මෙවර අයවැය මෑත ඉතිහාසයේ ඉදිරිපත් කළ ප්‍රගතිශීලිම අයවැය බව ඇමැති සාගල පවසයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, October 19, 2017

මෙවර අයවැය මෑත ඉතිහාසයේ ඉදිරිපත් කළ ප්‍රගතිශීලිම අයවැය බව ඇමැති සාගල පවසයි

මෙවර අයවැය මෑත ඉතිහාසයේ ඉදිරිපත් කළ ප්‍රගතිශීලිම අයවැය බව ඇමැති සාගල පවසයි
මෙවර අයවැය මෑත ඉතිහාසයේ ඉදිරිපත් කළ ප්‍රගතිශීලිම අයවැය බව නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක මහතා ප්‍රකාශ කළේය. නීතිය හා සාමය ශක්තිමත් ලෙස ස්ථාපිත කිරීමෙන් මෙය සිදු කළ හැකි බවත් මේ ක්‍රියාවලිය ආරම්භ කළ යුත්තේ පාතාල සාමාජිකයන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහමුලින්ම මර්දනය කිරීමෙන් බවත් ඒ මහතා සඳහන් කළේය.

රූමත් කාන්තාවකට ස්වර්ණාභරණ පැළඳ දකුණේ සිට උතුරට නිරුපද්‍රිතව ගමන් කළ හැකි රටක් නැවත උදා කරන බවත් ඒ මහතා පැවසීය. ඔහු මේ බව පැවසුවේ පසුගියදා කොළඹ රමාඩා හෝටලයේ පැවති වාණිජ සමුළුවක් අමතමිනි. ශ්‍රී ලංකා පොලීසිය මේ වන විට නවීන තාක්ෂණය හරහා  අපරාධකරුවන් මැඩලීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව කී අමාත්‍යවරයා මහා පරිමාණ අපරාධකරුවන් මෙන්ම, සුළු අපරාධකරුවන්ද, සුදු කරපටි අපරාධකරුවන්ද එක විට මර්දනය කරන ක්‍රමවේදයක් දියත් කරන බව අවධාරණය කළේය.

එයට අමතරව අන්තර්ජාලය හරහා සිදුවන සයිබර් අපරාධ මැඩලීමට හැකිවන පරිදි පොලිස් සේවයට නව හැකියාවන් එකතු කිරීමටද, පොලිස් නිලධාරීන් දිරි ගැන්වීමටද අවශ්‍ය පියවර ගන්නා බව අමාත්‍යවරයා සඳහන් කළේය. මෙවර අයවැය මෑත ඉතිහාසයේ ඉදිරිපත් කළ ප්‍රගතිශීලිම අයවැය වන බව පැවසූ අමාත්‍යවරයා දැවැන්ත සංවර්ධන ක්‍රියාවලීන් මේ වන විටත් රජය ආරම්භ කර ඇති බවද ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය හරහා රුපියල් බිලියන 7ක් 2020 වර්ෂය වන විට උපයා ගැනීමට ඉලක්ක කොට ඇති බවත් කොළඹ වරාය නගරයේ ප්‍රථම ආයෝජනය ලබන මස මැද වන විට සිදු කිරීමට නියමිත බවත් ඇමතිවරයා අනාවරණය කළේය. ඇමෙරිකානු ඩොලර් බිලියනය ඉක්මවන ආයෝජන ඉදිරියේදී මෙරටට ලැබීමට නියමිත බවත්, ඒ හරහා රටේ ශීඝ්‍ර සංවර්ධනයක් ඇති කොට මෙරට දැනට සිරවී සිටින අරමුදලෙන් බේරා ගැනීමට රජය ක්‍රියා කරනු ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad