හිරුණිකා - හිරාන් යුවළ පුතු එවින් ගැන කතා කරති - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, May 14, 2018

හිරුණිකා - හිරාන් යුවළ පුතු එවින් ගැන කතා කරති




හිරුණිකා - හිරාන් දෙදෙන මෑතක පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී වෙන වෙනම කියූ දේවල් පහත පරිදිය.

 හිරාන් කියූ දේවල්

* කොහොමද හිරාන් ජීවිතේ...

ජීවිතේ ඉතින් සතුටින් ගතකරනව. දැන් මම තාත්ත කෙනෙක්‌නෙ. අපේ පුතාට මාස නමයයි. එයාගෙ දඟ වැඩ බල බල ඉන්නකොට ජීවිතේ සුන්දරද මෙතරම් කියල හිතෙනව.


* පුතා කවුරු වගේ කියලද හිතෙන්නෙ...

වෙලාවකට මං වගේ, වෙලාවකට හිරුණිකා වගේ. ඉතින් මම හිතන්නෙ අපේ පුතා අපි දෙන්නම වගේ...

* අර්ථවත් නමක්‌ දැම්මලු නේද...

ඔව්. එවින් මේඝව යට්‌ටෝවිට

* කවුද මේ නම දැම්මෙ

සමන්ති අහුබුදු මහත්මිය තමයි නම දුන්නෙ.

* එතකොට නමේ තේරුම...

එවින් කියන්නෙ නායකත්වය. මේඝව කියන්නෙ වළාකුලට.

* ලොකු වෙනකොට පුතා කවුරු වෙනව දකින්නද ආස...


මම ආස එයා ක්‍රිකටර් කෙනෙක්‌ වෙනව දකින්න. මොකද මගේ සිහිනයක්‌ තිබුණා ක්‍රිකට්‌ ක්‍රීඩකයෙක්‌ වෙලා ජාතික කණ්‌ඩායමේ රැඳෙන්න. ඒ අවස්‌ථාව කොහොම හරි මගෙන් ගිලිහුණා. ඒ තැන පුතාට ලබාදෙන්න, මම එයාට තේරෙන වයසෙ ඉඳල යොමු කරන්න සිහින මවනවා.

* බැරි වෙලාවත් නළුවෙක්‌ වුණොත්...

ඒකත් ප්‍රශ්නයක්‌ නෑ. කවද හරි එයා කැමැති දේනෙ තෝරා ගන්නෙ. ඒත් මම වැඩිපුර කැමැති පුතා ක්‍රිකට්‌ ක්‍රීඩකයෙක්‌ වෙනව දකින්න.

* එවින් වැඩිපුර ඉන්න කැමැති අම්ම ළඟද තාත්ත ළඟද..

දෙන්න ළඟම මාරුවෙන් මාරුවට ඉන්නවා. වැඩිපුර එයාව දඟලවන්නෙ මම නිසා මා ළඟ ඉන්න තමයි වැඩිපුර කැමැති.

* මේ වෙනකොට ඔබ නිරූපණයෙන් රඟපෑමෙන් දුරස්‌වෙලා නේද...

මම විවාහ වෙලා අවුරුදු තුනක්‌ වෙනව. ඇත්තටම මේ අවුරුදු තුනේ මම කලා කටයුතුවලට සම්බන්ධ වුණේ නැති තරම්. ඒත් මේ ළඟදී "අහස්‌" කියල ටෙලි නාට්‍යයකට සම්බන්ධ වුණා. දැන් එහි කොටස්‌ 15 ක්‌ විතර කරල අවසන්.

* කාර්යබහුල වෙනකොට පවුල් ජීවිතේ සතුට අඩු වෙනවා නේද?

එහෙම දෙයක්‌ නෑ. කොච්චර කාර්යබහුල වුණත් අපි අපේ වැඩ කටයුතු අතපසු නොකර සතුටින් ජීවත් වෙන්න වෙලාව වෙන්කර ගන්නවා.

* ප්‍රශ්නවලට මුහුණ දෙද්දි තනිකඩව හිටිය නම් හොඳයි කියල හිතෙන්නෙ නැද්ද?

නිතරම මුහුණ දෙන්න වෙන්නෙ අනවශ්‍ය ප්‍රශ්නවලට මිසක්‌ අපිට අදාළ ප්‍රශ්නවලට නෙමෙයිනෙ. ඒ නිසා ප්‍රශ්න නම් නතිං. එකම දේ දැන් බිරිඳක්‌, දරුවෙක්‌ ඉන්න නිසා බැඳීමක්‌ සහ වගකීමක්‌ තියෙන එක. ඉස්‌සර වගේ ඕන ඕන වෙලාවට ඕන ඕන දේවල් කරන්න බැහැනෙ. එහෙමයි කියල තනිකඩව හිටිය නම් හොඳයි කියල මම කිසිම වෙලාවක හිතන්නෙ නෑ. මිනිහෙක්‌ වුණාම ළමා කාලය, තරුණ කාලය, මහලු කාලය කියන පරාසයන් තුනේම ජීවත් විය යුතුයි. ඒ අනුව මම බොහොම සුන්දරව ඒ අවධි ගෙවමින් ඉන්නවා.

* ගෙදර දොරේ වැඩවලට හිරාන් ලබාදෙන දායකත්වය මොන වගේද?


අපි දෙන්නම එකතුවෙලා තමයි හැමදේම කරගන්නෙ. බැඳපු මුල් කාලෙ ඉව්වෙ, කඩේ පිලේ ගියේ අපි දෙන්නමයි. මටත් හොඳට උයන්න පුළුවන්. දැන් බබා නිසා අපේ වැඩවලට උදව්වට කෙනෙක්‌ ඉන්නවා.

* දේශපාලනේ නිසා හිරුණිකාට එල්ලවෙන මඩ ප්‍රහාර ඔබ දකින්නේ...

ඒක දේශපාලනයේ ස්‌වභාවය නිසා මට ඒ ගැන අමුතුවෙන් හිතන්නවත් දකින්නවත් දෙයක්‌ නෑ.

* කලා ක්‌ෂේත්‍රය හරහා ඉදිරියේදී මොනවද කරන්න බලාපොරොත්තු වෙන්නෙ....

මම වැඩිපුරම කැමැති නිරූපණ ක්‌ෂේත්‍රයට. ඒත් දැන් මම නිරූපණ ශිල්පියෙකුට තිබිය යුතු වයස ඉක්‌මවපු කෙනෙක්‌. ඉන්දියාවෙ වගේ වයසට ගියත් තමන්ගෙ ශරීරයේ හැඩය පවත්වාගෙන යමින් ක්‌ෂේත්‍රයෙ රැඳෙන්න තමයි බලාපොරොත්තුව.

හිරුණිකා කියූ දේවල්

* දේශපාලනේ නිසා මවකගෙන්, බිරිඳකගෙන් විය යුතු යුතුකම් මඟහැරෙනවා නේද?

අපේ ගෙදර ඔය කියන යුතුකම් බෙදාගෙන නැහැ. මමයි හිරානුයි, බිරිඳයි සැමියයි වගේ නෙමෙයි එදත් අදත් ජීවත් වෙන්නෙ යාළුවො දෙන්නෙක්‌ වගේ. ඒක හෙටත් එහෙමම වේවි. මම වැඩක නම් හිරාන් දරුව වෙනුවෙනුත්, ඔහු වැඩක නම් මම දරුව වෙනුවෙනුත් කාලය ගතකරමින් දෙන්නගෙම වැඩ පාඩු නොවෙන විදියට වැඩ කරගෙන අවබෝධයෙන් ජීවත් වෙනව.

* ඔබ කාර්යබහුල වීම සැමියගේ කලා කටයුතුවලට වැට බැඳීමක්‌ නේද...

අපි දෙන්න දෙන්නගෙම රාජකාරි මට්‌ටමෙන් ඕන තරම් කැපකිරීම් කරනවා. ඒ දෙන්නට දෙන්නගෙ තේරුම් ගැනීම මත. ඒක ඔහු මටවත්, මම ඔහුටවත් වැඩ කඩොලු බැඳීමක්‌ නෙමෙයි.

* රටේ ප්‍රශ්න විසඳන්න ගිහින් ගෙදර ප්‍රශ්න ඇති වෙන්නෙ නැද්ද?

අපි විවාහවෙලා තාම අවුරුදු තුනයි. මේ කාලෙ ඇතුළත හිරානුත් මමත් රටේ ප්‍රශ්න ගෙදරට ගෙනාවෙත් නෑ. ගෙදර ප්‍රශ්න රටට ගෙනිච්චෙත් නෑ. මම දේශපාලනේ කරන කෙනෙක්‌. ඔහු කලාවේ නියෑළෙන කෙනෙක්‌. මේ කාරණා අපි හොඳින් අවබෝධ කරගෙන ඉන්න නිසා ප්‍රශ්නයක්‌ නැතුව ඉන්නවා. ඇත්තටම හිරාන් වගේ මාව හොඳින් තේරුම් ගත්තු කෙනෙක්‌ සැමිය කරගන්න හැකිවීම මගේ ලොකු වාසනාවක්‌.

* හිරුණිකාත් තමන්ගෙ වාසියට දේශපාලනයේ නියෑළෙන කෙනෙක්‌ද?

ගොඩක්‌ අය බලයට ආවට පස්‌සෙ තමන් ආපු කාරණේ අමතකයි. මම ආවෙ මොකටද කියල මට නම් හොඳට මතකයි. ඒකයි ආණ්‌ඩුවේ ඉඳගෙනත් වැරදි පෙන්නල දිදී මේ තරම් කෑගහන්නෙ.

* ධම්මික හේවාවසම්
ඡායාරූප - ලක්‌මාල් ස්‌පෙන්සර් (දිවයින)


No comments:

Post a Comment

Post Bottom Ad