උමා ඔය ගැන ඇත්ත හෙළිවෙයි - නෝර්වේජියානු විශේෂඥ වාර්තාව ජනපති අතට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, August 6, 2017

උමා ඔය ගැන ඇත්ත හෙළිවෙයි - නෝර්වේජියානු විශේෂඥ වාර්තාව ජනපති අතට

උමා ඔය ගැන ඇත්ත හෙළිවෙයි - නෝර්වේජියානු විශේෂඥ වාර්තාව ජනපති අතට
උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ ප‍්‍රධාන උමගෙහි ඇති වූ ජල කාන්දුව සම්බන්ධයෙන් සොයා බැලීමට කැඳවූ නෝර්වේජියානු විශේෂඥයා සිය අතුරු වාර්තාව පෙරේදා (04) පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා වෙත භාරදුන්නේය.

නිසි ශක්‍යතා අධ්‍යයනයකින් සහ පරිසර බලපෑම් අධ්‍යයනයකින් තොරව මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීම හේතුවෙන් එහි ප‍්‍රධාන උමගෙහි ජලය කාන්දුවීම සහ අදාළ ප‍්‍රදේශයේ භූගත ජලය සිඳීයාම සිදුවී ඇති බවට මෙහිදී නෝර්වේජියානු විශේෂඥ Bent Agaard මහතා පෙන්වාදුන් අතර උමගේ කැණීම් කටයුතුවලදී ඒ වටා ඇති බිත්තිවල විශේෂ සිමෙන්ති ආලේපකර ජලය කාන්දුවීම වැළැක්වීම පමණක් ප‍්‍රමාණවත් වී නොමැති බව ද ඔහු සිය වාර්තාව තුළින් පෙන්වා දෙයි.

උමගේ ඉතිරි කි.මි හතර හමාරේ කැණීම් කටයුතුවලට පෙර වක‍්‍රාකාරව සිමෙන්ති ආලේප කළ හැකි යන්ත‍්‍ර භාවිතා කළ යුතු බවටත්, එහිදී දැනට භාවිතා කරන සිමෙන්තිවලට වඩා ශක්තිමත් සිමෙන්ති වර්ගයක් භාවිතා කළ යුතු බවටත් එකී වාර්තාවේ නිර්දේශ කර තිබේ. උමං මාර්ගයේ කැණීම් කටයුතු ජනාවාස සහිත ප‍්‍රදේශවලට යටින් සිදුවන බැවින් මෙය ඉතා අත්‍යාවශ්‍ය බවද නෝර්වේජියානු විශේෂඥවරයා පෙන්වා දෙයි.

නිසි ශක්‍යතා අධ්‍යයනයකින් තොරව උමා ඔය ව්‍යාපෘතිය කි‍්‍රයාවට නැංවීම හේතුවෙන් අද ප‍්‍රදේශයේ ජනතාවට මුහුණදීමට සිදුව ඇති දුෂ්කරතා ඉතා ඛේදජනක බව මෙහිදී පැවසූ ජනාධිපතිවරයා මෙම ගැටලු නිරාකරණය කර ගනිමින් ජනතාවට සහන සැළසීමට රජය අධිෂ්ඨානශීලීව කටයුතු කරන බව සඳහන් කළේය. දේශපාලන තීන්දු මත හදිසියේ කි‍්‍රයාවට නැංවූ මෙම ව්‍යාපෘතිය හේතුවෙන් ඇති වූ පීඩාකාරී තත්ත්වය ඉදිරි සංවර්ධන ව්‍යාපෘති කි‍්‍රයාවට නැංවීමේදී, වැදගත් පාඩමක් බව පැවසූ ජනාධිපතිවරයා ඉදිරියේදී මධ්‍යම පළාත තුළ කි‍්‍රයාත්මක කිරීමට නියමිත කි.මි 22 ක් දිගැති උමගක් සහිත ව්‍යාපෘතිය සම්බන්ධයෙන් තවදුරටත් විශේෂඥ වාර්තා ලබා ගැනීමට තමා අපේක්ෂා කරන බව ද සඳහන් කළේය.

උමා ඔය සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් ප‍්‍රදේශයේ ජනතාවට මුහුණදීමට සිදුවූ අසීරුතාවය පිළිබඳ අවධානය යොමු කරමින් හදිසියේම සිදුකළ ඉල්ලීම පිළිගෙන මෙහි පැමිණීම පිළිබඳ ජනාධිපතිවරයා නෝර්වේජියානු විශේෂඥයා වෙත තම විශේෂ ස්තූතිය පිරිනැමීය. මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක මහතා සහ උමා ඔය සංවර්ධන ව්‍යාපෘතිය භාර අධ්‍යක්ෂවරයා ඇතුළු නිලධාරින් සහ නෝර්වේජියානු තානාපතිවරයා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

No comments:

Post a Comment

Post Bottom Ad