රවි කරුණානායකට නිදොස් විය හැකියි.. මගේ ඩුබායි හංගපු සල්ලි ආණ්ඩුවට දෙනවා..- මහින්ද - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, August 13, 2017

රවි කරුණානායකට නිදොස් විය හැකියි.. මගේ ඩුබායි හංගපු සල්ලි ආණ්ඩුවට දෙනවා..- මහින්ද

දක්ෂ නීතිඥ මහත්වරුන්ගේ උපදෙස් මත රවී කරුණානායක මහතාට අධිකරණය ඉදිරියේ නිදොස් වන්නට හැකි වුවත් ජනතා අධිකරණය හමුවේ ඔහු වැරැදිකරුවකු වී හමාර බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

ඔහුට ඉල්ලා අස්වීමට සිදුවූයේ ජනතා අධිකරණය ඉදිරියේ එසේ වරදකරුවකු වීම නිසා බව පැවසූ රාජපක්ෂ මහතා වැරැදිකරුවකු ඉල්ලා අස් වූ පමණින් හෝ පාර්ලිමේන්තුවේ කතා පැවැත් වූ පමණින් කිසිවකුත් වීරයකු වන්නේ නැති බවත් පැවසීය. මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නීතිඥ සංවිධානයේ ගම්පහ දිස්ත්‍රික් ශාඛාව පිහිටුවීමේ අවස්ථාවට දිවුලපිටියේ දී 11 වැනි ද සවස එක්වෙමිනි. ශ්‍රී ලංක නිදහස් පක්ෂයේ නීතිඥ සංගමය සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නීතිඥ සංවිධානය බවට පත්කිරීම සාමාජික සාමාජිකාවන්ගේ ඒකමතික කැමැත්ත පරිදි මෙහිදී සිදුකෙරිණි.

එහිදී ශ්‍රී ලංකා නිදහස් නීතිඥ සංගමයේ ගම්පහ දිස්ත්‍රික සභාපති තිස්ස ජයවර්ධන මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නීතිඥ සංවිධානයේ අනුශාසක වශයෙනුත් ජ්‍යෙෂ්ඨ උප සභාපති සරළ කරුණාරත්න මහතා සභාපති වශයෙනුත් උප භාණ්ඩාගාරික සරණ කරුණාරත්න මහතා උප ලේකම් වශයෙනුත් පත් වූ අතර අනෙකුත් තනතුරු ලාභිහු ද නව සංවිධානයේ තනතුරුවලට ද පත් වූහ.

හිටපු ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් මෙසේද පැවසීය.

මේ රජය බලයට පත් වූයේ යහපාලනය, නීතියේ ආධිපත්‍ය ගැන මහ ලොකුවට හඬ නඟලයි. ඒවා රැකගන්න ඕනෙ කියලා තමයි ඒ අය බලපෑම් කළේ. නමුත් මේ රජය බලයට ආපු ගමන අගවිනිසුරුවරයා ඉවත් කරලා අලුත් අගවිනිසුරුවරයෙක් පත් කරපු ආකාරය ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමක් ද, නීතියේ ආධිපත්‍ය සුරැකීමක් ද කියලා තමුන්නාන්සේලාට මම අමුතුවෙන් කියන්න ඕනේ නැහැ.

නීතිය කඩන්න පටන් ගත්තේ, අධිකරණවලට බලපෑම් කරන්න පටන් ගත්තේ එතැනින් තමයි. අධිකරණය තිබෙන විශ්වාසය ජනතාව තුළින් ක්‍රමානුකූලව ඈත් වෙන්න පටන අරන් තියෙනවා. ඒක වුණේ මේ කරුණු නිසා කියලයි මම හිතන්නේ. ඔවුනගේ දේශපාලන වුවමනා ඉටු කරගන්න, දේශපාලන හතුරන්ගෙන් පළිගන්න නොයෙක් විදියේ උපක්‍රම භාවිතා කරනවා. රිමාන්ඩ් කිරීම දඬුවමක් බවට පත් වෙලා. පෞද්ගලික දේපළවලටත් රාජ්‍ය දේපළ කියලා චෝදනා ගොනුකරලා ඒ තුළින් ඇප නොදෙන ආකාරයට මහේස්ත්‍රාත්වරයාගේ අත බැඳ දමන්න පියවර ගන්න පොලීසිය සමත් වෙලා. 


පොලීසියේ ක්‍රියාවලිය දේශපාලන ක්‍රියාවලියක් බවට පත් වෙලා. අපි දන්න ආකාරයට මුලින් පොලීසියට පැමිණිල්ලක් කරන්න ඕනේ. නමුත් අද පැමිණිල්ලක් නැතුවම විභාග කරන්න පටන් ගන්නවා. පොලිස් මූල්‍ය අපාරාධ කොට්ඨාසය ආරම්භ කළේ අගමැතිවරයා විසින් නියම කරන පැමිණිලි විභාග කරන්නයි. අගමැතිවරයාට තියෙන පොලිස් බලය මොකක්ද? මුළු නීති පද්ධතියේම හරය අද බිඳ වැටිලා. අගමැතිවරයා පොලිස්පති නෙමෙයිනේ. මේ තත්ත්වය තමයි අද උද්ගත වෙලා තියෙන්නේ. එෆ්. සී. අයිඩිය නඩු හැත්තෑ ගාණක් ද කොහෙද අවසන් කළාලු.

මොනවද මේ නඩු? ප්‍රාදේශීය සභාවට යකඩ බට බෙදුවලු. උපාසක අම්මලාට සිල් රෙදි බෙදුවලු. මේවා තමයි විශාල නඩු කියන්නේ. මේ ආණ්ඩුවේ ඇමැතිවරුන් ගහන කැලැන්ඩර්වලට නඩු නැහැ. හැබැයි ලිතට නඩු. ලිත කියන්නේ අවුරුදු පලාඵල තියෙන, හූනන් ඇඟ වැටීමේ පලාඵල තියෙන අපේ සිංහල සංස්කෘතියේ අංගයක්. කැලන්ඩරේ එහෙම නැහැ. හැබැයි ලිතට තියෙන නඩු කැලන්ඩරේට නැහැ. එක ඇමැති කෙනෙක් කියනවා මගේ විදේශ බැංකුවල අමෙරිකානු ඩොලර් මිලියන දාහක් තියෙනවලු. ඩොලර් මිලියන දාහට රුපියල් කීයක් තියෙනවද කියලා බලන්න ඒ ගාණ 154න් වැඩි කරන්න ඕනේ. 


තව කෙනෙක් කියනවා නාමල්ගේ නමට ඩොලර් මිලියන 250ක් තියෙනවලු. එහෙම නම් මගේ ඔය තියෙනවයි කියන සල්ලි ටික අරගෙන වරයා විකුණන්නෙ නැතුව ඉන්න එපැයි. මගේ සල්ලි මම නිකම් දෙන්නම්. මේ වගේ බොරු තමයි කියන්නේ. මිලියන ගණන් බිලියන ගණන් කිව්වම රැවටෙයි කියලයි හිතන්නේ. බොරු කියපු අයගේ බොරු දැන් හෙළි වෙලා තියෙනවා. ලංකාවේ විතරක් නෙමෙයි මුළු ආසියාවෙම කරපු මහා මංකොල්ලය තමයි මහ බැංකු මංකොල්ලය. ඒ කොල්ලය ගැන හොයාගෙන යන කොට ඒ පුද්ගලයාගෙන් සල්ලි ගත්ත වෙනත් අය ගැනත් හෙලිදරව් වුණා.

සමහර ලකුණු දාගන්න උත්සාහ කළත් මේ කොමිසම දාන්න හේතු වුණෙත් විපක්ෂයෙන් ආපු බලපෑමයි. ඒකේ ගෞරවය එන්න ඕනේ විපක්ෂයටයි. මට මතකයි බන්දුල ගුණවර්ධන මහත්තයා මේ ගැන නිතරම කතා කළා. මුළු විපක්ෂය මේ ගැන කෑගැහුවා. ඒ කෑගහපු එකේ ප්‍රතිඵලය විදියට තමයි කොමිසමක් පත් කරන්න වුණේ. ඒ නිසා තමයි රවී කරුණානායකට ඉල්ලා අස්වෙන්න වුණේ. තිලක් මාරපන ඉල්ලා අස්වුණා. එයා අස්වුණේ නීතිඥයෙක් විදියට දීපු උපදෙසක් හින්දයි. 


නීතිඥයෝ වුණාම උපදෙස් දෙනවා. හැබැයි ඒක ගැන සැක කළාම, ඒක හරිද නැද්ද කියලා මතයක් ආපු ගමන් මාරපන මහත්තයා මහත්තයෙක් විදියට ඉල්ලා අස්වුණා. පාර්ලිමේන්තුවේ කතා පැවැත්තුවද? අස්වුණාට පස්සෙ මහා වීරයෙක් කියලා පිළිගත්තද? මොනවත් නැහැ. ඇත්ත වශයෙන්ම මාරපන මහත්තයයි වීරයෙක් කියලා පිළිගන්න ඕනේ. මෙයා නෙමෙයි. මෙයාට සිද්ධ වුණා ජනතා මතයට හිස නමන්න. ජනතා අධිකරණයෙන් වැරැදිකාරයෙක් වුණා. දක්ෂ නීතිඥ මහත්තුරු උපදෙස් දුන්න හින්දා මෙයා බෝලේ පාස් කළා. 

ඒ හින්ද කිව්වා මම දන්නෙත් නැහැ. මට මතකවත් නැහැ කියලා. ස්වාමියාට විරුද්ධව භාර්යාව සාක්ෂියට ගේන්න බැහැනේ. ඒ හින්දා එයාට උපදෙස් දුන්න දක්ෂ නීතිඥ මහත්තයෙක් උපදෙස් දුන්නා එහෙම කියන්න කියලා. අධිකරණය ඉදිරියේ කෙසේ වෙතත් ජනතා අධිකරණය ඉදිරියේ එයා වැරැදිකාරයෙක් වෙලා ඉවරයි. එයා එළිය ඇවිත් නීතිපතිවරයා, නීතිපති දෙපාර්තමේන්තුවම අභියෝගයට ලක් කළා. නීතිය ගැන අකුරක්වත් නොදන්න මන්ත්‍රීවරුන් නීතිපති දෙපාර්තමේන්තුවට විරුද්ධව අදහස් පළ කරනවා.

නීතිපති දෙපාර්තමේන්තුවෙත් ඉන්නවා තමන්ගේ දේශපාලන මත ක්‍රියාකරන කිහිපදෙනෙක්. එහෙම කියලා මුළු නීතිපති දෙපාර්තමේන්තුවම හෑල්ලුවට ලක් කරනවා නම් ඒක වැරැදි ක්‍රියාවක්. නීතිපති දෙපාර්තමේන්තුව, අධිකරණය හෑල්ලුවට ලක්කළාට පස්සෙ මොකක්ද වෙන්නේ? අපිට වගකීමක් තියෙනවා නීතියේ ආධිපත්‍ය රැකගන්න. ඒ වගකීම නීතිඥ්‍යන් විදියට ඔබටත් තිබෙනවා.

– ප‍්‍රදීප් අනුර කුමාර

No comments:

Post a Comment

Post Bottom Ad