ශූරයින්ට මිලියන 02ක්..ක‍්‍රිඩා ලෝලින්ටත් සුබ පුවතක්.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, August 18, 2018

ශූරයින්ට මිලියන 02ක්..ක‍්‍රිඩා ලෝලින්ටත් සුබ පුවතක්..

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන “SLC T20” ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගන්නා කණ්ඩායමට රුපියල් මිලියන දෙකක මුදලක් පිරිනැමීමට සංවිධායකයින් තීරණය කර ඇත.

තරගාවලිය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවේ දී තරගාවලියේ ශූරයින් හට මිලියන දෙකක මුදල් ප්‍රමාණයක් ලබා දීමට නියමිත බව අනාවරණය කළ අතර අනුශූරයින් හට මිලියන 1.5ක මුදල් ත්‍යාගයක් හිමිවන බව SLC T20 තරගාවලි අධ්‍යක්ෂක සජිත් ප්‍රනාන්දු මහතා පවසන ලදි.

“මාව මේ තනතුරට පත් කරපු එක ගැන මා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ස්තුතිවන්ත වෙන්න කැමතියි. මේ තරගාවලිය සාර්ථක කරගැනීම වෙනුවෙන් මාත් සමඟ තවත් ගොඩක් පිරිසක් මා පසුපස ඉඳන් කටයුතු කරනවා. මම මේ තනතුර භාරගත්තේ ඉතාමත් සතුටින්. ජාත්‍යන්තර තරගාවලි හා සමානවම මේ තරගාවලිය පැවැත්වීමට බලාපොරොත්තු වෙන අතර ක්‍රීඩකයින්ටත් ඒ හා සමාන පහසුකම් උපරිමයෙන්ම ලබා දෙන්න අවශ්‍ය කටයුතු සූදානම් කරලා තියෙනවා.” යැයි තරගාවලි අධ්‍යක්ෂක වන ප්‍රනාන්දු මහතා පැවසීය.

මේ තරගාවලියේ තීරණාත්මක හා සුපිරි අවසන් මහා සටන විදුලි ආලෝකය මධ්‍යයේ සැප්තැම්බර් මස 2 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර තරගාවලියේ අනෙකුත් තරග මහනුවර පල්ලෙකැලේ ක්‍රිකට් පිටියේ දී හා රංගිරි දඹුලු ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

“මේ තරගාවලියට දිවා තරග මෙන්ම දිවා/ රාත්‍රි තරග අන්තර්ගත වෙනවා. තරග ඔක්කොම පැවැත්වෙන්නේ ජාත්‍යන්තර තලයේ ක්‍රිකට් ක්‍රීඩාංගණවල, ඒක ඉදිරියේ දී ජාතික ක්‍රිකට් කණ්ඩායමට එන්න බලාපොරොත්තුවෙන් ඉන්න යොවුන් ක්‍රීඩකයින්ටත් ලැබෙන හොඳ අවස්ථාවක්. ඒ වගේම මේ තරග සියල්ලම නරඹන්න ඕනෑම කෙනෙක්ට නොමිලේම එන්න පුළුවන්.” යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා පවසන ලදි. මේ තරගාවලියේ දී සෑම කණ්ඩායමක්ම තරග 6 බැගින් ක්‍රීඩා කරන අතර තරගාවලිය අවසානයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ සිටින කණ්ඩායම් දෙකට මෙම විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගනු ඇත.

“SLC T20” තරගාවලියේ දී බෙදා දීමට නියමිත ත්‍යාග මුදල් පහත පරිදි වේ.

* ක්‍රීඩා කරනු ලබන එක් තරගයකට ක්‍රීඩකයෙක්ට ලබාදෙන මුදල – රුපියල් 25,000.

* තරගයක දී තරගයේ වීරයා හට ලබා දෙන මුදල – රුපියල් 25,000.

* එක් තරගයක් ජයග්‍රහණය කරන කණ්ඩායමට ලබා දෙන මුදල – රුපියල් 75,000.

* අනුශූරතාවය දිනා ගන්නා කණ්ඩායමට ලබා දෙන මුදල – රුපියල් මිලියන 1.5.

* ශූරතාවය දිනා ගන්නා කණ්ඩායමට ලබා දෙන මුදල – රුපියල් මිලියන 2.

-ද පපරේ ඇසුරෙනි.

No comments:

Post a Comment

Post Bottom Ad