේ දී “ජනබලය” පාගමන පිළිබදව මාධ්‍යයට ප්‍රකාශයක් ලබාදෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා,

“ජනබලය පාගමන පුස් වෙඩිල්ලක්. වසර 20 කට වඩා පාගමන් සංවිධානය කළ මම, මෙම පාගමනේ සංවිධාන ශක්තිය පිළිබදව මුල සිටම ප්‍රශ්නයකට මුහුණ දී සිටියා. රජය පළවා හැර නව රජයක් පිහිටුවන බවට ප්‍රකාශ කරමින් කොළඹට ගෙනඑන ජනතාවට අවශ්‍ය පහසුකම් ලබාදෙන්නේ කොහොමද කියලා සංවිධාන ශක්තියක් තිබුනේ නැහැ. අඛණ්ඩව විරෝධතා සිදු කිරීමේ දී අවම තරමේ වැසිකිළි කැසිකිළි පවා සිදු කිරීමේ ස්ථාන හදුනා ගැනීමට නොහැකි තත්ත්වයක් සංවිධායකයින් සතුව තිබුනා. මෙය සංවිධානය කළ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එවැනි අවබෝධයක් තිබුනේ නැහැ. 

පසු දින සේවා ස්ථාන කරා පැමිණි ජනතාව දුර්ගන්ධය නිසා දෝෂාරෝපණ පවා එල්ල කළා. බැසිල් රාජපක්ෂ මහතා හොද සංවිධාන ශක්තියක් ඇති පුද්ගලයෙක්. මේ වන විට විදේශගත වී සිටින බැසිල් රාජපක්ෂ මහතාට පාඩමක් ඉගැන්වීමේ අරමුණින් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මෙම පාගමන සංවිධානය කළා. බැසිල් රාජපක්ෂ නොමැති වුවත් අපට සංවිධානය කරන්න පුළුවන් කියන බොළද මානසිකත්වයෙන් කටයුතු කිරීම නිසා නාමල් රාජපක්ෂ මහතා මේ වන විට අත පුච්චාගෙන සිටිනවා. රජය පෙරලා දමා නව රජයක් බිහි කරන බව ප්‍රකාශ කරමින් පැමිණි ජනතාවගෙන් එදින රාත්‍රිය වන විට 250 ක් වත් කොටුව ප්‍රදේශයේ දක්නට ලැබුනේ නැහැ. 

එම සිටි පිරිස නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට ප්‍රසිද්ධියේ බැන වදින ආකාරය සමාජ ජාලා මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කර තිබෙනවා. රාජ්‍ය විරෝධී පාගමනකට සංවිධායකයින්ට ජනතාව බැන වැදුනු ප්‍රථම අවස්ථාව මෙයයි. මෙහි සංවිධායකයින් ජනතාව මහ මඟ සිටිය දී කොටුව ප්‍රදේශයේ තරු පහේ හෝටලවලට වී මත්පැන් පානය කරමින් සිටියා. දකුණු පළාතේ හිටපු අමාත්‍යවරයෙකුගේ පුත්‍රයෙක් සංගීතය ලබාදෙමින් මෙම තරුපහේ හොටල්වල විනෝදයෙන් කල් ගෙවුවා. නමුත් ජනතාව සිටියේ මහ මඟ.

මම මෙහිදී තව දෙයක් කීමට අවශ්‍යයි. විෂ සහිත කිරි පැකට් ලබාදුන්නා කියලා චෝදනාවක් එල්ල කරනවා. පාරේ සිටින මිනිසුන් ලබාදෙන කිරිපැකට් නොබී සංවිධායකින් ලබාදෙන කිරි පැකට් බීමට පාගමනේ නිරත වූ ජනතාවට සංවිධායක මණ්ඩලය උපදෙස් ලබාදුන්නේ නම් මෙවැනි ගැටලුවක් ඇති වන්නේ නැහැ.” යැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.

No comments:

Post a Comment

Post Bottom Ad