නියඟයෙන් දෙලක්ෂ පනස්දහසක් පීඩාවට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, August 23, 2017

නියඟයෙන් දෙලක්ෂ පනස්දහසක් පීඩාවට

නියගයෙන් හානියට පත්වූ ගොවිබිම්වල, ගොවි ජනතාවට වියළි ආහාර සලාකයක් ලබාදීමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා  දුන් උපදෙස් අනුව එම කටයුතු මේ වන විට විධිමත්ව කි‍්‍රයාත්මක වෙමින් පවතී.

දිස්ති‍්‍රක්ක 13 ක් ආවරණය වන පරිදි දැනට මෙම වැඩසටහන කි‍්‍රයාත්මක වන අතර පිටි, පරිප්පු, සීනි, කඩල හා ටින් මාළු ඇතුළු ආහාර ද්‍රව්‍ය එම වියළි ආහාර සලාකය යටතේ බෙදා දෙනු ලැබේ. දිස්ති‍්‍රක් ලේකම්වරුන් සහ ප‍්‍රාදේශීය ලේකම්වරුන් විසින් තෝරා ගත් ගොවි ජනතාව වෙත සමූපකාර සමිති හරහා මෙම වියළි ආහාර සලාකය නිකුත් කෙරේ.

වියළි කාලගුණයෙන් පීඩාවට පත් ගොවි ජනතාවගේ ගැටලූ පිළිබඳ සොයා බැලීමට ජනාධිපතිවරයා පසුගිය ජූලි 30 වනදා හදිසියේම කැබිතිගොල්ලෑව ප‍්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. අඛණ්ඩව කන්න තුනක් වගා කටයුතු සිදු කිරීමට නොහැකිවීම හේතුවෙන් ආර්ථික දුෂ්කරතාවයන්ට මුහුණ දී සිටින එම ගොවි ජනතාවට සහන සැලසීම සඳහා ජනාධිපතිවරයා  එහිදී ලබාදුන් උපදෙස් පරිදි මෙම වියළි ආහාර සලාකය ලබාදීම සිදු කෙරේ.

එමෙන්ම නියගය පවතින ප‍්‍රදේශවල ජනතාවට අවශ්‍ය පානීය ජලය බෙදාදීමේ කටයුතු ද මේවන විට විධිමත්ව සිදු කෙරෙන අතර එහිදී දිස්ති‍්‍රක් ලේකම්වරුන්ට සහ ප‍්‍රාදේශීය ලේකම්වරුන්ට සහය දැක්වීම සඳහා ජනාධිපතිවරයා විසින් ශී‍්‍ර ලංකා යුධ හමුදා නිළධාරින් ද යොමු කර තිබේ. මේ අනුව වියළි කාලගුණයෙන් පීඩාවට පත් දිස්ති‍්‍රක්ක 20 ක ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 117ක දෙලක්ෂ පනස්දහසක ජනතාවකගේ පානීය ජල අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් පුළුල් වැඩසටහනක් කි‍්‍රයාත්මකය.

මේ අතර මෙම කටයුතු තවදුරටත් විධිමත් කිරීම පිළිබඳ සාකච්ජාවක් ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු මහතාගේ ප‍්‍රධානත්වයෙන්  පෙරේදා (21) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. ජනාධිපති කාර්යාලය, ආපදා කළමණාකරණ අමාත්‍යාංශය, නගර සැළසුම් සහ ජලසම්පාදන අමාත්‍යාංශය, ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මෙන්ම මුදල් අමාත්‍යාංශයේ නියෝජිතයින් ද මෙම සාකච්ජාවට එක්ව සිටියහ.

පීඩාවට පත් ජනතාවගේ පානීය ජල අවශ්‍යතා සපුරාලීම සඳහා ගෙන යන වැඩපිළිවෙළ තවදුරටත් පුළුල් කරමින් රාති‍්‍ර කාලයේද ජල සැපයුම කි‍්‍රයාත්මක කිරීම පිළිබඳ මෙහිදී අවධානය යොමු කෙරුණු අතර අලූතින් ජල බවුසර් ලබා ගැනීම පිළිබඳව ද සාකච්ජාවට ලක් විය. එමෙන්ම එම ජනතාවගේ සෙසු අවශ්‍යතා සඳහා ජලය ලබාදීමේ ක‍්‍රමවේදය මෙන්ම වනජීවින් සඳහා ජලය සැපයීමේ කටයුතු පිළිබඳව ද අවධානය යොමු කෙරුණු අතර එම කටයුතු  අඛණ්ඩව කි‍්‍රයාවට නැංවීමට තීරණය කෙරිණි.

මේ අතර අනුරාධපුර, ශ‍්‍රාවස්තිපුර ප‍්‍රදේශයේ නියඟයෙන් හානියට පත් වූ ගොවිබිම් ප‍්‍රදේශවල වෙසෙන ජනතාවට වියළි ආහාර සලාක ලබාදීමේ වැඩසටහනේ පළමු අදියර යටතේ පවුල් දාහකට වියළි ආහාර සලාක නිකුත් කිරීම පෙරේදා  (21) පෙරවරුවේ ශ‍්‍රාවස්තිපුර විවිධ සේවා සමූපකාර සමිති පරිශ‍්‍රයේ දී සිදු විය. ප‍්‍රදේශයේ ඒ සඳහා සුදුසුකම් ලබා ඇති පවුල් සංඛ්‍යාව 4500 කි. ඉතිරි පවුල් සඳහා ද වියළි ආහාර සලාක නිකුත් කිරීම කඩිනමින් සිදු කෙරේ. අනුරාධපුර නගරයේ විවිධ සේවා සමූපකාර සමිතිය හරහා ද වියළි ආහාර සලාක නිකුත් කිරීම ඊයේ පෙරවරුවේ සිදු විය.

නැගෙනහිර නුවරගම් පළාතේ පීඩාවට පත් ගොවිජනතාව වෙනුවෙන් මෙම සමූපකාර සමිතිය හරහා වියළි ආහාර සලාක නිකුත් කෙරෙන අතර සුදුසුකම් ලැබූ පවුල් 4616 ක් අතුරින් පවුල් 3000 කට ආසන්න පිරිසකට මේ වන විට වියළි ආහාර සලාකය නිකුත් කිරීම සිදු කර තිබේ. දරුණු නියඟය හමුවේ තම ගොවි බිම්වලට හානි පැමිණීම හේතුවෙන් මහත් ආර්ථික අසීරුතාවයකට මුහුණදී සිටින තමන්ට මෙම අවස්ථාවේ ලැබෙන මෙම සහනය පිළිබඳ එම ජනතාව ජනාධිපතිවරයා වෙත සිය කෘතඥතාවය පළ කර සිටියි.

No comments:

Post a Comment

Post Bottom Ad