දිල්කාට ඇහැගහපු ඇමති කවුද? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, February 20, 2018

දිල්කාට ඇහැගහපු ඇමති කවුද?

මෙරට පළමු පුරවැසියාගේ සිට දේශපාලන ලෝකයේ බලවතුන්ගෙන් ඇය ඉකුත් දිනවලදී දිගට හරහට ප්‍රශ්න කළාය. ඒ දෙරණ 360 වැඩ සටහන ඔස්සේය. ඇය අසන පැනයක් ඉදිරියේ ඇතැමුන් අන්ත අසරණයන් බවට පත් වු වග නොරහසකි. ඇත්ත ඇති සැටියෙන් ගෙන එන්නියක් විලසින් ඇය හුදී ජනයා නියෝජනය කරමින් මාධ්‍යවේදිනියකගේ සැබෑ වගකීම ඉටු කරමින් සිටියි.

දිල්කා සමන්මලී. මේ අද අපේ කතා නායිකාවයි.

දිල්කා. ආයේ ඉතින් මං අමුතුවෙන් අහන්න දෙයක් නැහැ. ඔබ ඉකුත් දිනවලදී නොසෑහෙන්න කාර්යබහුල වන්නට ඇති?

ඔබ කිව්වා වගේ රටේ තිබුණු දේශපාලන පරිසරයත් එක්ක මං හුඟක් බිසී වුණා. රාජකාරි මට්ටමෙන් මගේ වගකීම් නිසියාකාරව ඉටු කරන ගමන් මගේ පවුල් ජීවිතයේ වැඩ කටයුතුත් කරගත්තා. ඒවා මං අතපසු කරගන්නේ නැහැ. මගේ ලොකු දුව මොන්ටිසෝරි යන්න පටන් ගත්තා. මේ අවුරුද්දේ ඉඳලා මම තමයි බොහෝ විට දුවව ඇරලවන්නේ. ඒකත් එක්ක තවත් කාර්යබහුලයි.

දෙරණ නාලිකාවේ ඔබේ තනතුර මොකක්ද?

මං දැන් එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී.

ඔබව පුංචි තිරයේ ප්‍රබල චරිතයක් බවට පත්වන්නේ 360 වැඩසටහන හරහා කොපමණ කල්ද එය පටන් අරන්?

අවුරුදු අටක් වෙනවා. කඩින් කඩ නවත්වන්නත් සිදු වුණා. වර්තමානය වන විට විශේෂ වැඩසටහන් පමණයි මං එහි මෙහෙයවන්නේ.

360 ට වාඩිවන ආරාධිතයන්ගෙන් ඔබ ප්‍රශ්න අහන්නේ කැත්තට පොල්ල වගේ?

එහෙම හිතෙන්නේ ප්‍රේක්ෂකයින්ට. නමුත් මට ඒක බොහොම සාමාන්‍යයි. මට දැනෙන විදිහට ඒක මට තවත් ප්‍රශ්න කිරීමක් පමණයි.

ඔබට දේශපාලන දැනුමක් තිබෙන වග එම ප්‍රශ්න කිරීම්වලදී පේනවා?

ඇත්තම කිව්වොත් දේශපාලනය පිළිබඳ න්‍යායාත්මක දැනුමක් මට නැහැ. දේශපාලන විද්‍යාව විෂයක් විදිහට හදාරපු කෙනෙක් නෙවෙයි මම. නිවුස් රූම් එකේ ඉන්නකොට රටේ වෙන දේවල් ගැන මට දකින්නට අසන්නට ලැබෙනවා. මම දන්නවා එතකොට දේශපාලන පරිසරය තුළ වර්තමානයේදී වන දේවල්. ඒ ඔස්සේ මං ප්‍රශ්න අහනවා. නැතිව මං මේ දේශපාලනය ගැන පරතෙරට ගිය කෙනෙක් නෙවෙයි.

මං අහලා තියෙනවා 360 නිසා දිල්කාට මරණ තර්ජන පවා ඇවිත් තියෙනවා කියලා?

ඔව්.

ඒ වෙලාවට ඔබ ගත් ක්‍රියා මාර්ග මොනවද?

මට වඩා ඒවා ගැන සොයා බැලුවේ මගේ අම්මයි තාත්තයි. ඔවුන් වහාම ක්‍රියාත්මක වෙලා අදාළ පාර්ශවයන්ට දැන්වූවා. ඒ අය ක්‍රියාත්මක වුණා. මං ඒ ගැන විශේෂ තැකීමක් කළේ නැහැ. සුපුරුදු පරිදි රාජකාරිවල නියැළුණා.

ඔබට ලැබිලා තිබෙන ජනප්‍රියතාවය ගැන මොකද කියන්න තියෙන්නේ?

මං ජනප්‍රියද? ඒක මම කොහොමද කියන්නේ. මෙහෙම උත්තරයක් මම දෙන්නම්. මං නිවේදිකාවක් වන්නේ කැමරාව ඉදිරියේදී පමණයි. අනෙක් වෙලාවන්වලදී මං අතිශය සරල කෙනෙක්. ඒ විදිහට ඉන්න නිසා ප්‍රසිද්ධ තැනකදි කෙනෙක් මාව දැක්කොත් එක පාරට මාව හඳුනා ගන්නේ නැහැ. මං ඒක ප්‍රායෝගිකව අත්විඳලා තියෙනවා.

ඔබව වැඩි දෙනෙක් හඳුනන්නේ ඔබේ ඔය උපැස් යුවළ නිසා කියලා ප්‍රසිද්ධ කරුණක්?

ඔව්නෙ. මගේ කන්නාඩි දෙකේ පිහිටෙන් මාව හඳුනාගෙනයි වැඩි දෙනෙක් මාත් එක්ක කතා කරන්නේ. ඒත් සමහරුන්ට සැකයි. ඒ සැක අයින් වෙන්නේ මගේ හඬ ඇහැව්වට පස්සේ.

360 මෙහෙයවන්න ගිහින් අපහසුතාවයට පත් වූ අවස්ථා නැතිද?

මට මතකයි මර්වින් සිල්වා මහත්මයා ආව වෙලාවක වෙච්ච දෙයක් ගැන. එදා ලයිව් වැඩසටහන ගියේ. වැඩසටහන නිමා වෙනවත් සමඟම ඔහු ප්‍රෝගෑම් එක හරහා ගෙදර ඉන්න වයිෆ්ට පණිවිඩයක් කිව්වා. මට හිතාගන්න බැරි වුණා මොකක්ද ඒ වුණේ කියලා. තවත් දිනයක සුජීව සේනසිංහ ඇමතිතුමා ආව වෙලාවක මං ඔහුගෙන් පෞද්ගලික ජීවිතය ගැන ප්‍රශ්න කරමින් හිටියේ. මං එවලේ ඇහැව්වා ඔබතුමා බැඳල ද කියලා. ඔහු එකපාරටම කිව්වා මං බැඳලා නැහැ, ඔයා කැමති ද මාව බඳින්න කියලා. ඒ වෙලාවේ මං ටිකක් අපහසුතාවයට පත් වුණා.

වැඩියෙන්ම කැමැති කවුරු ආව වැඩසටහන්වලටද?

කැමැත්තකට වඩා තෘප්තිමත්ව මෙහෙය වූ වැඩසටහන් කිහිපයක්ම තියෙනවා. පසුගිය ජනාධිපතිවරණ වෙලාවේ රනිල් වික්‍රමසිංහ සහ මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් සමඟ කළ වැඩසටහන් ඒ අතරින් විශේෂයි.

දිල්කාගේ ඉදිරි ටාගට් මොනවද?

මගේ එහෙම ඉලක්ක නැහැ. අද තියෙන වගකීම අද ඉටු කරනවා. එච්චරයි.

පවුල් ජීවිතේ ගැන සඳහනක් කළොත්?

මගේ මහත්තයාගෙන් තමයි මට උපරිම සහායක් ලැබෙන්නේ. මට පුතකුයි දුවකුයි ඉන්නවා. ලොක්කිට අවුරුදු 3. දෙවැනියට අවුරුදු එක හමාරයි.

සරසවිය

සටහන - ප්‍රසාද් සමරතුංග
සේයාරූ - ශාන් රඹුක්වැල්ල

No comments:

Post a Comment

Post Bottom Ad