මැතිව්ස් ගේ ආගමනය සිංහ පිළ සවිමත් කරයි..තිරිමාන්න සමග එක්ව සුපිරි ඉනිමක් දියත් කරයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, November 18, 2017

මැතිව්ස් ගේ ආගමනය සිංහ පිළ සවිමත් කරයි..තිරිමාන්න සමග එක්ව සුපිරි ඉනිමක් දියත් කරයි..

හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් හා ළහිරු තිරිමාන්නගේ විශිෂ්ට පිතිහරඹය හේතුවෙන් සවිමත් වු  ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාවට එරෙහිව කොල්කටාවේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය වන අද (18 වැනිදා) සවස පැවැති අයපහත් අලෝක තත්වය නිසා තරගය නතර කරන විට සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 165 ක් ලබා සිටියේය.

ඉන්දීය පිල පළමු ඉනිමේදී ලකුණු 172 කට දැවී ගිය අතර ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට කඩුලු 6 ක් අතැතිව ඉන්දියාවට ලකුණු 7 ක් පිටුපසින් සිටී. ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවැනි කඩුල්ල ලකුණු 34 දී දැවී ගිය නමුත් ළහිරු තිරිමාන්න සමග එක්වූ හිටපු නායකයා තුන්වැනි කඩුල්ල වැටීම වළක්වාගත්තේ සාර්ථක සම්බන්ධතාවක් ගොඩනඟමිනි. එහෙත් අර්ධ ශතකය ලබාගැනීමෙන් පසුව ස්ලිප් හි සිටි විරාට් කෝලි අතට උඩපන්දුවක් දුන් ළහිරු තිරිමාන්න දැවී යාමත් සමගින් මැතිව්ස් සමග පැවැති සම්බන්ධතාව ලකුණු 99 දී හමාර විය. 

පන්දු 94 කට මුහුණ දී සිටි තිරිමාන්න දැවී යන විට ඔහුගේ ඉනිම හතරේ පහර 8 කින් සමන්විත විය. ලකුණු 27 දී දුන් උඩපන්දුව ස්ලිප්හි සිටි ෂිකාර් ධවාන් අතින් ගිළිහී යාමෙන් තිරිමාන්න ප්‍රයෝජන ගත් නමුත් එය දීරඝ ඉනිමක් කරා ගෙන යාමට ඔහු අසමත් වූයේය. තිරිමාන්න දැවී යාමෙන් ඕවර 2.3 කට පසුව ඇන්ජලෝ මැතිව්ස් දැවී ගියේ එතෙක් වේලා රඳවාගෙන තිබූ තරගයේ වාසිය ඉන්දියානුවන් අත පත්කරමිනි. පාදයේ ආබාධයක් නිසා පාකිස්තානයට එරෙහිව පැවැති තරගාවලිය අහිමි කරගත් මැතිව්ස් සිය පුනරාගමනයේ පළමු ඉනිමේදීම අගනා ලකුණු 52 ක් ලබාගත් නමුත් කණ්ඩායමට ඔහුගේ සේවය අත්‍යවශ්‍ය මොහොතේදී දැවී ගියේය.

එතැන් සිට එක්වූ දිනේෂ් චන්දිමාල් සහ නිරෝෂන් දික්වැල්ල මුලු ලකුණු සංඛ්‍යාව 165 දක්වා ඉහළ නැංවූහ.මේ වන විට නායක චන්දිමාල් නොදැවී ලකුණු 13ක් ද නිරෝෂන් දික්වැල්ල නොදැවී ලකුණු 14ක් ද ලබා පිටියේ රැදී සිටියි. ආරම්භක පිතිකරු කෞෂාල් සිල්වා වෙනුවට කණ්ඩායමට කැදවූ සදීර සමරවික‍්‍රම ආරම්භයේ සිටම ඉන්දීය පන්දුයවන්නන්ට එළවා එළවා පහරදුන් නමුත් වැඩි වෙලාවක් පිටියේ රැදී සිටීමට නොහැකිවිය.බුවනේෂ්වර් කුමාර් එවු පන්දුවකට කඩුලු රකින ක‍්‍රීඩක රිද්දිමාන් සාහා අතර උඩපන්දුවක් ලබාදෙමින් දැවී යනවිට හතරේ පහර 03ක් සමගින් ලකුණු 23ක් ලබා සිටියහ

පාකිස්තානු පිලට එරෙහි තරගාවලියේදී ශ්‍රී ලංකාවේ සාර්ථකම පිතිකරුවා වූ දිමුත් කරුණාරත්නට ලබාගත හැකිවූයේ ලකුණු 8 ක් පමණි. ලකුණු 7 ක් ලබා සිටියදී කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවීගිය ක්‍රීඩකයකු බවට නම්කළ නමුත් විනිසුරු තීරණ විමසීමේ පිහිටෙන් සිය කඩුල්ල බේරාගත් දිමුත් කරුණාරත්නට එතැන් සිට ලබාගත හැකිවූයේ තවත් එකම ලකුණක් පමණි.

No comments:

Post a Comment

Post Bottom Ad