බැදුම්කර මාමා ඉවසුවා ඉවරයි.. සියල්ල වමාරයි.. අගමැති රනිල් කැදවා ප‍්‍රශ්න කරන්නැයි කොමිසමෙන් ඉල්ලයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, October 11, 2017

බැදුම්කර මාමා ඉවසුවා ඉවරයි.. සියල්ල වමාරයි.. අගමැති රනිල් කැදවා ප‍්‍රශ්න කරන්නැයි කොමිසමෙන් ඉල්ලයි..

තමා මහ බැංකුව භාර ගත්තේත්, මහ බැංකුව බැඳුම්කර වෙන්දේසි ආරම්භ කළේත්, අර්ථසාධක අරමුදල හා අනෙකුත් කරුණු සම්බන්ධයෙන් විවිධ තීරණ ගත්තේත් මහ බැංකුව භාර වූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියමයන්ට අනුව බවත්, එබැවින් ඒ සම්බන්ධයෙන් ඔහු කැඳවා ඔහුගෙන්ම විමසිය යුතු බවත් ඊයේ (10දා) බැඳුම්කර විමර්ශන ජනාධිපති කොමිසම හමුවේදී හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් කියා සිටියේය.

ඔහු එසේ ප්‍රකාශ කර සිටියේ ජේ‍යෂ්ඨතම අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා විසින් දිගින් දිගටම ඔහුගෙන් නඟන ලද හරස් ප්‍රශ්න හමුවේ ඊට ප්‍රතිචාර දක්වමිනි. එක් වරක් නොව තුන් හතර වරක්ම ඔහු කියා සිටියේ තමාගෙන් එම කරුණු විමසා පලක් නොවන බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන්ම විමසා ඒවා නිශ්චය කර ගත හැකි බවත්ය.

තමා අධිපති පදවියට පත්වීමට පෙර මහ බැංකුව ක්‍රියාත්මක කොට ඇති සෘජු ස්ථානගත ක්‍රමය වහාම අත්හිටුවා බැඳුම්කර වෙන්දේසි ක්‍රමය තමා විසින් ආරම්භ කරන ලද්දේ තම බෑනා වන අර්ජුන ඇලෝසියස්ගෙ සමාගමට අසීමිත ලාබ ලබාගැනීම සඳහා යැයි තමාට යෝජනා කරන්නේ යැයි දප්පුල ද ලිවේරා මහතා සාක්ෂිකාර මහේන්ද්‍රන්ට යෝජනා කළ අවස්ථාවේදී එය ප්‍රතික්ෂේප කරමින් ඔහු කියා සිටියේ එය අගමැතිවරයාගේ නියමය අනුව සිදුකරන ලද බවය.

ප්‍රාථමික ගැනුම්කරුවකු ලෙස වෙන්දේසිවලට ඉදිරිපත් වීමට සේවක අර්ථසාධක අරමුදල ට තිබූ අවස්ථාව අහිමි කරන ලද්දේද තම බෑනා වන ඇලෝසියස්ගේ සමාගමට අසීමිත ලාභ ලබාගැනීමට ඉඩ සැලසීම සඳහාම නොවේදැයි නැඟූ ප්‍රශ්නයට දුන් පිළිතුර වූයේද එයද අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීමක් මතම සිදුකරන ලද බවය.

ජාතික සේවක සංගම් වෘත්තීය සමිති ක්‍රියාකාරියකු වන සමන් කුමාර නමැත්තාට අදාළ කිසිදු සුදුසුකමක් හෝ පළපුරුද්දක් නොමැතිවත් ඔහුව සේවක අර්ථ සාධක අරමුදලේ භාණ්ඩාගාර කටයුතු භාර ප්‍රධානියා ලෙස ක්‍රියා කරන්නට බලය දුන්නේත් ඔහු එම තනතුරට පත්කළේත් තමා විසින්ම නොවේ දැයි අසන ලද ප්‍රශ්නයේදීද ඔහු කියා සිටියේ ප්‍රබල එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරිකයකු ලෙස අගමැතිතුමාත්, මුදල් ඇමැතිතුමාත්, කබීර් හෂීම් හා මලික් සමරවික්‍රම යන ඇමැතිවරුනුත් සමඟ තිබූ කිට්ටු සම්බන්ධතාව නිසා ඔහුට එම අවස්ථාව ලබාදීමට සිදුවූ බවය.

ඔබ කටයුතු කළේ මහ බැංකු අධිපතිවරයා ලෙස ඔබගේ අභිමානයට හෝ ඔබගේ බලාධිකාරියට අනුව හෝ මහ බැංකුවේ සංස්ථාපිත නීති රීතිවලට අනුව හෝ නොව අගමැතිවරයාගේ මග පෙන්වීම හා නියමයන්ට අනුව යැයි කියා ඔබ පවසන්නේ දැයි අසන ලද ප්‍රශ්නයට ඔහුගේ පිළිතුර වූයේද මහ බැංකුව භාරව ඇත්තේ අගමැතිවරයාට බවය.

2016 මාර්තු මස 28 වැනි දින රවි කරුණානායක ඇමැතිවරයා විසින් කැඳවන ලද මුදල් අමාත්‍යාංශයේ පැවැති රැස්වීමකදී රාජ්‍ය බැංකු තුනෙහිම සභාපතිවරුන් අමතා ඊට පසු දින එනම් 29 වැනි දින පැවැත්වෙන වෙන්දේසියේදී පහළ මිල ගණන් ඉදිරිපත් කරන ලෙස දන්වමින් එකී අනුපාතයන්ද ඔවුන්ට ලබාදී ඇති බව දන්නෙහිදැයි අසන ලද ප්‍රශ්නයට ඔහුගේ පිළිතුර වූයේ එවැන්නක් ගැන තමා දැන නොසිටි බවය.

ඉකුත් දිනයක මෙම කොමිසම හමුවේ එම කරුණු දිවුරුම් සහිතව එකී රාජ්‍ය බැංකු ප්‍රධානීන් හා උප ප්‍රධානීන් විසින්ද තහවුරු කළ බවටත් ඔබ නොදන්නෙහිදැයි ප්‍රශ්න කළ විට ඔහු කියා සිටියේ මාධ්‍ය ඔස්සේ විශේෂයෙන්ම පුවත්පත් හරහා ඒ බැව් දැනගත් බවය.

– mawbima

No comments:

Post a Comment

Post Bottom Ad