මන්ත්‍රීන්ගේ බැදුම්කර ඇමතුම් පරීක්‌ෂා කළ සීඅයිඩී නිලධාරියා ගැන පොලිස් පරීක්‍ෂණ ඇරඹේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, November 24, 2017

මන්ත්‍රීන්ගේ බැදුම්කර ඇමතුම් පරීක්‌ෂා කළ සීඅයිඩී නිලධාරියා ගැන පොලිස් පරීක්‍ෂණ ඇරඹේ

බැඳුම්කර කොමිසමේදී මන්ත්‍රීවරුන්ගේ රහසිගත දුරකථන සංවාද පිළිබඳව පරීක්‌ෂණ පැවැත් වූ අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියාට එරෙහිව පොලිස්‌පති නියමයෙන් පුළුල් විමර්ශනයක්‌ ආරම්භ කර ඇත.

බැඳුම්කර සිද්ධියට අදාළව අර්ජුන් ඇලෝසියස්‌ මහතා සමඟ දුරකථන සංවාද පැවැත් වූ බව කියන මන්ත්‍රීවරුන් පිරිසක්‌ පොලිස්‌පතිවරයාගෙන් කළ ඉල්ලීමකට අනුව මෙම විමර්ශන නිලධාරියාට එරෙහිව පරීක්‌ෂණයක්‌ ක්‍රියාත්මක කර ඇති බව පොලිස්‌ මූලස්‌ථාන ආරංචිමාර්ග පැවසීය.

තම රහසිගත දුරකථන සංවාදවලට මෙම නිලධාරියා හොරෙන් සවන්දුන බවට චෝදනා කරමින් බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් නම් සඳහන් වන මන්ත්‍රීවරුන් පිරිසක්‌ විසින් පැමිණිලි කර ඇත. අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරියාට එරෙහිව වෙනම පරීක්‌ෂණයක්‌ ආරම්භ කර ඇත්තේ ඒ අනුවය. මෙම විමර්ශනයද අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුවේම නිලධාරීන් පිරිසක්‌ විසින් ක්‍රියාත්මක කරනු ඇත.

පොලිස්‌ මූලස්‌ථාන ආරංචි මාර්ග පවසන්නේ මෙම රහසිගත දුරකථන සංවාද පිළිබඳව විමර්ශන කිරීම බැඳුම්කර කොමිසමේ නියෝග මත සිදු කර ඇති බවයි. මෙම රහසිගත දුරකථන සංවාද පිළිබඳව සෙවීමට අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත සහාය වන ලෙස අදාළ දුරකථන සමාගම් වෙත දැනුම් දී තිබුණේද බැඳුම්කර කොමිසමෙන් බව පොලිස්‌ මූලස්‌ථානය කියා සිටියි.

එසේ තිබියදී මෙම රහසිගත දුරකථන සංවාද පිළිබඳව විමර්ශන කළ නිලධාරියාට එරෙහිව පරීක්‌ෂණයක්‌ පැවැත්වීම ඉතාම අසාධාරණ ක්‍රියාවක්‌ බවද පොලිස්‌ මූලස්‌ථාන ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

– divaina

No comments:

Post a Comment

Post Bottom Ad