වර්ජනය නිසා ඖෂධ නැතිව රෝගීන්ට අපහසුතා -ඔසුසල්වලින් නොමිලේ ඖෂධ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, November 23, 2017

වර්ජනය නිසා ඖෂධ නැතිව රෝගීන්ට අපහසුතා -ඔසුසල්වලින් නොමිලේ ඖෂධ


රජයේ ඖෂධවේදීන්ගේ සංගමය ක්‍රියාත්මක කර තිබෙන වැඩවර්ජනය හේතුවෙන් රට පුරා පිහිටි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සියලුම ඔසුසල්වලින් රෝගීන්ට නොමිලේ ඖෂධ නිකුත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත. රජයේ ඖෂධවේදීන්ගේ
සංගමය ඇතුළු හෙද, පරිපූරක, අතුරු වෛද්‍ය සේවාවන්ට අදාළ වෘත්තීය සමිති 18 ක එකතුවෙන් රට පුරා රජයේ රෝහල් හා සෞඛ්‍ය ආයතනවල ඊයේ (22) දීප ව්‍යාප්තව වැඩ වර්ජනයක් සිදු කෙළේය. 

වැඩ වර්ජනය හේතුවෙන් රෝගී ජනතාවට සිදු වන අපහසුතාවය මඟහැරවීම සඳහා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සියලුම ඔසුසවලින් නොමිලේ ඖෂධ නිකුත් කිරීමට කටයුතු යොදා තිබිණි.

රජයේ රෝහල්වලින් බාහිර හෝ අභ්‍යන්තර ප්‍රතිකාර ලබා ගත් රෝගීන්ට වෛද්‍යවරයා නිකුත් කළ ඖෂධ වට්ටෝරුව ඔසුසල්වලට ඉදිරිපත් කිරීමෙන් මෙලෙස නොමිලේ ඖෂධ ලබා ගැනීමට හැකියාව ඇති බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති නීතිඥ සරත් ලියනගේ මහතා පැවැසුවේය. රජයේ ඔසුසල් මඟින් නොමිලේ ඖෂධ නිකුත් කිරීම හේතුවෙන් ඔසුසල්වලට දරා ගත නොහැකි රෝගීන් සංඛ්‍යාවක් පැමිණිය හැකි බවත් නමුත් රෝගීන්ට අවශ්‍ය කරන සියලු ඖෂධ හැකිතරම් ලබාදීමට පියවර ගන්නා බවත් ඒ මහතා අවධාරණය කෙළේය.

සන්ධ්‍යා කරුණාරත්න

No comments:

Post a Comment

Post Bottom Ad