“මම මේ ආණ්ඩුවේ ඉන්නේ නැහැ“ - අර්ජුනගේ රතු කට්ට පනී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, July 5, 2017

“මම මේ ආණ්ඩුවේ ඉන්නේ නැහැ“ - අර්ජුනගේ රතු කට්ට පනී

බුද්ධාගමට හිමි තැන අඩු කිරීමට ආණ්ඩුව උත්සාහ කරන්නේ නම් මේ ආණ්ඩුවේ මොහොතකට වත් නොසිටින බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසූවේ අද(5) කළුතර ආසනයෙහි ආපදාවට පත් විහාරස්ථාන වෙත සහන බෙදා දීමේ වැඩසටහන් මාලාවකට එක්වෙමිනි.

ඉන් අනතුරුව මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් එම මහතා මේ බව ප්‍රකාශ කර තිබේ. එහිදී අර්ජුන රණතුංග අමාත්‍යවරයා මෙසේද සඳහන් කළේය. “අද වෙනකම් ව්‍යවස්ථාවේ කොළයක්වත් එළියට ඇවිත් නෑ. ව්‍යවස්ථාව ගැන කතා කරන අය කොළයක්වත් දැකල තියෙනවද දන්නේ නෑ. හුඟක් විපක්ෂයේ ඉන්න අය කැමැතියි මාධ්‍යකට ගිහිල්ලා ගිනිකූරක් පත්තු කරන්න. එතකොට ඒගොල්ලන්ගේ පින්තූරෙත් යනවා පිටු භාගයක. එහෙමනේ දේශපාලනය කරන්න කැමති අය කරන්නේ. 

මම කියන්නේ තුට්ටු දෙකේ මේ දේශපාලනය අපේ රටෙන් ඉවත් විය යුතුයි. අපේ රටේ ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට හිමි තැන අඩු කරනවා කියලා අපි කිසිම තැනක සාකච්ඡා කරලා නැහැ. ආණ්ඩුවේ ඉන්න ඇමතිවරයෙක් හැටියට මම වගකීමකින් එය කියනවා. එහෙම සාකච්ඡාවක් කරලත් නෑ. සාකච්ඡා කරන්නෙත් නෑ. නමුත් වෙනම කට්ටියක් වෙන වෙන කථා කියමින් ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ගින්නක් අවුලන්න හදනවා. මම දැක්කා එක තැනක තියෙනවා බුද්ධාගම තුන්වැනි තැනට දාන්න හදනනවා කියලා. 

මේවා තනිකරම දේශපාලන කථා. සිංහල බෞද්ධයන් ඇවිස්සීමේ උපක‍්‍රමයක්. ඇත්තටම අපිට අවශ්‍ය වෙන්නේ බුද්ධාගමට හිමි තැන ආරක්ෂා කරන්න. ඒ වගේම බුද්ධාගමට මූලිකත්වය දෙන ගමන් අනෙක් ආගම්වලට සිය අයිතිවාසිකම් ලබා දෙන්න. ඒකේ වරදක් මම දකින්නේ නැහැ. අද ආණ්ඩුවේ සිටින සියලුම නායකයෝ මේ ව්‍යාවස්ථා සංශෝධනය ගැන සංවේදීව සිටිනවා. මේ ආණ්ඩුවේ ඉන්න මුස්ලිම්, ද්‍රවිඩ නායකයෝ කවදාවත් කියන්නේ නෑ බුද්ධාගමට තියෙන මූලිකත්වය අඩු කරන්න කියලා. ඒක තමයි රටටම අවශ්‍ය වෙන්නේ. 

මේ රට සුද්දන්ගෙන් බේරා ගන්න කොට සිංහල බෞද්ධ නායකයෝ විතරක් නෙමෙයි සිටියේ. එතන දෙමළ අයත් හිටියා. මුස්ලිම් අයත් හිටියා. කතෝලික අයත් හිටියා. හින්දු අයත් හිටියා. මේ සියලුම ආගමිකයන් එකතුවෙලා අත්වැල බැඳගෙන තමයි ජයග‍්‍රහණය ලබාගත්තේ. මම වගකීමෙන් කියනවා, අපේ රටේ බුද්ධාගමට හිමි තැන පහළට දාන්න හදනවා නම් මම මේ ආණ්ඩුවේ ඉන්නේ නැහැ.“ යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.

No comments:

Post a Comment

Post Bottom Ad