අංගොඩ ලොක්කා හිරෙන් පනී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, September 12, 2017

අංගොඩ ලොක්කා හිරෙන් පනී

කළුතරදී බන්ධනාගාර බස් රථයකට ප්‍රහාරයට එල්ල කොට සමයං නමැති පාතාල කල්ලි නායකයා ඇතුළු හත්දෙනෙකු ඝාතනය කර ඉන්දියාවට පැනගොස් සිටියදී ඉන්දියානු ආරක්ෂක අංශයේ අත්අඩංගුවට ගත් “අංගොඩ ලොක්කා” සහ ඔහුගේ ගෝලයකු වන “ලඩියා” ඉන්දියාවෙන්ද මේ වන විට පැන ගොස් ඇති බවට දැඩි සැකයක් ඇති වී තිබේ.

ඉන්දියාවේ චෙන්නායිහි පිහිටි විශේෂ රැඳවුම් මධ්‍යස්ථානයක රඳවා සිටි ඔවුන් දෙදෙනාට ඇප ලැබීමෙන් පසු ඔවුන් චෙන්නායි නුවර නිදහසේ කාලය ගතකර ඇති බව සඳහන්ය. ඔවුන් දෙදෙනා ජංගම දුරකතන කිහිපයක් ඔස්සේ මෙරට සිටින සිය සගයන්ටත්, හිතවතුන්ටත් කතාබහ කර ඇතත්, එම දුරකතන සියල්ල සතියක් තිස්සේ පවතින්නේ අක්‍රිය තත්ත්වයකිනි.

චෙන්නායි පිහිටි ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලයට අනුයුක්තව සේවයේ නිරත මෙරට ආරක්ෂක අංශ නිලධාරියා ඒ පිළිබඳව සොයා බැලීමක් කරමින් ඉන්දියානු බලධාරින්ගෙන්ද විමසීමක් කර ඇතත්, “අංගොඩ ලොක්කා” සහ ලඩියා උන්හිටිතැන්වලින් අතුරුදන්ව ඇති බව ඉන්දියානු බලධාරීන්ටද පෙනී ගොස් ඇතැයි ආරංචි මාර්ග අනාවරණය කළේය.

අංගොඩ ලොක්කා සහ ලඩියාමෙරටට ගෙන්වා ගැනීමට හැකි ලෙස රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීම් සිදු නොවීම මෙවැනි තත්ත්වයක් ඇති වීමට මුල් වී ඇතැයි උසස් පොලීස් නිලධාරියෙක් සඳහන් කළේය. කළුතර ප්‍රහාරය සිදුවී මාස හයකට වැඩි කාලයක් ගතවී ඇතත්, එහි මහ මොළකරුවන් ලෙස සැලකෙන අංගොඩ ලොක්කා සහ මාකඳුරේ මධුෂ් යන දෙදෙනාට එරෙහිව ජාත්‍යන්තර පොලීසිය හරහා රතු නිවේදනයක් නිකුත් කරන්නට අපොසත්ව ඇතැයි එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

සමයං ඝාතනයෙන් පසු බෝට්ටුවකින් පැනගත් අංගොඩ ලොක්කත්, ලඩියාත් ඉකුත් මැයි 20 වැනිදා ඉන්දියාවෙන් ඩුබායි පැන ගැනීමට සුදානම් වූ අවස්ථාවේදී එරට ආරක්ෂක අංශ වෙත හසු වුයේ ආගමන විගමන චෝදනාවකට ලක්වය.

ගයාන් කුමාර වීරසිංහ 

(ජනයුගය-2017-09-12)

No comments:

Post a Comment

Post Bottom Ad