මං පහරදුන් වීඩියෝව එඩිට් එකක් අපි කාගේවත් දුරකථන ටැප් කරන්නෙ නෑ -පූජිත් ජයසුන්දර - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, January 18, 2018

මං පහරදුන් වීඩියෝව එඩිට් එකක් අපි කාගේවත් දුරකථන ටැප් කරන්නෙ නෑ -පූජිත් ජයසුන්දර

මං පහරදුන් වීඩියෝව එඩිට් එකක්
අපි කාගේවත් දුරකථන ටැප් කරන්නෙ නෑ
-පූජිත් ජයසුන්දර

කලාතුරකින් පුවත්පත් සම්මුඛ සාකච්ඡාවලට සහභාගීවන පොලිස්පති පූජිත් ජයසුන්දර සතිපතා පුවත්පතකට පසුගියදා ලබාදුන් විස්තරයේදී පසුගිය කාලයේ ඔහු සේවකයෙකුට පහරදෙන අයුරු ප්‍රචාරය වුණ වීඩියෝව ගැන අදහස් පළ කර තිබුණි. ඔහු පවසන්නේ එය එඩිට් එකක් බවයි.

තමාගේ භාවනා වැඩසටහන ගැනත් තමා කිසිවෙකුගේ දුරකථන ටැප් නොකරන බවත් කියා තිබුණ එම සාකච්ඡාව පහත පරිදිය.

ඔබතුමා රස්සාව ගැන සන්තෝසෙන්ද ඉන්නෙ...?
ඔව්. බොහොම සතුටින් ඉන්නෙ.

කවදද විශ්‍රාම යන්න තියෙන්නෙ...?
2020 මාර්තු 15

මේ ඡන්දෙන් පස්සෙ පොලිස්පති ධුරයෙන් අයින් කරන්න හදනවා කියන්නෙ ඇත්තද...?
ඒක මම නම් දන්නෙ නෑ. මම අවංකව මගෙ රාජකාරිය කරනවා.

අයින් කළොත් දේශපාලනයට එන්න ඉන්නෙ කියලත් ආරංචියි...?
නෑ. මම පොලිස් නිලධාරියෙක්නෙ.

ඒ කියන්නෙ දේශපාලනයට එන්නෙම නෑ...?
අනාවැකි කියන්න බෑනෙ.  දැනට මම පොලිස් නිලධාරියෙක් විතරයි.

හරි. ඇයි රාජ්‍ය සේවකයකුට ගැහුවෙ...?
නෑ. මම ගැහුවෙ නෑ. හැබැයි මං දොස් කිව්වා, වටේ හිටපු අයටත් දොස් කිව්වා. භාවනා කරන අතරතුර හැසිරෙන විදිහ ගැන ටිකක් තදට කතා කළා.

නෑ, ඔබ පහර දුන්නා...?
නෑ. මං ගැහුවෙ නෑ. ඔය බොරු කතා. මට මඩ ගහන්න හදපු කතා.

එතකොට අර වීඩියෝ...?
වීඩියොත් ඔය ඕනෙ තරම් එඩිට් කරන්නෙ දැන්.

ඔච්චර බොරු නම් ඔය කතා කියන අයට නඩු දාන්න පුළුවන්නෙ...?
මොනවටද මං ඔය බොරු වැඩවලට කාලෙ නාස්ති කරන්නෙ. මට ඊට වඩා වැඩ තියෙනවා.

ඒ කියන්නෙ නඩු දාන එක බොරු වැඩක් ද...?
නෑ. නෑ. එහෙම එකක් නෙමෙයි මං කියන්නෙ. මං කිව්වෙ ඔය කතා හදන අය හදපුවාවෙ. මං වැඩ කරනවා.

රටේ සිවිල් නීතිය භාර පුද්ගලයා ඔය විදිහට කතා කරන එක අවුලක් නේද...?
ඇයි. එහෙම අහන්නෙ.

නෑ, එතකොට අපි ගැන කවර කතාද...?
ඕනෙම කෙනකුට මං කියන්නෙ චෝදනා කරපුවාවෙ, වැඩ හරියට කරන්න කියලා.

ඇයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමන්ලාගේ දුරකතන ටැප් කරන්නෙ...?
නෑ, මං කවදාවත් එහෙම දෙයක් කරලා නෑ.

එහෙනම් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න එහෙම පැමිණිල්ලක් කරලා තිබුණෙ...?
මෙහෙමයි. මට කියන්න තියෙන්නෙ මෙච්චරයි. කවුරු හරි එහෙම කියනව නම් ඒ අය බලාපොරොත්තු වෙන වරප්‍රසාද ලැබිලා නැතුව ඇති. පෞද්ගලික අභිමතාර්ථයන් ඉෂ්ට වෙලා නැතුව ඇති. මට ඒක ගැන ඊට වඩා කියන්න දෙයක් නෑ.

ඔබතුමා යටතේ විශේෂ විමර්ශන ඒකකයක් තියෙනවා නේද...?
ඔව්.

ඒකෙන් දුරකතන ටැප් කරන්නෙ එහෙම නෑනෙ...?
නෑ. මං හිතන්නෙ ලංකාවෙ දැන් කොහෙවත් ෆෝන් ටැප් කරන්නෙ නෑ.

බුද්ධි අංශවල වගේ ...?
මං හිතන්නෙ නෑ. ඉස්සර කරන්න ඇති. දැන් නෑ.

හොඳ ආරංචියක්, පොලිස්පතිතුමානෙ කියන්නෙ...?
ඔව්. ඔව්. මං කෙලින් කතා කරනවනෙ.

දැන් අර භාවනා වැඩසටහන හොඳට යනවද...?
ඔව්. ඉතාම සාර්ථකයි. ඒක චිත්තාභිවර්ධන වැඩසටහනක්. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් අබේසිරිගුණවර්ධන මහත්තයා මේ  වන්දනාව ගැන පොත් පිංචක් මුද්‍රණය කරලා මධ්‍යම, උතුරු මැද සහ වයඹ පළාත් වල පොලිස් නිලධාරීන් අතර බෙදාහැරලා තියෙනවා. එකකට රුපියල් 24.50 ගාණෙ වියදම් ගිහින් තියෙන්නෙ.

රජයේ සල්ලි වලින් ඕවා කරන්න පුළුවන්ද...?
පුළුවන්. අරමුදල්වලින් චිත්තාභිවර්ධන වැඩසටහන් කරන්න පුළුවන්.

ඉතින් ඔය පළාත් තුනට විතරද සලකන්නෙ...?
නෑ. ඉදිරියේදි පොලිස් අරමුදලින් අනෙක් කොට්ඨාසවලටත් මේ පොත් බෙදාහරින්න කටයුතු කරනවා.

අනෙක් ආගම්වල අයට අසාධාරණයක්නෙ කරන්නෙ...?
අපෝ නෑ. ඉස්ලාම්, කතෝලික, හින්දු පොලිස් නිලධාරීන්ටත් ඒ ඒ ආගම්වලට අදාළ විස්තර සදහන් පොත් මුද්‍රණය කරනවා.

භාවනා වැඩසටහන හරියට යනවා කිව්වට පොලීසි ඇතුළෙ තවම මිනිස්සු මැරෙනවා නේද...?
මෙහෙමයි, සමහර නිලධාරීන් වගකීම් විරහිත විදිහට වැඩ කරනවා. ඒවාට එරෙහිව උපරිම පියවර ගන්නවා.

බොහොම හොඳයි, අවසාන වශයෙන් කියන්න, කරාටේ වසන්ත වගේ ව්‍යාපාරිකයන් එක්ක ළඟ ගනුදෙනුවක් තියෙනවලු නේද...?
මට මෙහෙම කියන්න පුළුවන්, මං කිසිම අයුතු පුද්ගලයකු එක්ක ගනුදෙනු කරන්නෙ නෑ.


No comments:

Post a Comment

Post Bottom Ad