විස්සයි 20 සංචිතය හදිසියේ වෙනස් වෙයි..ශ‍්‍රී ලංකාවෙන් ප‍්‍රබල කණ්ඩායමක්.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, August 14, 2018

විස්සයි 20 සංචිතය හදිසියේ වෙනස් වෙයි..ශ‍්‍රී ලංකාවෙන් ප‍්‍රබල කණ්ඩායමක්..

සංචාරක දකුණු අප‍්‍රිකානු කණ්ඩායම හා ශ‍්‍රි ලංකා කණ්ඩායම අතර පැවැති ක‍්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද කොළඹ ආර් පේ‍්‍රමදාස පිටියේදී විස්සයි විස්ස තරගයක් ලෙස ශ‍්‍රී ලංකා වේලාවෙන් රාත‍්‍රී 07ට ආරම්භ වීමට නියමිතව ඇත.

ටෙස්ට් තරගාවලිය තරග 2-0ක් ලෙස පුර්ණ තරගාවලි පරාජයක් ලැබුවද එක්දින තරගාවලියේදී තරග 3-2ක් ලෙස ශ‍්‍රී ලංකාව පරාජය කිරීමට දකුණු අප‍්‍රිකාව සමත්වූ අතර එබැවින් සමස්ථ තරගාවලියේ ජය තීරණය කරන තරගයක් බවට මෙම තරගය පත්ව ඇත. අන්තර් ජාතක ක‍්‍රිකට් සභාව පනවා තිබු තරග 06ක තහනම අවසන් වීමෙන් පසුව දිනේෂ් චන්දිමාල් විස්සයි 20 සංචිතයට කැදවා ඇති අතර බෝහෝ දුරට හෙට තරගයට ක‍්‍රීඩා කිරීමට වැඩි ඉඩක් ඇති බව වාර්තා වෙයි.

නායක ඇන්ජලෝ මැතිව්ස් සමගින් කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, ධනංජය ද සිල්වා සහ උපුල් තරංග හෙට තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පිතිකරුවන් 5 දෙනා ලෙස ක්‍රීඩා කිරීමට නියමිතය. උපුල් තරංග එක්දින තරගාවලියේදී දිගින් දිගටම අසාර්ථක වූ බැවින් තරංගගේ ස්ථානය චන්දිමාල්ට හිමිවීමට වැඩි ඉඩක් තිබේ.

ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායමේ නායකයා ලෙස දකුණු අප්‍රිකානු නැඟී එන කණ්ඩායම එරෙහිව පැවැති පළමු නිල නොවන එක්දින තරගයට ක්‍රීඩා කළ චන්දිමාල්, එහිදී පන්දු 38 කින් හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමග නොදැවී ලකුණු 58 ක් රැස්කළේය. එම තරගයෙන් ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායමට ලකුණු 215 ක දැවැන්ත ජයක් ලැබීය.

මේ දක්වා විස්සයි20 තරග 52 කට සහභාගි වී ඇති චන්දිමාල් එහිදී ලකුණු 738 ක් රැස්කරගෙන ඇත්තේ අර්ධ ශතක 4 ක් සමගිනි. විස්සයි20 තරගයකදී 103.50 ක පන්දුවට පහරදීමේ වේගයක් රඳවාගෙන සිටින චන්දිමාල්ගේ ලකුණු රැස්කිරීමේ සාමාන්‍ය සටහන් වන්නේ 17.57 ක් ලෙසිනි. මේ වසරේ (2018) මාර්තු මාසයේදී බංග්ලාදේශයට එරෙහිව කොළඹදී පැවැති විස්සයි20 තරගය චන්දිමාල් සහභාගි වූ අවසන් විස්සයි20 තරගයයි.

තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා සහ අවසන් එක්දින තරග දෙකේදීම සාර්ථක වූ දසුන් ශානකද සිටින බැවින් කණ්ඩායමේ පිතිකරුවන් හත් දෙනා සොයාගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පිලට අර්බුදයක් නොමැත. ශ්‍රී ලංකා විස්සයි20 සංචිතය සහ ශ්‍රී ලංකා නැඟී එන සංචිතය යන සංචිත දෙකටම නම් කර සිටි ක්‍රීඩකයන් අතරින් ජෙෆ්රි වැන්ඩසේ සහ ෂෙහාන් මධුෂංක දකුණු අප්‍රිකා නැඟී එන කණ්ඩායමට එරෙහිව අද(14 වැනිදා) පැවැත්වෙන තෙවැනි එක්දින තරගයට සහභාගී වන බැවින් ඔවුන් දෙදෙනා වෙනුවට ඉසුරු උදාන සහ කසුන් රාජිත ශ්‍රී ලංකා විස්සයි20 සංචිතයට ඇතුළත් කිරීමට පියවර ගත් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටියේය.

දකුණු අප්‍රිකානු විස්සයි20 කණ්ඩායමේ නිත්‍ය නායක ෆෆ් ඩුප්ලෙසි ආබාධයකට ලක්ව සිටීම නිසා හෙට තරගයේදී කණ්ඩායම මෙහෙයවීමේ වගකීම තුන් ඉරියව් ක්‍රීඩක ජේ.පී. ඩුමිනිට පැවරී ඇති අතර විස්සයි20 ජාත්‍යන්තර තරග 76 කට ක්‍රීඩා කර ඇති ඩුමිනි, එහිදී අර්ධ ශතක 11 ක් සමග ලකුණු 1822 ක් රැස්කරගෙන ඇති අතර බිඳහෙළා ඇති කඩුලු සංඛ්‍යාව කඩුලු 20 කි.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ වසර (2018) තුළදී විස්සයි20 තරග 6 කට සහභගි වී තිබේ. එහිදී බංගලාදේශයට එරෙහිව පැවැති තරගය 4 න් 2 ක් ජයගෙන 2 ක් පරාජය වූ ශ්‍රී ලංකාව, ඉන්දියාවට එරෙහිව පැවැති තරග 2 න් තරගයක් ජයගෙන සෙසු තරගය පරාජයට පත්විය. දකුණු අප්‍රිකාව මේ වසර තුළදී සහභාගි වී ඇත්තේ විස්සයි20 තරග 3 කට පමණි. ඉන්දියාවට එරෙහිව පැවැති එම තරග 3 න් 2 ක් ජයගත් දකුණු අප්‍රිකාව, සෙසු තරගය පරාජයට පත්විය.

ශ්‍රී ලංකා සහ දකුණු අප්‍රිකාව විස්සයි20 තරග බිමේදී අවසන් වරට මුණගැසී ඇති අවස්ථා 5 න් 3 කදීම දකුණු අප්‍රිකාව පරාජය කිරීමට ශ්‍රී ලංකාව සමත් වී ඇති අතර සෙසු අවස්ථා දෙකේදී දකුණු අප්‍රිකාව හමුවේ ශ්‍රී ලංකාව පරාජයට පත්ව තිබේ.

ශ්‍රී ලංකා සංචිතය...

ඇන්ජලෝ මැතිව්ස් (නායක), කුසල් පෙරේරා, ධනංජය ද සිල්වා, උපුල් තරංග, කුසල් මෙන්ඩිස්, තිසර පෙරේරා, දසුන් ශානක, ෂෙහාන් ජයසූරිය, ළහිරු කුමාර, දිනේෂ් චන්දිමාල්, අකිල ධනංජය, ලක්ෂාන් සඳකැන්, බිනුර ප්‍රනාන්දු, ඉසුරු උදාන සහ කසුන් රාජිත

දකුණු අප්‍රිකානු සංචිතය...

ජේ.පී. ඩුමිනි (නායක), හෂීම් අම්ලා, ක්වින්ටින් ඩි’කොක්, රීසා හෙන්රික්ස්, හෙන්රිච් ක්ලාසෙන්, ඒඞ්න් මාක්‍රම්, ඬේවිඞ් මිලර්, විලියම් මල්ඩර්, ඇන්ඩිල් පෙලුක්වායෝ, කේෂව් මහරාජ්, තබ්‍රේස් ශම්ෂි, කගිසෝ රබාඩා, ලුන්ගි න්ගිඩි සහ ජූනියර් ඩලා

No comments:

Post a Comment

Post Bottom Ad