අඟ මුවන් මැරූ දෙදෙනාට හැට දහසක් දඩ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, August 14, 2018

අඟ මුවන් මැරූ දෙදෙනාට හැට දහසක් දඩ

පොල් වත්තකට ආහාර සහ ජලය සොයා පැමිණි අඟ මුවකු ඝාතනය කළ බව කියන පුද්ගලයන් දෙදෙනකුට පුත්තලම අතිරේක දිසා විනිසුරු හා මහෙස්ත්‍රාත් ලහිරු එන්. සිල්වා මහතා රුපියල් 60,000ක දඩ මුදලක් නියම කර ඇත. අතිරේක දිසා විනිසුරුවරයා දඩ නියම කර ඇත්තේ මදුරන්කුලිය - උනාවේලියේ සහ
මහකුඹුක්කඩවල,

සෙම්බුකලියේ පදිංචි දෙදෙනකුටය. මදුරන්කුලිය - මහකුඹුක්කඩවල මාර්ගයේ පොල් වත්තක අග මුවකු ඝාතනය කර ඇති බවට මදුරන්කුලිය පොලිස් මුරපොළේ නිලධාරීන්ට පසුගිය 10 වැනිදා ලැබුණු තොරතුරක් මත වැටලීම සිදුකර ඇත. එහිදී ඝාතනය කර තිබූ කිලෝ ග්‍රෑම් 64ක් බරැති අඟ මුවකු සොයා ගැනීමට හැකිවී ඇති අතර අඟ මුවාට අඩි 2යි අඟල් 2ක් උසැති අං තට්ටුවක්ද  තිබී ඇත.

 මෙරට නිපදවන ලද ගිනි අවියක් අටවා මුවාට වෙඩි වැදීමට සලස්වා පසුව පොලුවලින් පහරදී මුවා ඝාතනය කර ඇති බව විමර්ශනවලදී හෙළිවී ඇත. අත්අඩංගුවට ගෙන ඇති එක් සැකකරුවකු පොල් වත්තේ මුරකරු වන අතර, අනෙක් සැකකරු යාබද ඉඩමේ මුරකරු බවට හඳුනාගෙන ඇත. තමන් සේවය කරන වතුවලට ජලය සහ ආහාර සොයා පැමිණෙන සතුන්ට ගිනි අවි අටවා ඝාතනය කර එම සතුන් මස් කර අලෙවි කිරීම සැකකරුවන් සිදුකර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.


සැකකරුවන් දෙදෙනා  සහ ඝාතනය කර තිබූ මුවා අධිකරණයට ඉදිරීපත් කිරීම සඳහා මුන්දලම පොලිසියට භාරදීමට මදුරන්කුලිය පොලිස් මුරපොළේ නිලධාරීන් කටයුතු කර ඇත. සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ මුන්දලම පොලිසිය මඟිනි. සැකකරුවන් ඝාතනය කර තිබූ මුවා විනාශ කිරීම සඳහා වනජීවී නිලධාරීන්ට භාර දෙන ලෙස පුත්තලම අතිරේක දිසා විනිසුරුවරයා මුන්දලම පොලිසියට නියෝග කර ඇත.

-සමන්ප්‍රිය ජයශාන්ත-


No comments:

Post a Comment

Post Bottom Ad