දඹුලු විහාරය වසා දමයි - විහාරාධිපති හිමියන් දැඩි තීන්දුවක - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, July 11, 2017

දඹුලු විහාරය වසා දමයි - විහාරාධිපති හිමියන් දැඩි තීන්දුවක

පුරාවිද්‍යා උපදේශක මණ්ඩලය විසින් රංගිරි දඹුලු රජමහ විහාරය තාවකාලිකව හෝ වසා දැමීමට මේ වන විට ගෙන ඇති තීරණය නීති විරෝධී තීරණයක් බව රංගිරි දඹුලු මහ විහාරයේ විහාරාධිපති අස්ගිරි පාර්ශවයේ කාරක සංඝ සභික ගොඩගම මංගල හිමි පවසයි.

අද (11) මාධ්‍ය හමුවක් පවත්වමින් උන්වහන්සේ මේ බව සඳහන් කළහ.එහිදී වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය.“පුරාවිද්‍යා උපදේශක මණ්ඩලය විසින් රංගිරි දඹුලු රජමහ විහාරය තාවකාලිකව හෝ වසා දැමීමට මේ වන විට ගෙන ඇති තීරණය නීති විරෝධී තීරණයකි.මේ විහාරස්ථානය සාංගික දේපළකි.එය දැනට පාලනය වන්නේ විහාර දේවාලගම් පනතට අනුකූලව අපගේද නිර්දේශ ඇතුව බෞද්ධ කටයුතු කොමසාරිස්තුමා විසින් පත් කරන ලද භාරකාර හිමිනමක් යටතේය.

උන්වහන්සේගේ බලය ඉක්මවා තීරණ ගැනීමට මේ උපදේශක මණ්ඩලයට නීතිමය බලයක් නොමැති බව මහනුවර බෞද්ධ කටයුතු කොමසාරිස්තුමාගෙන් විමසීමෙන් දැන ගත්තේ.එසේම විහාර භාරකාරත්වය විසින් තවදුරටත් මේ ස්ථානය දිනපතා සිදු කරනු ලබන පුද පුදා කටයුතු වෙනුවෙන් හා දෙස් විදෙස් සංචාරකයන් වෙනුවෙන් වෙනදා මෙන් විහාරයන්හි  දොරවල් විවෘත කර තබන බව මා වෙත දන්වා ඇත.ඒ අතර පුරා විද්‍යා නිලධාරීන් හා සේවකයන් සංරක්ෂණ කටයුතු කරන්නේ නම්  ඒ සඳහා ද නිසි අවස්ථාවන් ලබා දීමට අවහිරයක් නොමැති බවද දන්වා ඇත.

තවදුරටත් විදෙස් සංචාරකයන් වෙනුවෙන් ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම බෞද්ධ කටයුතු කොමසාරිස්තුමාගේ අනු දැනුම මත විහාර භාරකාරත්වය විසින්ම සිදු කරන බවත් පුරා විද්‍යාව යම් සංරක්ෂණයක් කරන්නේ නම් ඒ වෙනුවෙන් විධිමත් අයවැයක් ලබා දී අවශ්‍ය ප්‍රතිපාදන ලබා දිය හැකි බව භාරකාරත්වය මා වෙත දන්වා ඇත.” කෙසේවෙතත් රංගිරි දඹුලු ලෙන් විහාර සංකීර්ණය නැවත දැනුම් දෙන තුරු වසා දැමීමටත් එම විහාරයේ සංරක්ෂණ කටයුතු වහාම ආරම්භ කිරිමටත් පුරා විද්‍යා උපදේශක මණ්ඩලය ඊයේ ඒකමතික තීරණයකට එළඹී තිබේ.

ඒ අනුව දඹුලු විහාරය නැවත දැනුම් දෙන තුරු දෙස් විදෙස් සංචාරකයන්ට වසා තැබීමට පුරා විද්‍යා උපදේශක මණ්ඩලය තීරණය කර ඇත. අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යංශයේදී ඊයේ රැස්වූ පුරා විද්‍යා උපදේශක මණ්ඩලය මෙම තීන්දු ගෙන තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad