අතේ තිබ්බේ රු 925යි... දැන් තේ කර්මාන්ත ශාලා දෙකයි වාහන 40යි - ගල් වැඩපළයි මුද්‍රණ ආයතනයයයි - අක්කර පනහක ඉඩමයි - කඩ කාමර ගොඩයි..... කාන්තාවන් 100 දූෂණය කලා යැයි කියූ සාරුව ලියනගේ සුනිල් කියන කතාව මෙන්න - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, December 28, 2017

අතේ තිබ්බේ රු 925යි... දැන් තේ කර්මාන්ත ශාලා දෙකයි වාහන 40යි - ගල් වැඩපළයි මුද්‍රණ ආයතනයයයි - අක්කර පනහක ඉඩමයි - කඩ කාමර ගොඩයි..... කාන්තාවන් 100 දූෂණය කලා යැයි කියූ සාරුව ලියනගේ සුනිල් කියන කතාව මෙන්න

කන්‍යාවියන් සියයක් දූෂණය කර සාදයක් පැවැත්වූවා යැයි චෝදනා එල්ල වී සිටින අකුරැුස්ස ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සාරුවා සුනිල් නොහොත් සාරුවා ලියනගේ සුනිල් මේ වනවිට ක‍්‍රියාකාරී දේශපාලනයෙන් පියවරක් පිටුපසට තබමින් මීළග මැතිවරණය සඳහා සිය බිරිඳ ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇත. වසරකට ආසන්න කාලයක සභාපති ධුරයක් හොබවමින් සිට ඉහත දැක්වූ චෝදනා නිසාම තනතුරු අහිමි කරගත් සාරුවා ලියනගේ සුනිල් දේශපාලනයට පිවිසෙන්නේ ව්‍යාපාරිකයකු මෙන්ම සමාජ ක‍්‍රියාකාරිකයකු ලෙසිනි. 

කෙසේ වුව ඔහුට එල්ල වූ චෝදනා සුළු පටු නැත. ඒ නිසාම සිර ද`ඩුවම් ද විඳීමට ඔහුට සිදුවිය. තවත් චෝදනා පිළිබඳ අධිකරණයේ විභාග වෙමින් පවතී. එවන් පරිසරයක් තුළ අප ඔහුගෙන් ඍජුවම ඒ පිළිබඳ ප‍්‍රශ්න කර සිටියෙමු.

සම්පූර්ණ නම මොකක්ද ?
සාරුවා ලියනගේ සුනිල්. ඒ කියන්නෙ සැමට ලෙන්ගතු සහෘදයා කියන එක.

ඉගෙනගත්තෙ?
අකුරැස්සෙ ගොඩපිටියෙ කනිිෂ්ඨ විද්‍යාලයේ.

කොයිතරම් දුරට ඉගෙන ගත්තද?
සාමාන්‍ය පෙළ සමත්.

පාසල් කාලයෙන් පස්සේ?
අයියත් එක්ක එකතුවෙලා පොඩි බිස්නස් එකක් පටන් ගත්තා.

මොනවද කරපු බිස්නස්?
එළවළු බිස්නස් කරා. ඊට පස්සේ මට ලොතරැයියක් ඇදුණා රුපියල් දාහක. ඒකෙන් රුපියල් 925ක් අතේ තිබුණා. ඒකත් අරගෙන යුද හමුදාවට ගියා. ඒකෙ ටික කාලයක් ඉඳලා ඇබ්සන් වුණා. පස්සේ නීත්‍යානුකූලව යුද හමුදාවෙන් ඉවත් වුණා. එතකොට වැටුප රුපියල් 705යි. රයිඩර් කෙනෙක් විදිහට තමයි යුද හමුදාවේ හිටියේ. ආමි රේස් එකෙත් පළවෙනි ස්ථානය මම දිනාගත්තා. ඒකෙන් ගත්ත බයිසිකලේ අයින් වුණායින් පස්සේ රුපියල් 925කට විකිණුවා. ඒකෙන් එළවළු ව්‍යාපාරය ආපහු කරගෙන ගියා. ආදායම රුපියල් 4965ක් වෙලා තියෙද්දි භීෂණ කාලේ ලොරිය මංකොල්ල කෑවා. ලොරිය මංකොල්ල කෑවේ ගැමුණු රෙජිමේන්තුවෙන්. ඒකෙ නඩුව උසාවියේ ගියා. පස්සේ ඒක යට ගැහුවා. ආයෙත් බිංදුවට වැටුණා. රුපියල් 2000ක් ණයට හොයාගෙන ආයෙත් බිස්නස් එක කරා. ගොවියො ළගට ගිහින් එළවළු අරගෙන ව්‍යාපාර කළා. ක‍්‍රම ක‍්‍රමයෙන් ව්‍යාපාර දියුණු කළා. මම විවාහ වෙද්දි මගේ අතේ රුපියල් 45,000ක් තිබුණා. ඊට පස්සේ වගා කරන්න හිතාගෙන දැනට තේ කර්මාන්ත ශාලාව තියෙන ඉඩම මිලදී ගත්තා. එතැනින් තේ කර්මාන්ත ශාලාවක් පටන්ගන්න අදහසක් ආවා. ඒකට අත්තිවාරම් කපද්දි ගල් මතු වුණ නිසා ගල් වැඩපළක් පටන්ගත්තා. ඒකට අවශ්‍ය වාහන එක එක ගෙනාවා. දැනට පදිංචි වෙලා ඉන්න ඉඩම අරගෙන ගෙයක් හැදුවා.

දැන් ?
දැන් මට තේ කර්මාන්ත ශාලා දෙකක් තියෙනවා. බස් තියෙනවා. තව වාහන 30ක් 40ක් තියෙනවා. ගල් වැඩපළක්, මුද්‍රණ ආයතනයක් තියෙනවා. අකුරැස්සේ කඩ කීපයක් තියෙනවා. අක්කර පනස් ගාණක ඉඩමක් තියෙනවා. ඒව තමයි දැනට තියෙන ව්‍යාපාර.

දේශපාලනයට ආවේ?
මම දේශපාලනයට එන්න හිටපු කෙනෙක් නෙවෙයි. මට වුණ අසාධාරණයක් නිසයි මම දේශපාලනයට ආවේ.

මොකක්ද සිද්ධ වුණ අසාධාරණය?
අකුරැස්ස මාතර පාරේ තියෙන කඬේට හිටපු සභාපති මුනිදාස ගමගේ වතුරපාර හැරෙව්වා. ඒක මගේ පෞද්ගලික ඉඩම. සින්නක්කර ඔප්පු තියෙනවා. මම සභාපතිතුමාට පෞද්ගලිකව කිව්වා ඔය වැඬේ කරන්න එපා මේ වතුර පාර බහින්නේ තොටුපළ හරහා කිඹුල්ලූ නිසා ඒක භාවිතයට ගන්නෙ නෑ. ඒක නිසා ඒ වැඬේ කරන්න එපා කියලා. එතකොට එයා මට කුණුහරපෙන් බැණලා කිව්වා එක එක්කෙනා කියන දේවල් නෙවෙයි මට ඕන දේ මම කරන්නේ කියලා. ඒ වෙලාවේ මම හිටපු ආසන සංවිධායක එච්.ජී. සිරිසේන මහත්තයට කිව්වා සර් මෙහෙම වැඩක් වෙනවා මේක කරන්න දෙන්න එපා කියලා. ඔතන කුල ප‍්‍රශ්නයක් තිබුණා. මුනිදාස ගමගේලා හැමදාම කුලේ අවුස්සලා තමයි දේශපාලනය කරේ. මුනිදාස පිට පිට තුන් වතාවක් සභාපති. කාටවත් පරද්දන්න බැරි වුණා. ඒ පාර තමයි මම ආසන සංවිධායකතුමාට කිව්වේ ලොකු සර් මට අවස්ථාවක් දුන්නොත් මම මේ පුද්ගලයා පරද්දනවා කිව්වා. ඒ වෙද්දි ආසන සංවිධායකතුමයි, හිටපු සභාපතියි අමනාපයෙන් හිටියේ. ඒ හින්දා මට අවස්ථාව දෙන්නම් පරද්දන්න කියලා කිව්වා. ඒක ආරංචි වෙලා අවට පන්සල් 13ක නායක හාමුදුරුවරු මාව හොයාගෙන ආවා. ඇවිත් කිව්වා ඔබතුමා ඡුන්දෙට ඉල්ලන්න අපිත් උදව් කරන්නම් කියලා. ඒ වෙද්දි හාමුදුරුවන්ටත් හිටපු සභාපති එපා වෙලා තිබුණේ. සභාපතිවරයා හාමුදුරුවන්ටත් කූණුහරපෙන් බණිනවා. සභාවෙ ගණිකාවො තියාගෙන ඉන්නවා. ගෑනු හය හත්දෙනෙක් ඉන්නවා. පගාව ගන්නවා. මගෙනුත් කඬේ හදද්දි ලක්‍ෂ පහ හමාරක් අරගත්තා. හැමෝටම එයා එපා වෙලා තිබුණේ.

එහෙම ඉල්ලන්න කිව්වට ඔබට ජන පදනමක් තිබුණද?
කොහොමත් මට මෙහේ මිනිස්සු එකතුයි. අර සිදුවීමත් හිතේ තියාගෙන මම පෞද්ගලිකව පාරවල් 151ක් හැදුවා. මගේම මැෂින් දාලා. ඒකෙන් ගමට ලොකු සේවයක් කරන්න පුළුවන් වුණා. ඔය කටයුතු ඔහොම වෙද්දි හිටපු සභාපතිවරයා ජේවීපී එකේ හිටපු විපක්‍ෂ නායක ඉඳුනිල් ජයවීරව කුල පදනමෙන් දැම්මා මමත් එක්ක තරග කරන්න. ඒ පුද්ගලයා මට අභියෝග කරා. මම කිව්වා මම ඉල්ලනවා කියලා. ඔය අතරේ තමයි 2010.04.27 වෙනිදා මගේ දුරකතනයක් නැති වෙලා පොලීසි ගියේ. ඒ සිද්ධිය විභාග කරා. ඊට පස්සේ අර පුද්ගලයා පක්ෂෙ මහලේකම්ටයි, ආසන සංවිධායකතුමාටයි ලියුමක් යවල තිබුණා මම බාලවයස්කාර ළමයෙක් පැහැරගෙන යන්න හැදුවා කියලා. පස්සේ ඒක නිවැරදි කරලා මට නාමයෝජනා දෙන්න සුදුසුයි කියලා අවශ්‍ය නීතිමය කටයුතු කර ගත්තා.

ඇයි එහෙම ඔබට චෝදනා එල්ල කරන්නෙ?
ඔය චෝදනා එල්ල කරන්නේ සල්ලිවලට. නිලධාරීන් පගාව අරන් තමයි ඒව කරේ. මාව වට්ටන්න තමයි ඒ අය හැදුවේ. මොකද මාව වැට්ටුවේ නැත්නම් එයාලා දන්නවා ඡුන්දෙ පරදිනවා කියලා. ඒකයි එහෙම කරේ.

ඒ වෙද්දි ඔබ දිනන තත්ත්වයක හිටියද?
2003 ගංවතුර වෙලාවේ මිනිස්සු ගොඩක් අසරණ වුණා. කිසිම පාරකින් එන්න බෑ. මිනිස්සුන්ට කන්න දෙන්න විදිහක් නෑ. මම හාල් මිටි 420ක් කන්න දුන්නා. අන්තිමට කන්න දෙන්න දෙයක් නෑ. ඒ සිද්ධිය මතක් වෙද්දි ඇත්තටම හරිම සංවේදියි. අපි ඇත්තටම අසරණ වුණා. මිනිස්සු මගෙන් කන්න ඉල්ලනවා. මට කන්න දෙන්න විදිහක් නෑ. පොලිස් ස්ථානාධිපති මහේෂ් කුමාරසිංහ මගෙන් ඇහුවා සුනිල් අපි මොකද කරන්නෙ කියලා. මම කිව්වා අපි ගාලූපාරේ එනවුස් එකක් යමු. මම මොනව හරි එකතු කරන් එන්නම් කියලා ගියා. මගේ කැබ් එකෙන් ගිහින් ඉමදුවට යද්දි කෑම ලොරි දෙකක් එකතු වුණා. ඒක ලොකු ජවයක් වුණා. ඒ ටික ගෙනත් මිනිස්සුන්ට කන්න දුන්නේ. මිනිස්සු ඒක දන්නවා. එතකොට මම ඡුන්දයක් ඉල්ලන්න හිතලවත් තිබුණෙ නෑ. සුනාමිය වෙලාවෙ මිනිස්සු 68ක් බේරගත්තා. අදටත් මිනිස්සු ඒකට සලකනවා. ඒක හින්දා මට ඡන්දෙ ගැන ප‍්‍රශ්නයක් තිබුණෙ නෑ.

ඡන්දෙ වෙලාවේ?
නාමයෝජනා දුන්නායින් පස්සේ හැම අපේක්‍ෂකයකුගෙ ගෙදරම රැුස්වීමක් කරන්න කියලා කිව්වා. අපේ ගෙදර රැස්වීමට 2000කට වැඩිය හිටියා. ඒ රැස්වීමෙදි ඇහුණ කතාවක් තමයි ඡන්දෙන් කවුරු වැඩි මනාප ගත්තත් හිටපු සභාපතිතුමාටම තමයි සභාපතිකම දෙන්නේ කියලා. ඩලස් අලහප්පෙරුම ඇමතිතුමා, ලක්‍ෂ්මන් යාපා ඇමතිතුමා ඒ කතාව කිව්වා. මම ඩලස් ඇමතිතුමාට කිව්වා ඒ ප‍්‍රකාශය නිවැරදි කරන්න කියලා. ඔබතුමා ගැන ජනතාවට විශ්වාසයක් නෑ. ඒ නිසා ජනතාව ඉදිරියේ ප‍්‍රකාශය නිවැරදි කරන්න කිව්වා. ඒක කිව්වා කියලා තමයි එතුමා මගෙත් එක්ක සටන් කරන්නේ. එයාට ඕනේ වුණේ මුනිදාසට තැන අරන් දෙන්න. ඒත් ඒක කරන්න බැරි වුණා. ඡන්දෙන් මම 15,661ක් මනාප ගත්තා. දෙවැනියා 6200 ගාණයි. මුළු ඡුන්ද 19,000 ගාණක් තිබුණේ. ඒකෙන් පස්සේ තමයි මම සභාපති විදිහට පත් වුණේ.

කොච්චර කාලයක් සභාපති විදිහට හිටියද?
අවුරුද්දක් හිටියා.

අයින් වුණේ?
මට ආපු චෝදනාත් එක්ක. 2012.06.14 අපි හිටියේ රත්නපුර කහංගම කියන මගේ මිතුරෙකුගේ ගෙදර. ඒ ගමේ මිත‍්‍රයට මුනිදාස කියන හිටපු සභාපතිවරයා කෝල් කරලා කියල තියෙනවා ඔය සභාපති කියන කෙනා ගෙදර නවත්වා ගත්තට වැඩක් නෑ. තව සති දෙකයි එයා ඉන්නේ. ඊට පස්සේ මම තමයි සභාපති. පුද සත්කාර කරන්න ඕනේ නෑ. ගෙදර ගෑනු ළමයි ඉන්නවනම් පරිස්සම් කරගන්න කියලා. මම ඒ සිද්ධිය දන්නෙ නෑ. එයාලා අදටත් මෙහේ යනවා එනවා. කිසි ප‍්‍රශ්නයක් නෑ.


ඊට පස්සේ?
07වෙනි මාසෙ 3 වෙනිදා හරියටම ඇසළ පෝය දවසෙ ? ඉන්දු කියන පුද්ගලයා මට කෝල් කරල කිව්වා ඔන්න ඔයා හොයන්න පොලීසියෙන් එනවා මාරුවෙන්න කියලා. මම ඇහුවා මොකටද මම මාරුවෙන්නේ මම වරදක් කරල තියෙයි ද කියලා. ඔයා කොහෙද ඉන්නේ අහපුවාම එයා කිව්වා අනුරාධපුරේ කියලා. එයා දන්නවා මම ගෙනියන්න ඉන්න බව. මේක සැලසුම් සහගතව කරපු දෙයක්. එතකොට තමයි මම දන්නේ ළමා අපචාර කේස් එකක් දාලා කියලා. එදාට කලින් දවසේ තමයි ඒ නඩුවට අදාළ ළමයා අරන් ගිහින් රිමාන්ඞ් කරල තියෙන්නේ.

ඇයි ඒ වගේ ප‍්‍රශ්නයකට ඔබව සම්බන්ධ කරන්න හැදුවේ?
ඒක මම දන්නේ නෑ. ඔය සිදුවීම ඊට මාස එක හමාරකට විතර කලින් වෙච්ච එකක්. මම ඒ ගෙදරත් එක්ක සම්බන්ධයි කියලා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත‍්‍රී සමන් කුමාරගේ බාප්පා කියලා තියෙනවා. ඒ පුද්ගලයා අකුරැුස්සේ පොලීසියේ කූඩුවෙදි කියපු කතාවකට තමයි මිනිස්සු පෙත්සමක් හැදුවේ. ඒක මාතර පොලීසියේ ඉහළ නිලධාරියෙකුගේ මේසේ උඩ තියාගෙන මාධ්‍යවේදියෙකුගේ අත් අකුරින් ලියපු එකක්. ඒකට මුදල් විශාල ප‍්‍රමාණයක් අරන් තියෙනවා. ඒකට තවත් පොලිස් කාන්තාවකුත් සම්බන්ධයි කියලා මට සාක්‍ෂි ලැබිලා තියෙනවා. ඒ ළමයා විතරක් නෙවෙයි. මම ඡුන්ද රැුස්වීම් තියපු ගෙවල් 18ම ළමයි මේ වගේ සිද්ධිවලට පටලන්න හැදුවා. පස්සේ තමයි ඔය ප‍්‍රශ්න 3ක් විතරක් දැම්මේ.

දැන් ඒ ළමයි කොහෙද?
පළවෙනි ළමයා දැන් හෝටල්වල පිගන් හෝදනවා. හොඳට ඉගෙනගත්ත ළමයෙක්. දෙවෙනි එක්කෙනා ආගිය අතක් නෑ. තුන්වෙනි ළමයත් හොඳට ඉගෙනගත්ත කෙනෙක්. දැන් කම්කරුවෙක් විදිහට වැඩ කරනවා. ඒ අයගේ ජීවිත එහෙමම විනාශ වෙලා. මට උදව් කරන්න විදිහකුත් නෑ. මගෙ ළමයිනුත් මානසික කම්පනයට ලක්වෙලා ඉන්නේ. පළවෙනි එක්කෙනා ඉස්කෝලෙ යන එක නතර කරා. එයාට ඉස්කෝලෙන් එක එක දේවල් කියනවා කියලා. දෙවෙනි එක්කෙනා කෝච්චියට පනින්න පවා ගිහින් තිබුණා. මගේ දුව හැමදාම ප‍්‍රශ්න පත්තරේට 100ක් ගත්ත කෙනා ශිෂ්‍යත්ව විභාගෙන් ලකුණු 145ට බැස්සා. අඩුම ගාණේ ශිෂ්‍යත්වෙට එක්කන් යන්නවත් මම හිටියෙ නෑ.

ඒ මානසික තත්ත්වය ඔබට කොහොමද බලපෑවේ?
මට ලොකුම දුක තමයි දුව විභාගයෙන් ෆේල් වුණ එක. ළමයින්ගේ අනාගතේ මේ තිරිසන්නු නැති කළා.

බිරිඳගෙන් මොන වගේ ප‍්‍රතිචාරයක්ද තිබුණේ?
එයාගෙන් ඒ ගැන ලොකු ප‍්‍රශ්නයක් තිබුණෙ නෑ. නමුත් එයා ලොකු පීඩනේක ඉන්නවා කියලා මට දැනුණා.

ඔබට ඡන්දය දුන්න මිනිස්සු?
මිනිස්සු එදා වගේම අදටත් මගෙත් එක්ක ඉන්නවා. මාව මගේ විරුද්ධවාදීන් හඳුන්වලා තිබුණෙ දුෂිතයෙක් හැටියට. එතකොට අකුරැස්සෙ මිනිස්සු දුෂිතයෙක් නිදහස් කරන්න කියලා පෙළපාලි ගියා. මිනිස්සු 5000කට වැඩිය හිටියා එතැන. මම බන්ධනාගාරෙ ඉද්දි දවසකට සිය ගාණක් මාව බලන්න ආවා. මිනිස්සු 25,000ක් විතර මාව බලන්න ආවා හිටපු ටිකට.

එතකොට කොහෙද හිටියේ ?
මම එතකොට බන්ධනාගාරගත වෙලා හිටියේ. දවස් 72ක් ඇතුළේ හිටියා. මුලින් දවස් 14ක් දාලා පස්සේ නිර්නාමික තර්ජන කළා කියලා තවත් 14ක් දීර්ඝ කරා. අංක තහඩු නොමැති මෝටර් සයිකලේකින් ආවා කියලා දින 14ක් දැම්මා. අංක තහඩු නොමැති වාහනේකින් ඇවිත් තර්ජනය කළා කියලා තවත් දින 14 දැම්මා රක්‍ෂිත දීර්ඝයක් විදියට. දෙවැනි නඩුවක් ගොනු කරපු ගෙදරට තර්ජනය කළා කියලා දින 14ක් දැම්මා. වීඩියෝ සාක්‍ෂි කියලා 14ක් දැම්මා.

මේ දේවල් නිකන් වෙන්න විදිහක් නෑනේ?
මේ පිටිපස්සේ දේශපාලන හස්තයක් තිබුණා කියලා මම හොඳටම දන්නවා. අධිකරණෙ ඇතුළෙ ඉඳලත් මගේ නඩුව දවසේ දිස්ත‍්‍රික් නායකතුමා එළියට බහිනවා මගේ හිතවතෙක් දැකලා තියෙනවා. 

ඒවට දිස්ත‍්‍රික් නායකයා මැදිහත් වෙනවා කියලා පක්ෂෙ අනිත් නායකයො දන්නේ නැද්ද?
නෑ. එයා භාණ්ඩාගාරිකනේ පක්ෂේ.

ඔබ මහින්ද රාජපක්‍ෂ මහත්තයාට සහාය පළ කරන්නේ කොයි කාලේද?
මහින්ද මහත්තයා කම්කරු ඇමති ඉන්න කාලේ ඉඳලම මම අඳුරනවා. මංගල සමරවීර මහත්තයටත් මම ගොඩක් උදව් කරලා තියෙනවා. මහින්ද මහත්තයගේ පළවෙනි ඡන්දෙට පෝස්ටර්වලට විසි හය ලක්‍ෂ හැත්තෑ පන්දාහක් වියදම් කළා. දෙවෙනි එකේදි දහ අට ලක්‍ෂයක් වියදම් කරා. ලක්‍ෂ 5ක් අතට දුන්නා. තුන් වෙනි එකේදි කැලැන්ඩර් 36,000ක් ගහන්න ලක්‍ෂ 36කට වඩා වියදම් වුණා. ඩිජිටල් ප‍්‍රින්ටින් හත්ලක්‍ෂ එකොළොස් දාහක් ගැහුවා.

එහෙනම් ඔබට හොඳට සලකන්නත් ඇති ?
සලකපු සැලකිල්ල තමයි මහින්ද මහත්තයා අද මේ තත්ත්වයට පත් වුණේ. ශත පනහකට සලකන්න බැරි නායකයෙක්. මහින්ද මහත්තයාගෙන් මට ශත පනහක උදව්වක් ලැබුණේ නෑ.

ඔබ සඳහන් කළානේ චෝදනා 2යි තියෙන්නේ කියලා. ඒ වුණත් අපි දන්නේ 100ක් දූෂණය කළා කියලනේ?
මම හෝටලේක රැස්වීමක් කරා. ඒකට මගේ බිරිඳත් ඇවිත් හිටියා. දේශපාලනයට සම්බන්ධ අය ගොඩක් හිටියා. එ්ක සම්බන්ධ කරලා තමයි ඔය චෝදනාව දාලා තියෙන්නේ. මම දන්නෙ නෑ ඇයි එහෙම චෝදනාවක් කරේ කියලා. මම ඡන්දෙ ඉල්ලනවා කියලා කරපු රැස්වීම ඒක. 2011 තමයි ඒක කරේ. 2012 මම බන්ධනාගාරගත කරලා අර ඡුන්ද රැස්වීම කරපු එකට මම කන්‍යාවියෝ දුෂණය කළා කියලා කතාවක් හැදුවා.

සභාපති විදිහට ඉද්දි මොනවද කළේ?
අද බලන්න අකුරැස්ස ටවුම. මම සභාපති ඉද්දි ටවුන් එකේ කුණු නෑ. ඔක්කොම මගේ පෞද්ගලික ඉඩමකට ගිහින් දැම්මා. සභාවේ කම්කරුවො යොදවලා ප‍්‍රදේශයේ පාරවල් සුද්ධ කරලා. වීථි ලාම්පු අවශ්‍ය තැන බලන්නට ගිහින් සලකුණු කරලා එනවා. දවල්ට ගිහින් දානවා. පඹවැල්ලේ ලොකු පාලමක් හැදුවා. නගර සැලැස්මක් නිර්මාණය කළා.

මෙවර ප‍්‍රාදේශීය සභා ඡන්දෙට ඔබ ඉදිරිපත් නොවී බිරිඳ ඉදිරිපත් කරන්නෙ ඇයි?
ඒක දිස්ත‍්‍රික් නායකතුමාගේ තීරණයක්. මම ඉදිරිපත් වුණොත් විරුද්ධවාදීන් අර චෝදනා ආයෙ එල්ල කරයි කියලා තමයි බිරිඳව ඉදිරිපත් කරන්න කිව්වේ.


ජාතික දේශපාලනය ගැන බලාපොරොත්තුවක් තියෙනවද?
ඔව්. අකුරැුස්සට අවුරුදු ගාණක් තිස්සේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක් නෑ. මම හිතනවා ඒ අවස්ථාව සම්පූර්ණ කරන්න මට පුළුවන් වෙයි කියලා. ඒ වෙනුවෙන් ජනතාවගේ ආශිර්වාදය මට තියෙනවා.

ඡන්ද වෙනුවෙන් කොයි තරම් මුදලක් වියදම් කරලා තියෙනවද?
ඡන්දවලටයි, නඩුවලටයි දෙකටම ලක්‍ෂ 800කට වැඩිය වියදම් කරලා තියෙනවා. නඩුවලට ලක්‍ෂ 140කට වැඩි ප‍්‍රමාණයක් ගිහින් තියෙනවා.

hari gossip.com

No comments:

Post a Comment

Post Bottom Ad