කෝටි 12 කට ටෙන්ඩරයක් දී මහා විනාශයකට අත වනයි -කිරිඇල්ල සියල්ල හෙළිකරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, August 13, 2017

කෝටි 12 කට ටෙන්ඩරයක් දී මහා විනාශයකට අත වනයි -කිරිඇල්ල සියල්ල හෙළිකරයි

කළුගඟේ හැරනියාවක ප‍්‍රදේශයේ මැණික් ගැරීමට ටෙන්ඩර් ලබා දී ඇත්තේ කෝටි දොළහ හමාරකට වුවත් මැණික් ඉල්ලම් ගත්තහොත් කෝටි 1500ක 2000ක මහා අලාභයක් අනාගතයේ දී රටට විඳින්නට සිදුවන බව සබරගමු පළාත් සභා එජාප මන්ත‍්‍රී සිරිපාල කිරිඇල්ල මහතා පවසයි.

“මෙතන ගැඹුර තැනක්. ගං පතුලේ ඉඳලා අඩි 50ක් 60ක් යටට ඉල්ලම ඇතැයි කියලා විශ්වාස කරනවා. ඒ ඉල්ලම මඩ, වැලි සහ පස් එක්ක මිශ‍්‍රවෙලා තියෙන්නේ. ඒ ටික ගත්තොත් ගංඟාවේ ඉවුරු කඩා වැටෙන එක අනිවාර්යයි. එහෙම වුණොත් ඉවුර දෙපැත්තේ ඉඩම්වල තියෙන ගෙවල් 100කට විතර හානි වේවි. ඒවා පිටුපස කන්ද නායයාවි. හැරනියාවක පාලම සහ ඊට ඉහළින් අලූතින් ඉදිකළ පාලමට හානි වේවි.  මේ කරන්නේ අනාගත ව්‍යසනයකට අතවැනීමක්“

“වාරිමාර්ග දෙපාර්තමේන්තුව, මාර්ග සංවර්ධන අධිකාරිය, පරිසර අධිකාරිය මේ පතල් කැපීමට සම්පූර්ණයෙන්ම විරුද්ධයි. භූවිද්‍යා හා පතල් කැනීම් කාර්යාංශය වගේම ගොඩනැගිලි හා පර්යේෂණායතනය මේ ගැන වාර්තා ලබා දියයුතුයි. මෙතන පතල් කැපීමෙන් අපි ඔය කිව්ව හානි කිසිවක් වෙන්නේ නෑ කියලා ඔය ආයතන සියල්ලම සහතික වෙනවානම් පතල් කැපුවට අපි විරුද්ධ නෑ. ඒ නිසා දැනටමත් ආයතන තුනක් විරුද්ධ වෙලා තියෙද්දි මේ අනාගත විනාශය ගෙනෙන ක‍්‍රියාවට ඉඩ දෙන්න එපා.“

හැරනියාවක පාලම සහ ඊට කිලෝමීටරයකට පමණ ඉහළින් කෝටි ගණනක් වැයකර කළු ගඟ හරහා ඉදිකළ පාලම අතර කළුගඟේ පතුලේ ඇති මැණික් ඉල්ලම් ගැනීමට පසුගිය 12 වැනි දා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය මගින් පෞද්ගලික සමාගමකට කෝටි දොළහ හමාරකට ටෙන්ඩර් දී ඇත්තේ කිරිඇල්ල ප‍්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ දැඩි විරෝධය මත බව ද කිරිඇල්ල මහතා පැවසුවේ ය.

“මෙතන මැණික් නිධානයක් ඇති බවටයි මැණික් ක්ෂේත්‍රයේ අයගේ විශ්වාසය. වාරිමාර්ග දෙපාර්තමේන්තුව, මාර්ග සංවර්ධන අධිකාරිය, පරිසර අධිකාරිය, භූවිද්‍යා හා පතල් කැනීම් කාර්යාංශය සහ ගොඩනැගිලි හා පර්යේෂණායතනය කියනවා නම් පතල් කැපීමෙන් අපි කියන හානිය වෙන්නේ නෑ කියලා මේක සොච්චම් මුදලකට ටෙන්ඩර් දාන්න එපා. රජයට ආදායම එනවිදියට නියාමන ක‍්‍රමයට හෝ වෙනත් ක‍්‍රමයකට ඉඩදීලා ඒ ආදායම රජයට ගන්න.අපි මේ විරුද්ධ වෙන්නේ දේශපාලන වාසි ගන්න නෙවෙයි. අපි දේවත්වයෙන් පරිසරයට ආදරෙයි. “යැයි ඒ මහතා ප්‍රකාශ කරයි.

නිසි අයුරින් පාරිසරික වාර්තා ලබා නොගෙන   මැණික් කැපීම සඳහා ටෙන්ඩර් මගින් කෝටි දොළහ හමාරකට ලබාදීම ගැන නැවත සලකා බලන්නැයි තමන් ජනපති,අගමැති ඇතුළු රජයෙන් දැඩි අවධානයෙන් ඉල්ලා සිටින  බවද ඒ මහතා කීය.

No comments:

Post a Comment

Post Bottom Ad