එ්කාබද්ධයේ ප‍්‍රබලයෝ හදිසියේ ජනපති හමුවෙති. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, December 17, 2017

එ්කාබද්ධයේ ප‍්‍රබලයෝ හදිසියේ ජනපති හමුවෙති.

එළඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා භාර දීම ආරම්භ වීමත් සමඟ ඒකාබද්ධ විපක්ෂය සමඟ කටයුතු කරන සාමාජික පක්ෂ සහ මන්ත‍්‍රීවරුන්ගේ පෞද්ගලික අභිමතාර්ථයන් ඉෂ්ට කර ගැනීමට යාම නිසා අර්බුදකාරී තත්ත්වයක් ඇතිව තිබෙන බව වාර්තා වේ.

නුවරඑළිය දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී සී.බී.රත්නායක, අම්පාර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමලවීර දිසානායක, පුත්තලම දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී සනත් නිශාන්ත, හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ගීතා කුමාරසිංහ යන මහත්ම මහත්මින් නිසා ඒකාබද්ධ විපක්ෂය සමඟ කටයුතු කළ පිරිස් වෙනම කණ්ඩායම් ලෙස මැතිවරණයට ඉදිරිපත් වීමට තීරණය කර ඇත.

විමලවීර දිසානායක මහතා සිය අපේක්ෂකයන්ට අවස්ථාව ලබා නොදීම නිසා එම දිස්ත‍්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ශ‍්‍රියාණි අබේවික‍්‍රම මහත්මිය පසුගිය දා ඒකාබද්ධ විපක්ෂයෙන් ඉවත්ව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට එක් වූවාය. සී.බී. රත්නායක මහතාගේ ඒකාධිපති හැසිරීම නිසා තමන් ඇතුළු පිරිස ස්වාධීනව තලවකැලේ - ලිඳුල නගර සභාවට තරග කරන බව එහි හිටපු සභාපති අශෝක සේපාල මහතා පැවසීය.

බෙන්තොට ප‍්‍රාදේශීය සභාවේ හිටපු විපක්ෂ නායක එල්.ඩබ්ලිව්. රත්නපාල මහතා ඇතුළු පිරිස හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ගීතා කුමාරසිංහ මහත්මියගේ ක‍්‍රියා කලාපයට එරෙහිව ස්වාධීනව තරග කිරීමට නාමයෝජනා භාර දී තිබේ. මීට අමතරව ඒකාබද්ධ විපක්ෂයෙන් සිදුවූ අසාධාරණය නිසා තමන් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත් බව කෑගල්ල හිටපු සභාපති ඞී.එම්. උපාලි දිසානායක මහතා පැවසීය.

පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා සිය පක්ෂයට හෝමාගම ප‍්‍රාදේශීය සභාවට අපේක්ෂකයන් වැඩියෙන් ඉල්ලා සිටීම නිසා පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මහතා සමඟ ගැටුමක් ඇතිකරගෙන ඇත. මීට අමතරව පුත්තලම දිස්ත‍්‍රික්කයේ පළාත් පාලන ආයතනවලට පාර්ලිමේන්තු මන්ත‍්‍රී සනත් නිශාන්ත මහතා තමන්ගේ අපේක්ෂකයන්ට ඉදිරිපත් වීමට තිබූ අවස්ථාව අහිමි කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රියංකර ජයරත්න මහතා චෝදනා කළේය.

පසුගිය බ‍්‍රහස්පතින්දා අවසන් වූ පළාත් පාලන ආයතන 93ක නාමයෝජනා භාර ගැනීම වන විට ඒකාබද්ධ විපක්ෂයේ පිරිස් ආයතන 7 කට බෝට්ටුව ලකුණින් හා බේරුවල හා බණ්ඩාරවෙල නගර සභාවට ස්වාධීනව තරග කිරීමට නාමයෝජනා භාර දී ඇත. කෙසේ වෙතත් මහරගම, වැලිගම, පානදුර  යන නගර සභාවල සහ බදුල්ල, මහියංගණ, වැලිගම ප‍්‍රාදේශීය සභාවලට පොදුජන එක්සත් පෙරමුණෙන් භාර දුන් නාමයෝජනා ප‍්‍රතික්ෂේප විය. පක්ෂයෙන් නම් කරන ලද බලයලත් නියෝජිතයා නාමයෝජනා පත‍්‍රය ඉදිරිපත් නොකිරීම, කාන්තා නියෝජනය අඩු වීම ආදී කරුණු නිසා එම නාමයෝජනා ප‍්‍රතික්ෂේප වී තිබේ.

මෙම තත්ත්වයට හේතු වී ඇත්තේ ඒකාබද්ධ විපක්ෂය තුළ කි‍්‍රයාත්මක වන කාල්ටන් මොන්ටිසෝරි කණ්ඩායමේ ප‍්‍රබලයන්ගේ  කි‍්‍රයා කලාපය බවට වාර්තා වේ. කළුතර දිස්ත‍්‍රික්කයේ අගලවත්ත ප‍්‍රාදේශීය සභාවේ ඒකාබද්ධ ලැයිස්තුව සකස් කර තිබිය දී  වෙනත් නාම ලේඛනයක් සකස් කර ඒකාබද්ධයේ ප‍්‍රබලයකුගේ අනියම් බිරියකගේ ස්වාමියකුගේ නමක් ඊට ඇතුළත් කර තිබිණ. පසුව ලේඛනය අත්සන් කර භාර දෙන අවස්ථාවේ ඊට දිනය යොදා තිබී නැත.

බදුල්ල දිස්ත‍්‍රික්කයේ ඒකාබද්ධයේ නාමයෝජනා දෙකක්ම ප‍්‍රතික්ෂේප වීමට හේතුව වී ඇත්තේ එම පක්ෂයේ දිස්ත‍්‍රික් නායකයා ලෙස කටයුතු කරන කුමාර වෙල්ගම මහතාගේ කි‍්‍රයා කලාපය බව වාර්තා වේ. නාමයෝජනා භාරදෙන අවසන් දින දිස්ත‍්‍රික් නායකයාවත් එම අවස්ථාවට සහභාගි නොවීමෙන් එම අර්බුදය මනාව පැහැදිලි වේ.

මෙසේ නාමයෝජනා ප‍්‍රතික්ෂේප වූ ආයතන බල ප‍්‍රදේශ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට හිතවත් නිදහස් පක්ෂයේ පිරිස් සිටින බල ප‍්‍රදේශ වීම නිසා නිදහස් පක්ෂය හා ඒකාබද්ධ විපක්ෂය එක්වීමට තිබූ අවස්ථාව අහිමි කිරීම හේතුවෙන් මෙසේ හිතාමතාම පළාත් පාලන නාමයෝජනා ප‍්‍රතික්ෂේප කළේ ද යන්න සම්බන්ධයෙන් එම පක්ෂය තුළ සැක මතු වී තිබේ. තේනුක විදානගමගේ ගේ මහියංගණය, කුමාර වෙල්ගමගේ අගලවත්ත, කාන්ති කොඩිකාරගේ මහරගම යන ප‍්‍රදේශවල නාමයෝජනා ප‍්‍රතික්ෂේප වූ අතර එම පිරිස් රාජපක්ෂවරුන් සමඟ නිදහස් පක්ෂය සමඟ එක් නොවිය යුතුය යන දැඩි මතයක සිටින අය වෙති.

යළිත් වරක් වර්ධනය වෙමින් පවතින රාජපක්ෂ පවුල්වාදය හේතුවෙන් ඒකාබද්ධ විපක්ෂයේ නමින් මන්ත‍්‍රීවරුන් කිහිපදෙනෙක් ආණ්ඩුවට එකතු වීමට නියමිතය. පළාත් පාලන මැතිවරණයෙන් පසුවද ඒකාබද්ධයෙන් ජයගෙන නිදහස් පක්ෂය සමඟ එක් වී පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට සහාය පළකරන බවට ද මැතිවරණයට ඉදිරිපත්ව සිටින ඒකාබද්ධයේ විශාල පිරිසක් ජනාධිපතිවරයා හමුවී පොරොන්දු වී ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad