ජනපතිට එරෙහි දෝෂාභියෝගයක් : එජාපයත් රාජපක්ෂ පවුලත් එක මතයක. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, January 14, 2018

ජනපතිට එරෙහි දෝෂාභියෝගයක් : එජාපයත් රාජපක්ෂ පවුලත් එක මතයක.

දහනව වන ව්‍යවස්ථා සංශෝධනයේ ඇති ප්‍රතිපාදන නොසළකා වසර 6ක් බලයේ රැඳී සිටීමට උත්සාහ කළහොත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහි දෝෂාභියෝගයක් ගෙන ඒමට එක්සත් ජාතික පක්ෂයේ සහ රාජපක්ෂ පවුලේ ප්‍රබලයන් පිරිසක් අතර සාකච්ඡාවක් ඇරඹී ඇතැයි ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් අනාවරණය වේ. 

කවර චෝදනා යටතේ මෙම දෝෂාභියෝගය රැගෙන එන්නේද යන්න මෙතෙක් හෙළිවී නැතත් ඒ සම්බන්ධයෙන් දෙපාර්ශවයම මූලික එකඟතාවක සිටින බවට දැනට හෙළිවී තිබේ. එක්සත් ජාතික පක්ෂයේ මතය වී ඇත්තේ ජනාධිපති වරයා මේ වන විට එක්සත් ජාතික පක්ෂයට සතුරු ප්‍රතිපත්තියක සිට කටයුතු කරන බවයි. විශේෂයෙන්ම සිය ධූර කාලය සම්බන්ධ ප්‍රශ්නයද ඔහු කිසිදු විටෙක එක්සත් ජාතික පක්ෂය හෝ එහි නායකත්වය සමග සාකච්ඡා නොකළ බවද එජාප ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි. 

මේ සම්බන්ධයෙන් කරුණු දැක්වූ එජාප ප්‍රකාශකයෙකු සඳහන් කළේ ජනාධිපති ධුරකාලය වසර 5කට සීමා වන බවට වන ප්‍රතිපාදනය වත්මන් ජනාධිපතිවරයාටද අදාළ බව එක්සත් ජාතික පක්ෂයේ මතය වන බවයි. එය 19 වන සංශෝධනයේ 49 (1) බී වගන්තියේ ඉතා පැහැදිලිව සඳහන් වන බවද ඔහු අවධාරණය කළේය. මේ සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ මතයද එයම බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. ඒ අනුව ජනාධිපති වරයා ව්‍යවස්ථාමය රාමුවට පිටින් කටයුතු කළහොත් දෝෂාභියෝගයක් ගෙන ඒම හැර වෙනත් විකල්පයක් නැති බවද ඔහු හෙළි කළේය.  

මහින්ද යළි ශ්‍රිලනිප නායකත්වයට?

දේශපාලන විචාරකයන් සඳහන් කරන්නේ දෝෂාභියෝගයක් මගින්  ජනාධිපතිවරයා බලයෙන් පහ වුවහොත් ඔහුගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වයද ඉක්මනින්ම අහෝසි වී යනු ඇති බවයි. ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා වශයෙන් පත් කෙරුණේ ශ්‍රිලනිප සාමාජිකයෙකු ජනාධිපතිවරයා බවට පත් වුවහොත් ඔහුට පක්ෂ සභාපතිත්වය හිමිවන බවට වන පක්ෂ ව්‍යවස්ථා ප්‍රතිපාදනයට යටත්වය. 

මේ අනුව, එවැනි තත්වයක් යටතේ යළිත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය හිමි කරගැනීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අවකාශ හිමිවේ. මේ වන විට පාර්ලිමේන්තුවේ ඇති සංයුතිය අනුව එක්සත් ජාතික පක්ෂයට ආසන 105ක් හිමිව ඇති අතර එයින් මන්ත්‍රී වරුන් දෙදෙනෙක් ( විජයදාස රාජපක්ෂ සහ අතුරලියේ රතන හිමි ) ස්වාධීන මන්ත්‍රීවරු ලෙස ක්‍රියා කරති. එක්සත් ජනතා නිදහස් සන්ධානය සතුව මන්ත්‍රීවරුන් 95ක් සිටින අතර එයින් 50 දෙනෙක් පමණ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යටතේ ඒකාබද්ධ විපක්ෂය වටා ගොනුවී සිටිති. 

මෛත්‍රිපාල සිරිසේන මහතාට මේ වන විට පාර්ලිමේන්තුව තුළ සහය ලබා දෙන්නේ මන්ත්‍රීවරුන් 45 දෙනෙකු පමණකි. ඔවුන්ගෙන් පිරිසක්ද රාජපක්ෂ පවුල සමග හොර රහසේ සබඳතා පවත්වන බව පසුගිය කාලයේ පක්ෂ අභ්‍යන්තරයෙන්ම චෝදනා එල්ල වී තිබිණි. මේ යටතේ ඉතා පහසුවෙන්ම පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රී පිරිසකගේ සහය මෙම් දෝෂාභියෝගය සඳහා ලබා ගත හැකි බව දෙපක්ෂයේම මතය වී තිබේ. ඔවුන් ප්‍රකාශ කරන්නේ යම් හෙයකින් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී පිරිසක් ජනාධිපතිවරයාට සහය ලබා දෙන්නට කටයුතු කළත් එයින් දෝෂාභියෝගයට කිසිදු බලපෑමක් සිදුනොවන බවයි.

infosrilankanews.com

No comments:

Post a Comment

Post Bottom Ad