මාව බැන්දානම් විජය තාම ජීවතුන් අතර -මාලනී ෆොන්සේකා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, February 16, 2018

මාව බැන්දානම් විජය තාම ජීවතුන් අතර -මාලනී ෆොන්සේකා



මාව බැන්දානම් විජය තාම ජීවතුන් අතර
-මාලනී ෆොන්සේකා



සමුගත් ජනප්‍රිය නළු විජය කුමාරතුංගගේ ඝාතනය සිදුවී අදට වසර 30 කි. ඔහු ජීවතුන් අතර සිටියා නම් දැන් වයස 72 කි. නමුත් ඔහු මියගියේ 42 දීය.
කලක් විජයගේ පෙම්වතිය බවට කතා පැතිරුණ ප්‍රවීණ නිළි මාලිනී ෆොන්සේකා මේ දක්වා විජය ගැන නොකී කතා රැසක් පුවත්පතකට හෙළි කර තිබේ.
එය පහත පරිදිය.
 විජය මුලින්ම ඇස ගැටුණු දිනය මතකද?

 පානදුරේදී... මේ දැස කුමටද ෂූටිං වලට ආපු පළමු දවසේ
තමයි මම විජයව දැක්‌කේ. ඒත් ඒ වෙද්දී විජය හන්තානේ කතාව රඟපාලා තිබුණේ. මම "හන්තානේ කතාව" බලලා තිබුණේ. ඒ කාලේ මගේ පෙම්වතාට රඟපාමින් හිටියේ ගාමිණී, ටෝනි, ජෝ අබේවික්‍රම වගේ අය. හන්තානේ කතාවේ විජයගේ රඟපෑම් ගැන මම මහා ලොකුවට හිතුවේ නෑ. පෙම්වතෙකු ලෙස රඟපාන්න පුලුවන් හොඳ නළුවෙක්‌ කියලා හිතුනා. අනෙක ඉතින් මමත් ආපු අලුතනේ...

 විජයගේ පෙනුමට මුලදීම ආකර්ෂණය වුණාද.. ?

 නෑ.... ඇත්තටම මුල් කාලේ පෙනුමට වඩා පස්‌සෙ පස්‌සෙ තමයි විජය ලස්‌සන වුණේ. ලස්‌සනට අඳින්න පටන්ගත්තා. විජයගේ පෙනුමේ විශේෂත්වයක්‌ දැක්‌කේ පස්‌සේ...

 විජය - මාලනී... එකල කැමරාව ඉදිරියේ අතිශයින්ම ප්‍රේමණීය යුවළ බවට පත්වූහ. ඒ පිළිබඳ විජය තුළ තිබූ හැඟීම කවරක්‌ විය හැකිද?

 මම දන්නෙ නෑ ඒ ගැන. අපි ඒ කාලේ ඒ ගැන එතරම් දුරට හිතුවෙත් නෑ... ඇත්තටම විජය ඒ ගැන මා එක්‌ක කතා කරලාත් නෑ....

 විජය මාලිනී තිරයේ පමණක්‌ නොවේ සැබෑ ජීවිතයේත් පෙම්වතුන් බව එකල වසන් කරන්න බැරි රහසක්‌ ?

 ඇත්තටම ඒ කාලේ විජයත් මමත් හුඟාක්‌ තරුණයි.. අපි දෙන්නා හුඟාක්‌ දේ කතාකරනවා. දන්නෙම නැතිව දෙන්නම ලෙංගතු වුණා... එකිනෙකාට සමීප වුණා. මේක සිද්ධ වුනේ ඉබේමයි..."

 ඔබ හා විජය විවාහ වීම රසිකයන්ගේ ආදරණීය පැතුමක්‌ වුණා. ඒත් අවසන් මොහොතේ එය සිදුවුණේ නෑ?

 ඔව්.. ඇත්තටම හුඟ දෙනෙක්‌ අපි දෙන්නට සුබ පැතුවා.. මගේ නංගිලා පවා හිතුවා

මම විජයව කසාද බඳීවි කියලා. අපි දෙන්නත් හිතාගෙන හිටියා. ඒත් මිනිස්‌සුන්ගේ ජීවිතයේ විවිධ හැල හැප්පීම් සිද්ධ වෙනවනේ. අපිටත් එහෙමයි. හැලහැප්පීම්වලට අපි දෙන්නත් ගොදුරුවුණා. තරුණ කාලෙනේ.. සිතිවිලි විවිධයි. සමහර වෙලාවකදී විජයගේ සමහර දේවල් වලට මම අකමැති වෙන්න ඇති. නොගැලපීම් තිබුණා. මම බලාපොරොත්තුවුණාට වඩා ඔහු වෙනස්‌ වුණා. ප්‍රශ්න ඇතිවෙනවනේ.. පෙර තිබූ ඇගේ කාන්තිමත් දෙනෙත් තුළින් ශෝකී බවක්‌ දිස්‌වුණා.

 "විජය කුමාරතුංග කියන්නේ ඉක්‌මනින් කිපෙන සුළු කෙනෙක්‌ නෙවෙයි නේද ?

 නැහැ... නැහැ... විජයට කේන්ති යනවා අඩුයි. එයා නිතරම හිටියේ සුහදශීලීව. ප්‍රේක්‍ෂකයන් එක්‌කත් හරිම ලෙංගතුයි. ඒක එයා මවා ගත්තු දෙයක්‌ නොවේ. විජය හරිම අව්‍යාජයි.

 "තරහකාරයෝ හිටියද?

 ඇත්තටම මම වුනත් අද හිතන්නේ නෑනේ අහවලා මා එක්‌ක තරහයි කියලා. ඒ වාගේ තමයි විජයත්. විශ්වාස කළේ නෑ. තරහ කාරයෝ ඉන්නවා කියලා. හැම කෙනෙක්‌ම හිතවත් කියලා තමයි එයා හිතුවේ. විවිධ හේතු නිසා විජයට තරහකාරයෝ ඉන්න ඇති. ඒත් මරා දමන්න තරම් තරහකාරයෙක්‌ විජයහැර වෙන කිසිම නළුවෙකුට ඉන්න නැතිව ඇති. එහෙම තරහ කාරයෙක්‌ ඉන්නවා කියලා විජය නොවේ මමවත් තුන් හිතකින්වත් හිතුවේ නෑ....

 විජය දේශපාලනයට එන්න කලින් ඔබ සමඟ ඒ ගැන කතා කළාද?

 විජය හරිම ආසයි රඟපාන්න. චරිතයක්‌ ලැබුණාම ඒ ගැන හරි ආශාවෙන් කතා කරනවා. චරිතයක්‌ රඟපාද්දී ඒ පිළිබඳ බොහෝ කැපකිරීම් කළා. ඒත් ඒ සියල්ලම වෙනස්‌වුණා දේශපාලනය නිසා. විජයගේ උනන්දුව වැඩිපුර දේශපාලනයට යෙදෙන්න පටන්ගත්තා. කලාවට දෙවැනි තැනයි දුන්නේ. විජය ඒ දවස්‌වල ඉඳලාම දේශපාලනයට කැමැති බව මම දන්නවා. ඒ ගැන මා එක්‌ක කතා කරනවා. ඒ වුනාට විජය දේශපාලනය කරන එක ගැන මගේ හිතේ පොඩ්ඩක්‌වත් කැමැත්තක්‌ තිබුණේ නෑ. රංගන ශිල්පියෙකුට හෝ ශිල්පිනියකට දේශපාලනය සුදුසු නෑ කියලා තමයි ඒ කාලේ මම හිතුවේ. මම සමහර දවස්‌වල විජයට දොස්‌ කියනවා දේශපාලනය කිරීම ගැන. එවිට අප අතර තර්ක විතර්ක පවා ඇතිවෙනවා. අපේ රටේ ඒ තරම් හොඳ දේශපාලන තත්ත්වයක්‌ නැති බව මට ඉවෙන් වගේ තේරුණා. ඒ නිසා තමයි විජය දේශපාලනයට යනවාට මගේ හිතේ තදබල විරෝධයක්‌ තිබුණේ. මට මතකයි ඒ කාලේ මර්වින් සිල්වා මහත්මයා ඇවිත් විජයට කතා කරනවා රැස්‌වීම් වලට යන්න. ඒ වෙලාවට විජය මා දිහා බලනවා. මම විජයට ඔරවනවා තරහෙන්. ඒ වෙලාවට මම ඔහු එක්‌ක කතා කරන්න ගියෙත් නෑ.

එතකොට විජය ඔබට බලපෑම් කළේ නැද්ද රැස්‌වීම් වලට යන්න එන්න කියලා?

 "අනේ නෑ... විජය කිසිම දවසක මට ඒ වගේ බලපෑම් කළේ නෑ. මම විරුද්ධයි කියලා එයා දන්නවනේ..."

විජය ඒ දවස්‌වල චිත්‍රපට වලින් සල්ලි හම්බ කරන්න ඇති...?

 "මොන පිස්‌සුද.... සල්ලි හම්බ කරන්න සල්ලි දෙන්න එපායෑ. නිෂ්පාදකවරු විජයට ගෙවීම් කළේ හරිම අඩුවෙන්. ඒත් ඒ තත්ත්වය ගාමිණී අයියා (ගාමිණී ෙµdන්සේකා) වෙනස්‌ කළා. නළු නිළියන්ට වෘත්තීය ගෞරවය ඇති කළේ ගාමිණී අයියා. කවුරු හරි නිෂ්පාදකවරයෙක්‌ ඇවිත් විජයට දුක කිව්වොත්.. මට ගෙවන්න අමාරුයි... දැන්ම දෙන්න බෑ.. පස්‌සේ දෙන්නම්.." කියලා විඡේ හා... කමක්‌ නෑ කියනවා. ඒ වෙලාවට මම විජයට දොස්‌ කියනවා එහෙම කරන්න එපා මේක වෘත්තියක්‌... ඔයා කරන වැඩෙන් අනෙක්‌ අයටත් ප්‍රශ්න ඇතිවෙනවනේ කියලා. ඒත් හුඟාක්‌ නිෂ්පාදකවරු විජයගෙන් අයුතු ප්‍රයෝජන ගත්තා. නිෂ්පාදකවරයා චිත්‍රපටයෙන් හොඳම ලාභ ලබනවා. ඒත් ඉන් පස්‌සෙවත් විජයට ගෙවන්නේ නෑ. විජය මැරුණු වෙලාවේවත් ඔය සමහර නිෂ්පාදකවරු විජයට සැලකිල්ලක්‌ දැක්‌වූයේ නෑ. බොරුවට හඬා වැටුණා විජය වෙනුවෙන්. මම ඒවා හොඳටම දන්නවා.

 ඔබ සහ විජය අමනාප වූ අවස්‌ථා තිබුණද...?


 හුඟක්‌ අවස්‌ථාවල අපි දුරස්‌ වුණා. අපිට ගැලපෙන්නෙ නැති දේවල් වුණ නිසා මම විජයගෙන් දුරස්‌ වුණා. මම අකමැතිදේ සිද්ධ වුණා.

 ඉන් පස්‌සේ එකට රඟපෑවෙත් නෑ නේද...?

 නෑ... අමනාප වුණත් අපි දෙන්න එකට රඟපෑවා. රඟපෑම අපේ වෘත්තියනේ. කැමරාව ඉදිරියේ අපි දෙබස්‌ කිව්වා. ඉන් එහාට ඇසුරක්‌ තිබුණේ නෑ. මම අයින් වුනේ විජයගේ සමහර ක්‍රියාකලාපයන්ට අකමැති නිසානේ. මම කිසිම රංගන ශිල්පියකු එක්‌ක අමනාප වුනත් රඟනොපා හිටියේ නෑ. විජය එක්‌ක රඟපාන්න කියලා නිෂ්පාදකවරු, අධ්‍යක්‍ෂවරු ආරාධනා කළාම මම ප්‍රතික්‍ෂේප කරලා නෑ..

 විජය සහ ඔබගේ විවාහය සිද්ධ වුණා නම්.. ඔහු අකල් මරණයකට ගොදුරු නොවෙන්නත් තිබුණා?

 ඔව්... ඔය ප්‍රශ්නය හුඟදෙනෙක්‌ ඒ දවස්‌වල මගෙන් ඇහුවා. හුඟදෙනෙක්‌ ඔය කතාව කියලා මට දොස්‌ කියන්නත් පටන් ගත්තා. දැන් ඔයත් අහන්නේ ඒ ප්‍රශ්නයමයි. සමහර රසිකයෝ මගේ මූණටම ඔය කතාව කිව්වා. සමහරු මට බැනලා ලියුම් පවා එව්වා ඇයි විජයව කසාද බැන්දේ නැත්තේ කියලා. ඒත් අපි දෙන්නා අතර සිද්ධවුණ පෞද්ගලික සිද්ධීන් මට කවදාවත් එළිපිට කතා කරන්න බෑනේ. විජය අද ජීවතුන් අතර නෑ. ඒ නිසා මම ඒ කාලේත් ඔය ගැන මාධ්‍යයට කියන්න කැමැති වුණේ නෑ. අනෙක විජයට ආදරය කරන දස දහස්‌ ගණනක්‌ අදත් ඉන්නවා. විජය මට නොගැළපුනාට.. ඒ දසදහස්‌ ගණනක විජයගේ රසිකයන්ට ඒක අදාළ වෙන්නේ නෑනේ. මම යමක්‌ කිව්වොත් ඒක පැහැදිලි කරන්න විජයට අවස්‌ථාවකුත් නෑ. ඒ ඔහු අද නැති නිසා. එනිසා මම ඒ ගැන කතා කරන එක විජයට කරන අසාධාරණයක්‌. මම ගැහැණියක්‌. ගැහැණියක්‌ ලෙස මගේ පාර්ශවයේ තිබෙන කරුණු මට පොදුයි. ඒ නිසා මම ඒ ගැන කතා කරන එක හොඳ නෑ කියලා තමයි අදත් හිතන්නේ. විජය මනුෂ්‍යයෙක්‌ විදිහට සැබෑ මානව හිතවාදියෙක්‌. මාලිනී ෆොන්සේකා කියන්නේ තනි කෙනෙක්‌නේ. මගේ ජීවිතයේ සිතිවිලි මම තනිව විඳදරා ගන්නවා.

 ඒවා ඒ විදිහටම තිබුණාවේ. ඒත් මා කාලයක්‌ ආදරය කළ කෙනෙක්‌, මුළු ලෝකයම ප්‍රියකරන කෙනෙක්‌ විජය. ජීවිතයේ එක එක කාලවලදී විවිධ දේ සිදුවෙනවා. විජය හිටියා නම් අදත් අපිට ඉඳහිට හරි රණ්‌ඩු කරන්න තිබුණා. ඒත් අද විජය නෑ..

 විජය ඝාතනය වූ පුවත අසද්දී ඔබට මොනවාද හිතුනේ..

 අයියෝ... මට දැනුනා එක පාරටම හැම දෙයක්‌ම හැම ක්‍රියාවලියක්‌ම නතර වුණා වගේ. ඒ තත්ත්වයෙන් මිදෙන්න හුඟවෙලාවක්‌ ගියා. විජය නෑ කියා කියන සිතිවිල්ල ඇතිවෙන්න කාලයක්‌ ගතවුණා.
 විජය ඉන්න බව තමයි හැම තිස්‌සෙම දැනුනේ. ඒත් එකපාරටම පරමාණු බෝම්බයක්‌ අත හැරියාවගේ හැම දෙයක්‌ම සුණුවිසුණු වෙලා ගියා... ඇයගේ හඬ හැඬුම්බරය. ඒ නිසාම යළි ඇගේ අවධානය වෙනතකට හැරවූයෙමි.

 විජය විලාසිතා කරන්න දැඩි ඇල්මක්‌ දැක්‌වූවා නේද.."

 අපොයි ඔව්.. එයා හරි ලස්‌සනට ස්‌ටයිල් කළා. ඒ කාලේ බටහිර සිනමාවේ තරුණයන් කළ ස්‌ටයිල්, ඇඳපු බෙල් බොටම්, බෙල්ට්‌, සපත්තු, ෂර්ට්‌ මට මතකයි විජය ලේස්‌ ෂර්ට්‌ එකකට හරියට ආසා කළා. තියෙන හොඳම පර්µsයුම් එක තමයි පාවිච්චි කළේ. ඇඳුම් පැළඳුම් ගැන හරි සැලකිල්ලක්‌ දැක්‌වූවා.


 විජය නැතිවෙලා අදට අවුරුදු තිහක්‌.. ඔබ තවමත් විජයට ආදරෙයිද... ?

 ඔව්... ඉතින් ඇත්තටම... (ඇය සිනාසේ... ඒ සිනාවේ දුක්‌බර ගතියක්‌ද දිස්‌වේ.) එහෙම නෑ කීවොත් ඒක බොරුවක්‌. විජය නැතිවුණේ ජීවිතයේ හොඳම කාලෙදී. ඔහු තරුණ වියේදී තමයි නැතිවුණේ. වියපත්වූ විජය කුමාරතුංග කෙනෙක්‌ව කිසිම කෙනෙක්‌ දැකලා නෑනේ. තරුණ විජය තමයි හැම කෙනාගෙම හිත්වල ඉන්නේ. විජයට හැමෝම ආදරය කරනවා. විජය මගේ ජීවිතයේ විශේෂ පුද්ගලයෙක්‌. මම තවමත් විජයට ආදරෙයි......

අජිත් අලහකෝන්

No comments:

Post a Comment

Post Bottom Ad