තාත්තගෙ ලෙඩේ පුතාටත් බෝවෙලා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, May 24, 2018

තාත්තගෙ ලෙඩේ පුතාටත් බෝවෙලා


පසුගියදා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට සහ ස්වාධීන රූපාවාහිනී සංස්ථාවට නව සභාපතිනියන් දෙදෙනෙකු පත් කළ අතර එහිදී ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඉල්ලා සිටියේ ආණ්ඩුවේ සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු සාමාන්‍ය ජනතාව වෙත සම්ප්‍රේෂණය කරන ලෙසයි. පැවති ආණ්ඩු සමයේ මෙන් රාජ්‍ය මාධ්‍ය ආණ්ඩුවේ හොරණෑවක් බවට පත්වීම තමන් බලාපොරොත්තු නොවන බවත් එහෙත් ආණ්ඩුව සම්බන්ධයෙන් යහපත් මතයක් සමාජගත කිරීමට නව සභාපතිනියන් කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන බවත් සමරවීර මහතා එහිදී ප්‍රකාශ කළේය.

මේ වනවිට රූපවාහිනියේ සහ ITN ආයතනයේ නව සභාපතිවරියන් දෙදෙනා සිය කටයුතු ආරම්භ කර ඇති අතර එක්තරා ඇමතිවරයෙකු ඔවුන් දෙදෙනාටම හිසරදයක් වී තිබේ. ඒ නිවාස සහ ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගෙනි. සජිත් ප්‍රේමදාස මහතා මේ දිනවල රෑ දෙගොඩ හරියේ පවා දුරකතන ඇමතුම් ලබා දෙන බවයි වාර්තා වන්නේ.

සිය අමාත්‍යංශය යටතේ සිදුකරන සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් පුවත් පළකිරීමේදී කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ඔහු අපූරු උපදෙසක් ලබා දී තිබේ. ඔහු පවසා ඇත්තේ අදාල පුවත් පළකිරීමේදී තමාව හයිලයිට් කරන ලෙසයි. 'වැඩේ ගැන වැඩිය පෙන්නන්න ඕනෙ නෑ. වැඩිපුර මාව පෙන්නන්න. මිනිස්සු ඉන්නෙ මාව බලන්න' යනුවෙන් ප්‍රකාශ කර තිබේ.

'ඊළඟට පක්ෂෙ නායකයා වෙන්නෙ මම. ජනතා ආකර්ශනය තියෙන්නෙ මට. මිනිස්සු ඉල්ලන්නෙ මාව. ඒක නිසා මාව හයිලයිට් වෙන විදියට වැඩේ කරන්න' යනුවෙන් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

සජිත් ප්‍රේමදාස මහතා දිගින් දිගටම මෙවැනි බලපෑම් එල්ල කිරීම හේතුවෙන් සහ මධ්‍යම රාත්‍රියේ පවා සීමාවකින් තොරව දුරකතන ඇමතුම් ලබාදීම හේතුවෙන් රූපවාහිනී සහ ITN සභාපතිවරියන් දැඩි අපහසුතාවයට පත්ව තිබේ. ආණ්ඩුවේ හොරණෑවක් නොවන ලෙස විෂයභාර අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබියදී වෙනත් ඇමතිවරුන්ගේ බලපෑම්වලට යට නොවී කටයුතු කරන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් ඔවුන් දැන් කල්පනා කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

එජාපයේ නායකත්වයට පත්ව රටේ නායකයා වීමේ සිහිනයෙන් උමතු වී ඇති සජිත් ප්‍රේමදාස මහතා සිතන්නේ මහා ජනතා ආකර්ශනයක් ඔහුට ඇති බවයි. රූපවාහිනියෙන් හෝ තමන්ගේ මුහුණ දැකීමට ජනතාව පුල පුලා බලා සිටින බවයි ඔහු සිතා සිටින්නේ. පුදුම වියයුතු නැත. මන්ද සජිත් ප්‍රේමදාස යනු හිටපු ජනපති ආර්. ප්‍රේමදාස මහතාගේ පුත්‍රයාය.

මෙම පුවත ඇසූවිට 90 දශකයේ අතීත කතාවක් සිහිපත් විය.

පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙකු වන වාසුදේව නානායක්කාර මහතා එක්තරා සන්ධ්‍යාවක වාමාංශික සහෝදරයෙකුගේ නිවසකට ගියේ සුහද සාකච්ඡාවක් සඳහායි. දෙදෙනාගේ සාකච්ඡාව යන අතරතුර රූපවාහිනී ප්‍රවෘත්ති විකාශය ආරම්භ විය. දැන් මෙන් එකළ රූපවාහිනී නාලිකා විසි තිස් ගණනක් නොතිබූ අතර රටේ තත්වය, දේශපාලන තත්වය දැනගැනීම සඳහා රූපවාහිනී ප්‍රවෘත්ති නැරඹීම බොහේ දෙනාගේ දෛනික කාර්යයකි.

රූපවාහිනී ප්‍රවෘත්ති ආරම්භ වූ මොහොතේ පටන් නිවසේ සිටි බල්ලා විටින් විට රූපවාහිනිය ඉදිරියටම දිවවිත් දෙතුන් වරක් සිය වලිගය වනා ආපසු දිව යයි. හත් අට වරක් මෙම දර්ශනය වාසු සහෝදරයාගේ දෙනෙතට හසු වූ අතර ඔහුට මෙය මහත් ප්‍රහේලිකාවකි.

පුවත් විකාශය අවසාන භාගයේදී විරාමයක් අතරතුර වාසු සහෝදරයා සිය ප්‍රහේලිකාව විසඳා ගැනීම සඳහා 'සහෝදරයා, මොකද අර බල්ලා සැරින් සැරේ රූපවාහිනිය ඉස්සරහටම දුවගෙන ඇවිත් වලිගෙ වනලා යන්නෙ' යනුවෙන් නිවැසියාගෙන් විමසීය.

'ආ... ඒ අපේ ගෙදර බල්ල නේ... ඌට ඒක දැන් පුරුද්දක් වෙලා..... සහෝදරයා දන්නවද, මම ඌට කතා කරන්නෙ ශ්‍රීමත් කියලා' යනුවෙන් වාසු සහෝදරයාගේ හිතවතා පිළිතුරු දී තිබේ.

'දැං මෙහෙම නේ... රූපවාහිනියේ ශ්‍රීමත් කියලා කියනකොට මූ ඇවිත් වලිගෙ වනලා යනවා... ඒක නිස අපිත් ඌට ශ්‍රීමත් කියලා කියනවා' යැයි පවසමින් ඔහු වාසු සහෝදරයාගේ සිතේ තිබූ ප්‍රහේලිකාවට විසඳුම් ලබා දී තිබේ.

මෙම කතාව හැන්සාඩ්ගත වී ඇත්තේ වාසු සහෝදරයා මෙය පාර්ලිමේන්තු විවාදයක් අතරතුර ප්‍රකාශ කළ බැවිනි.

29,656 Viewers

No comments:

Post a Comment

Post Bottom Ad