ගැටුම් ඇතිවූ ප්‍රදේශයට ගිය රවීට උත්තර නැතිවුණු ප්‍රශ්නයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, March 16, 2018

ගැටුම් ඇතිවූ ප්‍රදේශයට ගිය රවීට උත්තර නැතිවුණු ප්‍රශ්නයක්



හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක ජාතිවාදී ප්‍රහාර හේතුවෙන් විපතට පත් ජනතාවගේ සුවදුක් බැලීම සඳහා පෙරේදා(14) එම ප්‍රදේශයේ සංචාරයක නිරතවූ අවස්ථාවේ ඔහුට උත්තරදීමට අපහසු ප්‍රශ්නයක් යොමුවිය.

කෝ සර් කිරිඇල්ල ඇමතිතුමා !

ඒ ජාතිවාදී කඩාකප්පල්කාරීන් විසින් ගිනිතබා විනාශ කළ කෙන්ගල්ල මුස්ලීම් පල්ලිය වෙත ගිය අවස්ථාවේය. එම ස්ථානයට පැමිණ සිටි මුස්ලීම් වැසියෙකු හිටපු අමාත්‍යවරයා වෙත යොමුකළ ප්‍රශ්නය වුයේ "ඇයි සර් මහනුවර නියෝජනය කරන ආණ්ඩුවේ ඇමතිලා අපිව බලන්න එන්නෙ නැත්තේ? බලන්න කිරිඇල්ල සර්ව අපි තාම දැක්කේ නෑ ?" යන්නය.

මන්ත්‍රීවරයා එම ප්‍රශ්නයට කිසිඳු පිළිතුරක් ලබානොදුන් අතර ඒ ප්‍රශ්නයට පිළිතුරු දුන්නේද ප්‍රශ්නය යොමුකළ වැසියාමය.

"ඇත්තටම සර්, ඔය ගොඩක් අයට අපිව මිනිස්සු නෙවෙයි. ජන්ද විතරයි. ලබන ජන්දයේදී සිංහල ජන්ද නැතිවෙයි කියන බයට හරි එහෙමත් නැත්නම් අපෙන් වැඩක් නැති නිසා වෙන්න ඕන අපිව බලන්න නොඑන්නේ. මොනවා වුණත් සර් හරි ආව එක ලොකු දෙයක්. මේ මිනිස්සු හරි බයෙන් ඉන්නේ සර්. මේ අයට මොනවත් නොදුන්නත් කමක් නෑ. ඒත් නිකං හරි ඇවිත් බලලා යන එක වටිනවා. ඒ අතින් සර් ආව එකට ගොඩාක් ස්තුතියි!"

අපේ ළමයි තවමත් හීනෙන් බයවෙනවා !

එසේම "මේ පොඩි දරුවොත් තාම හීනෙන් බයවෙනවා සර්. අතට ගත්ත එක ගිලින්නත් බයයි. පොලිසියේ මහත්වරු ඉස්සරහනේ ගොඩක් දේවල් වුණේ. දැනුත් බයිසිකලයක් දෙපාරක් එහෙට මෙහෙට ගියොත් බය හිතනවා. හූවක් කියනවා ඇහුණත් එහෙමයි. සර්ලා වගේ අනිත් අයටත් කියන්න නිකමට හරි මේ මිනිස්සුන්ව බලලා යන්න කියලා. මේ අපි උපන් දිහාව. වෙන කොහේ යන්නද සර් අපි!" යනුවෙන්ද ඔහු පැවසීය.

මෙහිදී අසල රැස්ව සිටි පිරිස අමතා හිටපු අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, ආණ්ඩුවේ කිසිවකු මෙවැනි ක්‍රියා අනුමත නොකරන බවත් වැරදි කළ පාර්ශව මේ වන විටත් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවය. එසේම යළිත් මෙවැනි අවාසනාවන්ත සිදුවීක් සිදුවීමට ඉඩක් නොතබන බවද හිටපු අමාත්‍යවරයා පැවසීය.

මියගිය තරුණයාගේ පවුලට රුපියල් ලක්ෂයක් : මන්ත්‍රී වැටුපෙන් මාසිකව 20 000ක්





මෙහිදී රවී කරුණානායක මන්ත්‍රීවරයා ජාතිවාදී ප්‍රහාරය හේතුවෙන් ජීවිතය අහිමිවූ සම්සුදීන් අබ්දුල් බාසිත් (28) තරුණයාගේ නිවසටද ගොඩවූ අතර එහිදී රුපියල් ලක්ෂයක මුදලක් එම තරුණයාගේ දෙමාපියන්ට ලබාදීමටද අමාත්‍යවරයා කටයුතු කළේය.

එසේම පවුලේ ආර්ථික තත්ත්වය නැවත යහපත් වන තෙක් සිය පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුපෙන් රුපියල් 20000 ක මුදලක් මාසිකව ලබාදෙන බවටද මන්ත්‍රීවරයා එම අවස්ථාවේ දැනුම්දෙනු ලැබීය.

එහිදී මියගිය තරුණයාගේ පියා රවී කරුණානායක මන්ත්‍රීවරයාට පවසා සිටියේ මියගිය සිය පුත්‍රයාගේ වැඩිමහල් සහෝදරයා වන සම්සුදීන් මොහොමඩ් ෆයාස් තවමත් බරපතල පිළිස්සුම් තුවාල සහිතව රෝහල්ගතව සිටින බවය.

තවද තමන්ට දරුවන් මෙන්ම දේපලද විනාශවී ගිය බවත් එවැනි අවාසනාවක් යළිත් මේ බිමේ කිසිඳු මව්පියෙකුට සිදුනොවන්න කටයුතු කරනවා නම් තම එකම අපේක්ෂාව එය බවද ඔහු පැවසීය.

ජාතිවාදයෙන් කෝලාහලයට පත්වූ ජනතාවගේ සුවදුක් බැලීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක සමඟ උතුරු කොළඹ ආසනයේ එක්සත් ජාතික පක්ෂයෙන් මෙවර කොළඹ මහ නගරසභාව සඳහා තේරීපත්ව සිටින මන්ත්‍රී කණ්ඩායමේ 17 දෙනාද මෙම ගමනට එක්ව සිටියහ.

ලොරිරථ රියදුරාගේ පවුලටත් රුපියල් ලක්ෂයක් : මන්ත්‍රී වැටුපෙන් මාසිකව 20000 ක්

අනතුරුව මෙම ගමනේදී මන්ත්‍රීවරයා ගොඩවූයේ අවාසනාවන්ත ලෙස මියගිය මැද මහනුවර අඹල ප‍්‍රදේශයේ එම්. ජී. කුමාරසිංහ ගේ නිවසටය.

එහිදී අකාලයේ ජීවිතයෙන් සමුගත් එම්. ජී. කුමාරසිංහ සම්බන්ධව සිය ශෝකය පලකළ මන්ත්‍රීවරයා ඔහුගේ බිරිඳ ඇතුළු දරුවන්ට රුපියල් ලක්ෂයක මුදලක් ලබාදුන් අතර පවුල වෙත ස්ථීර ආදායම් මාර්ගයක් සකස්කර දෙන තුරු සිය පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුපෙන් පාසිකව රුපියල් 20000 බැගින් වූ දීමනාවක් ලබාදෙන්නට කටයුතු යොදා ඇති බවද පැවසීය.

කොහෙවත් යන මදාවියන් කරපු දේට අහල පහල ඉන්න මුස්ලීම් මිනිස්සු පළි නෑ - කුමාරසිංහ මහතාගේ ඥාතියකු

එහිදී මියගිය කුමාරසිංහ මහතාගේ ඥාතියකු සඳහන් කර සිටියේ, තම ඥාති පුත්‍රයාගේ අකල් මරණය වෙනුවෙන් සමස්ථ සහෝදර මුස්ලීම් ප්‍රජාව වගකිව යුතු බවට තම පවුලේ කිසිවකු නොසිතන බවය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේද පැවසීය.

"ඒ පුතා කාටවත් වරදක් කල කෙනෙක් නෙවෙයි. පන්සලේ හාමුදුරුවෝ පවා දුර බැහැර ගමනක් වඩිනකොට පුතාට එන්න කියනවා. ඒ ළමයා ඒ තරම් පන්සලට හිතවත්. ඒ වගේම හන්දියේ මුස්ලීම් කඩයේ ඉන්නේ පුතාගේ පන්තියේ හිටපු ළමයෙක්. ඒ ළමයා එක්කත් පුතා හරිම හිතවත්. උදේට වැඩට යනකොට ඒ ගෙදරට ගොඩවෙලා කතාබහ කරලා දරුවෝ එක්ක කතා කරලා යන්නේ. පිටින් ආව මිනිස්සු ඒ ළමයගේ කඩේටත් ගල් ගහලා. අනේ අපි කියන්නේ, ඔය දේවල් කරන්න එපා කියලා. කොහෙවත් යන මදාවි දෙතුන් දෙනෙකුගේ වැඩක් නිසා අපිට අපේ ළමයා නැතිවුණා. මුස්ලීම් මිනිස්සුන්ට ගැහුවා කියලා අපේ පුතා ආය හම්බෙන්නේ නෑ. මේ අහල පහල ඉන්න මුස්ලීම් මිනිස්සු එක්ක අදටත් අපි හොඳයි. අපි මොකටද ඒ මිනිස්සු එක්ක තරහා වෙන්නේ."

එම ගමනින් පසුව රවී කරුණානායක මන්ත්‍රීවරයා ඇතුළු කණ්ඩායම දිගන මැද මළුව රජ මහා විහාරයට ගොස් එහි නායක ස්වාමින් වහන්සේ බැහැදුටු අතර එහිදී ගැටුම අවස්ථාවේ සහෝදර මුස්ලීම් වැසියන්ගේ ජීවිත ආරක්ෂා කිරීම සඳහා නායක හිමියන් දැක්වූ කැපකිරීමට තම වැඳ නමස්කාර ගෞරවය පුදකරන බවද මන්ත්‍රීවරයා එහිදී පැවසීය.

ආරම්භයේදීම නැවැත්තුවා නම් මෙතරම් විනාශයක් වෙන්නේ නෑ - දිගන මැද මළුව රජ මහා විහාරයේ නායක හිමියන්

අනතුරුව සිදුවීම සම්බන්ධව විහාරාධිපති හිමියන් විසින් මන්ත්‍රීවරයා ඇතුළු පිරිස දැනුවත් කළ අතර එහිදී උන්වහන්සේ පෙන්වාදුන්නේ තෙල්දෙණියේ සිට දිගන දක්වා පෙළපාලියක් එන විට එය නැවැත්වීමට ආරම්භයේදීම කටයුතු නොකළ බැවින් මෙතරම් විනාශයක් සිදුවූ බවය.

"තෙල්දෙණියේ සිට දිගන දක්වා කිලෝමීටර් 07කට වඩා තියනවා. එච්චර දුර මේ ප්‍රචණ්ඩ ක්‍රියා කරමින් එන්න දුන්නේ ඇයි? අපි හැමෝම මේ ගැන ලැජ්ජාවට සහ කණගාටුවට පත්වෙන්න ඕන. අපිට පළමු අවස්ථාවේ මොකුත් කරගන්න වෙලාවක් තිබුණේ නෑ. නමුත් ඊට පස්සේ අපේ හාමුදුරුවරුන් මුස්ලීම් පල්ලි වලට වැඩම්මවලා ඒවාට හානි කරන්න ඉඩ නොදෙන්න අපි කටයුතු කළා. මං මේ දැනුත් අවතැන් වුන මුස්ලීම් දරුවන්ට බෙදන්න පොත් ටිකක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට දීලා ආවේ. අපේ ශාසනේ කියන්නේ ඕනම විපතටපත් ජනතාවට පිහිට වෙන තැනක් මිසක් සත්තු වගේ ගොදුරු හොයන දඩබිමක් නෙවෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad