"අපි දෙතුන් දෙනා ජෝඩු, ජෝඩු සෙට්‌ වෙලා මත්ද්‍රව්‍ය අරගෙන කෙල්ලො මාරු කරගෙන හිටියා.." - ජනප්‍රිය ගායකයෙකු ඇත්ත හෙලි කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, March 19, 2018

"අපි දෙතුන් දෙනා ජෝඩු, ජෝඩු සෙට්‌ වෙලා මත්ද්‍රව්‍ය අරගෙන කෙල්ලො මාරු කරගෙන හිටියා.." - ජනප්‍රිය ගායකයෙකු ඇත්ත හෙලි කරයි

"ගීත ලියන්න, තනු දාන්න ගංජා ඖෂධයක්‌ වුණා.."

"ඒ වෙනකොට මම වැඩ කළේ ලංකාවේ ජනප්‍රියම ගායකයෙක්‌ ළඟ.."

''මගේ ගම පිළියන්දල. මම පුංචි කාලේ ඉගෙනගත්තේ පිළියන්දල පාසලක. ශිෂ්‍යත්වය සමත් වෙලා කොළඹ ජනප්‍රිය පාසලකට ආවා. මට ඉන්නේ සහෝදරයෙක්‌ විතරයි. තාත්තා කොරියාවේ රැකියාවක්‌ කරනවා. අම්මා රැකියාවක්‌ කරන්නේ නෑ. අම්මට රස්‌සාවක්‌ කරන්න ඕන නෑ. තාත්තා කොරියාවේ හොඳ ප්‍රසිද්ධ කොම්පැණියක උසස්‌ රැකියාවක්‌ කරන්නේ. අපිට ලස්‌සනට ජීවත් වෙන්න පුළුවන් පවුලක්‌...''

''පුංචි කාලේ ඉඳලා මට හොඳට ඉගෙනගන්නත් පුළුවන්. ශිෂ්‍යත්වය හොඳටම පාස්‌ වුණා. ඒත් කොළඹ ඉස්‌කෝලෙට මාරුවෙලා අවුරුද්දක්‌ විතර යනකොට මම නරක ඇසුරට වැටුණා. කොල්ලො එක්‌ක සෙට්‌ වෙලා සිගරට්‌, දුම් කුඩු බොන්න පටන් ගත්තා. සල්ලි තියෙනවා නම් ඉස්‌කෝලේ ඇතුළේ ඕන මත්ද්‍රව්‍යයක්‌ තිබුණා. මුර අංකල්ට කියපු ක්‍ෂණයෙන් බඩු ගෙනත් දුන්නා. කොළඹ වතුවල කොල්ලන්ගේ බෑග්වල පෙති, ගංජා වැරදුණේ නෑ. ඒ කොල්ලො දෙනකොට මමත් කිසිම දෙයක්‌ ප්‍රතික්‌ෂේප කළේ නෑ කැමැත්තෙන් ගත්තා. ගංජා, පෙති, අරක්‌කු බිව්වා, ඒත් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුණේ නෑ. මොන විකාර වැඩ කළත් ඉස්‌කෝලේ වැඩ ටික කරලා සාමාන්‍ය පෙළ විභාගය ඉහළින්ම සමත් වුණා. වාණිජ අංශයෙන් උසස්‌ පෙළ කළා. ඒත් උසස්‌ පෙළ සමත් වෙන්න බැරි වුණා. ඒ වෙනකොට මගේ මොළේ සම්පූර්ණයෙන්ම මත් වෙලා තිබුණේ. ඒ නිසා තමයි උසස්‌ පෙළ ගොඩ දාගන්න බැරි වුණේ. ගෙදරින් පන්ති යනවා කියලා ගියාට මාසෙට එක දවසක්‌වත් පන්ති ගියේ නෑ. යාළුවොත් එක්‌ක සෙට්‌ වෙලා සිගරට්‌, අරක්‌කු, ගංජා හොඳ හැටි බිව්වා. ඉගෙනගන්න දක්‍ෂ නිසා මම ඉල්ලන්නේ කීයද, අම්මා ඒ සල්ලි දුන්නා. තාත්තත් අපි ළඟ නොහිටිය නිසා උපරිම නිදහසකුත් තිබුණා. ඒ නිදහසත් එක්‌ක අම්මා දෙන සල්ලි සේරම වියදම් කළේ ආතල්වලට. විභාගය පේල් වුණාට මගේ ආතල් අඩු වුණේ නෑ...''
Image result for disappointed man

''දෙවැනි පාර විභාගය කළේ නෑ. කොම්පියුටර් කෝස්‌ දෙකක්‌ කළා. ඒක සෙට්‌ වුණෙත් නෑ. ඊට පස්‌සේ මම සංගීතය පැත්තට නැඹුරු වුණා. පුංචි කාලේ ඉඳලා සංගීතය මගේ ඇඟේ තිබුණා. ඉස්‌කෝලේ සාහිත්‍ය සමිතියේ මම හොඳ ගායකයා. ඉස්‌කෝලේ කොල්ලො සෙට්‌ වෙන සෑම පාටියකටම මටත් ආරාධනාවක්‌ තිබුණා. ඒ මගේ හඬින් සිංදු අහන්න ඕනෑ නිසා. ඒත් මම නතර වුණේ සංගීතය ජොබ් එක කරගෙන. සිංදු ලිව්වා, ගීත සංගීතවත් කළා. රැප් ගීත ගායනා කළා. සිංහල රැප් සිංදු මම ලියලා, සංගීතවත් කරලා මමම ගායනා කළා. සිංහල රැප් සිංදු කියන එක ඉංග්‍රීසි රැප්වලට වඩා අමාරුයි. ඒත් මට ඒ දේවල් අමාරු වුණේ නෑ. ඒ හැම අවස්‌ථාවකම මගේ එකම මිතුරා වුණේ මත්ද්‍රව්‍ය. දැන් මට හිතෙනවා සංගීතය නිසාම තමයි මම මත්ද්‍රව්‍යවලට නැඹුරු වුණේ කියලා...''

''ප්‍රථමයෙන්ම මම ඇබ්බැහි වුණේ සිගරට්‌වලට. ඊට පස්‌සෙ ගංජාවලට. ගීත ලියන්න, තනු දාන්න ගංජා ඖෂධයක්‌ වුණා. ඒ නිසා එක දිගට කාලයක්‌ ගංජා බිව්වා. ගංජාවලට ඇඟ හුරුවෙනකොට එකෙන් ලැබෙන තෘප්තිය මදි වුණා. ඊට පස්‌සෙ මට ඕනා වුණා ගංජාවලට වඩා වෙනස්‌ මත්ද්‍රව්‍යයක්‌. එතකොට ජනප්‍රියම පැණි. මම ගංජත් එක්‌ක පැණිත් ගත්තා. ඒක කාලයක්‌ ගන්නකොට ඒකත් මදි වුණා. එතකොටත් අපේ සෙට්‌ එකේ හෙරොයින් බොන අය හිටියා. කුඩු ගන්න මට බයක්‌ තිබුණා. දවසක්‌ අපි සෙට්‌ වෙලා ඉන්නකොට මටත් කුඩු චුට්‌ටක්‌ ගන්න හිතුණා. එක වතාවක්‌ හෝ ඒ අත්දැකීමත් ගන්නවා කියලා හිතාගෙන කුඩු චුට්‌ටක්‌ ගත්තා. ඒ වෙනකොට මම වැඩ කළේ ලංකාවේ ජනප්‍රියම ගායකයෙක්‌ ළඟ. මට හොඳ ගෙවීමක්‌ කළා. අපි හොඳ වැඩ ටිකක්‌ කළා. අපි කියපු ගීත හොඳටම හිට්‌ වුණා. මම ලියලා රැප් කරපු ගීතත් හොඳටම හිට්‌ වුණා. ඒ ගීත ලිව්වේ, ගායනා කළේ හොඳ පදමට මත් වෙලා...''

''අරක්‌කු, ගංජාවලින් පටන් අරගෙන හෙරොයින්, කොකේන්, අයිස්‌, ඇපල් පෙති සමාජයේ තියෙන සෑම මත්ද්‍රව්‍යයක්‌ම ගත්තා. රැප් සිංදු රෙකෝඩ් කරන වේලාවට කොකේන් නැතිවම බැරි වුණා. අවුරුදු හයක්‌ විතර මගේ ජීවිතය මත් වෙලා තිබුණේ. සිහියක්‌ නෑ. ගෙදර ගියත් කාමරයට වෙනවා පාඩුවේ හිටියා. ගෙදර අම්මා, මල්ලි එක්‌ක කතා බහක්‌ නෑ. අම්මාගේ සෙනෙහස මට දැනෙන්නේ නැතුව ගියා. මම හිතුවේ සතුටු වෙන්න පුළුවන් එකම මාර්ගය මත්ද්‍රව්‍ය විතරයි කියලා. පියවි ලෝකය සම්පූර්ණයෙන්ම අමතක වෙලා මම හිටියේ වෙනම ලෝකයක. මගේ ජීවිතය වෙලා තිබුණේ සල්ලි, කෙල්ලො, සූස්‌ති. මත්ද්‍රව්‍ය පාවිච්චි නොකරන අය මම ඇසුරු කළෙත් නෑ. මම කෙල්ලෙක්‌ ඇසුරු කළා නම් ඒ කෙල්ලත් මත් ලෝලිනියක්‌...''

''මම හිටිය ක්‍ෂේත්‍රයත්, ජනප්‍රියතාවත් මත මට හොඳට කෙල්ලො සෙට්‌ වුණා. සමහර කෙල්ලො මගේ සිංදු අහලා මට කතා කරනවා. ඇහැට පිය, හිතට වදින පුංචි එකා නිසා අපේ ක්‍ෂේත්‍රයේ හිටිය ගෑනුත් මට හරිම කැමතියි. ඒත් මම ළඟින් ඇසුරු කළේ මත් ලෝලිනියන් විතරයි. මගෙත් එක්‌ක සෙට්‌ වෙන්න ඕනෑ නිසා සමහර කෙල්ලො අකැමැත්තෙන් මත්ද්‍රව්‍ය ගත්තා. කසාඳ බැඳලා වගේ වෙනම කාමර අරගෙන කෙල්ලො එක්‌ක හිටියා. අපි දෙතුන් දෙනා ජෝඩු, ජෝඩු සෙට්‌ වෙලා මත්ද්‍රව්‍ය අරගෙන කෙල්ලො මාරු කරගෙන හිටියා. මොනවද කරන්නෙ කියලා අපිට තේරුමක්‌ නෑ. ලංකාවේ හිටියට ජීවත් වුණේ ඇමරිකන් ක්‍රමයට. ඉංග්‍රිසී සිංදු අහලා ඒ ගායකයන් කරන දේවල් තමයි මමත් කළේ. මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා, කෙල්ලො වට කරගෙන සල්ලි ගොඩක්‌ එක්‌ක ජීවත් වෙන්න තමයි මටත් ඕනෑ වුණේ. රෑට නයිට්‌ ක්‌ලබ් බහිනවා. සමහර දවසට බීච් පාටිවලට බහිනවා. ආතල්ම තමයි හෙව්වේ...''

''බීච් පාටි, ක්‌ලබ් බැස්‌ස දවසට පස්‌ පංගුවම කරගෙන මුද්දරයකුත් දිවේ තියාගන්නවා. මුද්දරය කියන්නේ දිවේ තියාගන්න මත්ද්‍රව්‍යයක්‌. ඒකෙ තියෙන්නෙ ලික්‌විඩ් එකක්‌. එක දිවේ තියාගෙන ටික වේලාවක්‌ යනකොට අපේ ඔලුව සම්පූර්ණයෙන්ම විකාර වෙනවා. කරන දෙයක්‌ දන්නේ නෑ. සතෙක්‌ වගේ ඉන්න හිතුණොත් ඒ විදිහට හැසිරෙනවා. වතුරේ ඉන්නවා කියලා හිතුණොත් සිමෙන්ති පොළවෙත් පීනනවා. බීච් පාටිවලදී සමහර කොල්ලො, කෙල්ලො මුද්දර අරගෙන නිරුවතින් වැල්ලේ පීනනවා. උදේ වෙනකොට ඇඟ හැම තැනම සිරීම්. පේන්න තියෙන්නේ එච්චරයි. ඊට එහාට මොනව වුණාද කියලා දන්නේ නෑ. දැනෙන් නේ ඇඟේ අමාරුව විතරයි...''

''ගොඩක්‌ වේලාවට මම මුද්දර ගත්තේ නයිට්‌ ක්‌ලබ්, බීච් පාටිවලට යනකොට. නයිට්‌ ක්‌ලබ්වල ඒක අනිවාර්යයෙන්ම තියෙනවා. මුද්දරය ගත්තම එක දිගට පැය දහයක්‌, දොළහක්‌ වුණත් ඩාන්ස්‌ කරන්න පුළුවන්. මහන්සි දැනෙන්නේ නෑ. අපිට හිතුණොත් ඇඳුම් ගලවලා ඩාන්ස්‌ කරන්න ඕනෑ කියලා සියලු ඇඳුම් ගලවනවා. අපිට ඒක ආතල් වුණාට දකින පුද්ගලයට අප්පිරියයි. ඒත් අපිට ඒක තේරෙන්නෙ නෑ. ඒ නිසා ගොඩක්‌ වෙලාවට අපි ඒ මත්ද්‍රව්‍ය ගත්තේ කෙල්ලො, කොල්ලො කිහිපදෙනෙක්‌ කොහේ හරි තැනක තනි වෙලා. එතකොට අපි කරන දේවල් පිට අය දකින්නේ නෑ. එහෙම සෙට්‌ වෙච්ච දිනවල මටත් අවුට්‌ ගිය අවස්‌ථා තියෙනවා...''

''මගේ දහඅට වෙනි උපන් දිනය දවසේ මගේ ළඟම හිතවත් කොල්ලො හතරයි, කෙල්ලො තුන්දෙනකුයි අපේ ගෙදර පාටියකට සෙට්‌ වුණා. අපි කිහිපදෙනා මත්ද්‍රව්‍ය අරගෙන  ඩාන්ස්‌ කර, කර ඉන්නකොට එකපාරට පොලිසියෙන් කඩා පාත් වුණා. බාලවයස්‌කාර ළමයි ටිකක්‌ මත්ද්‍රව්‍ය අරගෙන පිස්‌සු නටනවා කියලා අල්ලපු ගෙදරකින් පොලිසියට කතා කරලා කියලා. එතකොටත් අපි ළඟ හෙරොයින්, පැණි, ගංජා තුනම තිබුණා. අපිත් එක්‌ක හිටිය එක කෙල්ලෙකුට වයස අවුරුදු දාසයයි. අනිත් දෙන්නට දාහතයි. අපි කොල්ලො පස්‌දෙනාටම දහඅටයි. අපි සේරම පොලිසියට අරගෙන ගියා. එදා තමයි මම මත්ද්‍රව්‍ය ගන්නවා කියලා ගෙදර අය දැනගත්තේ. අම්මා එදාම තාත්තට කතා කරලා කියලා තිබුණා. මම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙයි කියලා තාත්තා කොහෙත්ම හිතුවේ නෑ. මම ඉස්‌කෝලේ යනකොට හොඳට ක්‍රීඩා කළා. ඉස්‌කෝලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා වුණා. දහම් පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා. හොඳට ඉගෙනගෙන ගුණදම් දන්න ළමයෙක්‌ නරක පුරුදුවලට යොමු වෙයි කියලා තාත්තා හීනෙකින්වත් හිතුවේ නෑ. තාත්තාට ඒක දරාගන්න බැරිව ගියා. ඒ සිද්ධියෙන් පස්‌සෙ තාත්තා තවම ලංකාවට ආවේ නෑ. මාත් එක්‌ක කතා කළේවත් නෑ...''

''ඒත් අම්මා මාව අතහැරියේ නෑ. දොස්‌තරවරු ගාවට අරගෙන ගිහින්, ප්‍රයිවට්‌ හොස්‌පිට්‌ල්වල නතර කරගෙන බෙහෙත් කළා. පුනරුත්ථාපන මධ්‍යස්‌ථානවල නතර වෙලා ප්‍රතිකාර ගත්තා. ඒ තැන්වල ඉඳලා ගෙදර ඇවිත් සතියක්‌ දෙකක්‌ ඉන්නකොට ආයෙමත් පරණ පුරුදුවලට ඇබ්බැහි වුණා. දැන් සේරම නතර කරලා කියලා අම්මාව රවට්‌ටලා මම මත්ද්‍රව්‍ය ගත්තා. අන්තිමේ රැවටුණේ මමයි. හරි හම්බ කරපු සියලු සල්ලි වියදම් කළේ මත්ද්‍රව්‍යවලට. මදි පාඩුවට අම්මගෙනුත් සල්ලි ඉල්ලා ගත්තා. ඒ සල්ලිත් මදි වෙනකොට යාළුවන්ගෙන් ණයට ගත්තා. අම්මාගේ සල්ලි හොරකම් කළා. අන්තිමේ යාළුවො මාව කට්‌ කළා. හැඩට හිටපු මම විරූපී වුණා. ඇස්‌ ගිලිලා, හකු බැහැලා, කේඬෑරි වෙලා ගියා. කණ්‌ණාඩිය ඉදිරියේදී මට මාව පිළිකුල් වුණා. මාව දකින අය පුදුම වෙලා 'මේ මොකද වෙලා තියෙන්නෙ... රිකී ඔයාට අසනීපයක්‌ද...' කියලා අහපු වාර අනන්තයි. ඒ විදිහට ටික කාලයක්‌ යනකොට මට තේරුණා මගේ දක්‍ෂතා ටිකෙන්, ටික හීන වෙලා යනවා කියලා. මේ හිතන දේ ක්‍ෂණයෙන් අමතක වුණා. අලුත් දෙයක්‌ ඔලුවට ආවේම නෑ. ස්‌නායු පද්ධතියම බ්ලොක්‌ වෙලා වගෙයි. පස්‌සෙ මටම හිතුණා සියලු දුර්වලතාවලට හේතුව අධික ලෙස මත්ද්‍රව්‍ය භාවිතය කියලා. දිගටම මත්ද්‍රව්‍ය ගත්තොත් පිස්‌සෙක්‌ වෙනවා කියලත් මට හිතුණා. පස්‌සේ මම අම්මාට කිව්වා කොහොමහරි මාව මේ මත් රකුසාගෙන් බේරාගන්න කියලා. ඊට පස්‌සෙ තමයි අම්මා මාව මේ පන්සලට එක්‌කරගෙන ආවේ...''

''දැන් මම මේ පන්සලට ඇවිත් මාස දෙකකට කිට්‌ටුයි. මෙතැන කිසිම බෙහෙතක්‌ නෑ. මත්ද්‍රව්‍ය නොගෙන ඉන්න මුල් දවස්‌ ටිකේදී ඇඟට පුදුම අමාරුවක්‌ තිබුණේ. ඒක අමුතුම වේදනාවක්‌. ඒ ඇඟේ අමාරු සම්පූර්ණයෙන්ම නැති කළේ වතුරෙන්මයි. දවසට හතර, පස්‌ වතාව නෑවා. මාස එකහමාරක්‌ විතර කන්න බැරිව හිටියා. ඇවිදගන්න බෑ. මම ඇවිද්දේ දණ ගාගෙන වගෙයි. ඇඟේ අමාරු නැති වෙලා පාට වැටිලා එනකොට මානසික ප්‍රතිකාරවලට යොමු කළා. දැන් ලොකු වෙනසක්‌ තියෙනවා. මගේ නැති වෙලා ගිය දක්‍ෂතා ටික, ටික මෝදු වෙනවා කියලා මට හිතෙනවා. ඒ වෙනසට මම කැමතියි. මටත් ඕනෑ මේ මත්ද්‍රව්‍ය අපායෙන් මිදිලා රටේ හොඳ නමක්‌ දිනාගෙන පාඩුවේ ජීවත් වෙන්න...''

''මත්ද්‍රව්‍ය එක්‌ක ජීවත් වෙනවා කියන්නේ මනසත්, ශරීරයත් දෙකම එක විදිහටම වේදනාවට පත්කිරීමක්‌. ඒ වගේම සියලු සම්පත් නැති වී ආර්ථිකයම බින්දුවට වැටීම කිසිම ජගතෙකුට නතර කරන්න බෑ. මත් වී මට්‌ටු වෙච්ච කෙනෙක්‌ විදිහට මල්ලිලා, නංගිලාට මම කියන්නේ අත්හදා බැලීමකටවත් මත නම් ඇඟට ගන්න එපා. කිට්‌ටු වුණොත් වුණාම තමයි. ගැලවීමක්‌ නෑ. ඒ වගේම නොමඟට ගිය පුද්ගලයන් දිහා බලන්නවත් එපා. බැලුවත් වරදේ පැටලෙනවා. වැරදුණු වේලාවට යාළුවො කවුරුවත් නෑ. ඉන්නේ අම්මයි, තාත්තායි විතරයි. දෙමවුපියොත් ළමයින්ගේ අතට සල්ලි දෙනකොට වියදම් කරන්නේ මොනවටද කියලා සොයා බලන්න ඕනෑ. මට කියන්න තියෙන්නෙ එච්චරයි...''



(under the courtesy of hirunews.lk news web)


No comments:

Post a Comment

Post Bottom Ad