මහින්ද මහත්තයාගෙන් පෝෂණය වුන අමරවීර රාජපක්ෂවරු අත්අඩංගුවට ගන්න හදනවානම් එයා අමරවීර නෙමයි අ **වීර - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, July 12, 2017

මහින්ද මහත්තයාගෙන් පෝෂණය වුන අමරවීර රාජපක්ෂවරු අත්අඩංගුවට ගන්න හදනවානම් එයා අමරවීර නෙමයි අ **වීර


ආණ්ඩු පක්‍ෂයේ ඇමතිවරුන් පිරිසක් එකාබද්ධ විපක්‍ෂය හා සම්බන්ධ වන බවට විවිධ මත පළවෙමින් තිබේ. එහි සත්‍ය අසත්‍යතාව සම්බන්ධව හා වර්තමාන දේශපාලන වාතාවරණය සම්බන්ධයෙන් මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කාංචන විජේසේකර මහතා සමග කළ සංවාද සටහනකි මේ. 


Q වර්තමාන දේශපාලන වාතාවරණය පිළිබඳ ඔබේ අදහස?
අද රට ඉතාම ශෝචනීය තත්ත්වයට වැටිලා තියෙන්නේ. රට අස්ථාවර වෙලා. හැම ක්‍ෂේත්‍රයකම ඉතාම අවිනිශ්චිත තත්ත්වයක් තියෙන්නෙ. එක් පැත්තකින් පළාත් පාලන ඡන්දය කල් දමමින් ඉන්නවා. අනෙක් පැත්තෙන් 2015 පස්සෙ මෙරට ආයෝජනය අඩුවෙලා තියෙනවා. සංවර්ධනය නැතිවෙලා තියෙනවා. මේ සියල්ල අතරේ අපේ ජීවිත කාලයේ නොදැකපු අය පාරට බැහැලා විරෝධතා දක්වන තැනට මේ යහපාලන රජය පත්වෙලා තියෙනවා.

Q නව ව්‍යවස්ථාවක් සම්බන්ධව රජයෙන් විවිධ මත පළවෙනවා. ඒකාබද්ධ විපක්‍ෂයේ ඒ සම්බන්ධව ස්ථාවරය කුමක්ද?
ව්‍යවස්ථාව සම්බන්ධව අපේ මතය තිබුණෙ ඒකීය රටක් ඇතුළෙ මේ කටයුතු සියල්ල සිද්ධ වෙන්න ඕන කියලා. දිනේෂ් ගුණවර්ධන, ප්‍රසන්න රණතුංග ඇතුළු ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් අපි සියල්ල නියෝජනය කරමින් එයට සම්බන්ධ වෙලා හිටියේ එවැනි කාරණයක් සඳහායි.

Q එසේ නම් ව්‍යවස්ථාදායක සභාවෙන් ඒකාබද්ධ විපක්‍ෂය ඉවත් වුණේ ඇයි?
අපේ මන්ත්‍රීවරුන් හරහා අපි යෝජනා මාලාවක් ලබාදුන්නා ඒකාබද්ධ විපක්‍ෂය හැටියට. නමුත් මේ ව්‍යවස්ථා කෙටුම්පත සංශෝධනය කිරීමේදී අපි දැක්කා වාර්තාවක් හැටියට එළිදැක්වුණා කියලා, එළිදැක්වුණේ නැහැ කියලා විවිධ කතා තියෙනවා. නමුත් පසුගිය දවසේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී දකුණු අප්‍රිකාවේ හිටිය විනිශ්චයකාරවරයෙක් සමග කළ සාකච්ඡාවේදී යම්කිසි වාර්තාවක් එළිදැක්වුණා. ඒ වාර්තාවේ අපි ඇතුළත් කළ කරුණු තිබුණෙ නැහැ. එම නිසා නමට විතරක් එහි ඉන්න බැරි නිසා තමයි අපි එයින් ඉවත් වුණේ.


Q නැවත ආරාධනාවක් ලැබුණොත් ව්‍යවස්ථාදායක සභාවට සම්බන්ධ වෙනවාද? 
ඒකාබද්ධ විපක්‍ෂය හැටියට අපි තීන්දුවක් අරගෙන තියෙනවා මුලින් ප්‍රජාත්‍රන්තවාදී අයිතිය සුරකින්න ඡන්දය තියලා එන්න කියලා. ඊට පසුව සම්බන්ධ වෙනවද නැද්ද කියලා තීන්දු කරනවා. නමුත් රටට අහිතකර යම් සංශෝධනයක් වෙනවා නම් එයට එරෙහි වෙන්නත්, එය පරාජය කරන්නත් කටයුතු කරනවා.

Q බැඳුම්කර වංචාවේ වැරදිකරුවන්ට දඬුවම් දීම සම්බන්ධව ඔබේ අදහස? 
ඒකාබද්ධ විපක්‍ෂය ලෙස බැඳුම්කර වංචාව වුණු දවසේ ඉඳන් රජයට කළ බලකිරීම තමයි, එම ආයතනය සතු සියලු වත්කම් රජයට පවරා ගෙන වරදක් සිදුවෙලා තියෙනවා නම් නීතිය ක්‍රියාත්මක කරන්න කියලා. නමුත් මෙය සිදුවෙලා වසර 02ක් වෙනවා. අපි දැක්කා පසුගිය කාලයේ මෙගා ඩීල් ගැන, රාජපක්‍ෂවරුන් කළ වංචා ගැන කතා කරපු ආණ්ඩුව එදා දවසේ පැය භාගයක් තුළ රුපියල් බිලියන 26ක මුදලක් හොරකම් කළ ආයතනයට, පුද්ගලයන්ට එරෙහිව කිසිදු දෙයක් සිදු කරන්නෙ නැහැ. ජනාධිපති කොමිසම් පත්කරලා තියෙනවා තමයි, නමුත් එම කොමිසම්වලට සාක්‍ෂි තියෙනවා, කරන්න දෙයක් නැහැ. සාක්‍ෂිකරුවන්ට බලපෑම් එල්ල වුණා කියනවා, නමුත් කිසිවෙක් අත්අඩංගුවට ගෙන නැහැ. අගමැතිවරයාගේ හිතවතුන් නිසයි එසේ වන්නේ. අධිකරණය සම්බන්ධව අපට විශ්වාසයක් තියෙනවා, නමුත් මේ රටේ පොලීසිය සම්බන්ධව කිසිදු විශ්වාසයක් නැහැ.

Q එම සොරකම් කළ මුදලින් මාධ්‍ය ආයතන පවා ආරම්භ කළ බවට චෝදනා නැගෙනවා?
බැඳුම්කර වංචාවෙන් උපයා ගත් මුදල්වලින් රූපවාහිනී නාළිකා, ගුවන්විදුලි සේවා සහ පුවත්පත් ආරම්භ කර තියෙනවා. ඒ නිසා ඒකාබද්ධ විපක්‍ෂය හැටියට අපි දිගින් දිගටම මේ වෙනුවෙන් පෙනී සිටියා. මෙය වරදක් කියලා කිව්වා. රටේ ජනතාව මෙය දැනගත යුතුයි. යහපාලනය ගේනවා කියලා බලයට ආපු මේ අය කරන දේවල් ජනතාව දැනගත යුතුයි.

Q මේ නිසාද එම මාධ්‍ය ආයතන වර්ජනය කළ යුතුයි කියලා ඔබ පක්‍ෂය තීන්දුවක් ගත්තෙ?
ඉතා පැහැදිලවම මෙවැනි මාධ්‍ය ආයතනවලට වැට බැඳීම් තමයි කළ යුත්තෙ. ඒ නිසා තමයි අපි තීන්දුවක් ගත්තේ එම මාධ්‍ය ආයතන වර්ජනය කළ යුතුයි කියලා. ඉදිරියේදී වෙනත් මාධ්‍ය ආයතනයක් මෙවැනි වංචාවක් හා සම්බන්ධ වෙනවා නම්, එම මාධ්‍ය ආයතනයත් වර්ජනය කරන්න අපි පසුබට වෙන්නෙ නැහැ.

Q මාධ්‍ය මර්දනය කිරීමට පනත් ගෙන ඒමට රජය අදහස් කරලා තියෙනවා. මේ සම්බන්ධව ඔබේ අදහස?
අපි දැක්කා කැබිනට් මණ්ඩලය නොමග යවලා මාධ්‍ය ආයතන මර්දනය කරන්න කැබිනට් සංශෝධන යෝජනා කරලා තියෙනවා. මෙහි බරපතළ රටට අහිතකර පනත් ගණනාවක් ඉදිරිපත් කරලා තියෙනවා. මාධ්‍ය මර්දන පනත ඉන් එකක් පමණයි. අපට මතකයි අපේ රජයට එල්ල කළ බරපතළ චෝදනාව තමයි මාධ්‍ය මර්දනය කියලා. නමුත් අද සිදුවෙන දේවල් බැලුවාම ඒවා මොනවද කියලා හිතෙනවා. අගමැතිවරයා පාර්ලිමේන්තුවේදී මාධ්‍යවේදීන් නම් කරලා, මාධ්‍ය ආයතන නම් කරලා අභියෝග කරනවා, චෝදනා කරනවා. අපේ කාලයේ එහෙම දේවල් තිබුණෙ නැහැ.


Q නමුත් යහපාලන වේදිකාවේ මාධ්‍ය නිදහස පිළිබඳ කතා කළ බොහෝ දෙනා අද නිහඬයි නේද?
ඔව්. ඒ අයට කරකියා ගන්න දෙයක් නොමැති තත්ත්වයක් අද තිබෙන්නෙ. අද සමාජ ජාලා හරහා ලැබෙන පුවත් වාරණයකට ලක් කරලා තියෙනවා. පුවතක් යනවා නම් රහස් පොලීසියට ගෙනියනවා. මාධ්‍යවේදිනුත් රහස් පොලීසියට ගෙනගිහින් ප්‍රශ්න කරනවා. මාධ්‍යයට වාරණයක් ලබාදීලා තියෙනවා වගේම, ඒ පිළිබඳ කතා කරපු අයටත් වාරණයක් ලබාදීලා තියෙනවා. ඒ වගේම මේ මාධ්‍ය මර්දන පනත් සම්බන්ධ ආණ්ඩුවේ මත දෙකක් තිබෙනවා. එජාපය කියනවා ගේනවා කියලා, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය කියනවා එහෙම එක්ක දන්නෙ නැහැ කියලා. ඒ නිසා මුලින් මොවුන් අතර එකඟතාවක් ඇතිකර ගත යුතුයි. මාධ්‍ය මර්දනය කරන්න පනත් පාර්ලිමේන්තුවට ගේනවා නම්, කොන්දේසි විරහිතව අපි එයට විරුද්ධ වෙනවා වගේම, එය ඉවත් කරගන්න බලපෑම් කරනවා.

Q මහින්ද රාජපක්‍ෂ මහතා සහ ගෝඨාභය රාජපක්‍ෂ මහතා අත්අඩංගුවට ගත යුතුයි කියලා මහින්ද අමරවීර සහ සරත් ෆොන්සේකා යන ඇමතිවරුවන් කළ ප්‍රකාශ සම්බන්ධව ඔබේ අදහස? 
ෆොන්සේකා මහතා දිගින් දිගටම හිටපු ජනාධිපතිවරයා සහ හිටපු ආරක්‍ෂක ලේකම්වරයා එක්ක පෞද්ගලික වෛරයක්, ක්‍රෝධයක් තිබුණා. නමුත් මහින්ද අමරවීර ඇමතිවරයා අපේ ආණ්ඩුවේ ඉද්දි එහෙම ක්‍රෝධයක්, වෛරයක් තිබුණෙ නැහැ. අද එතුමා කියනවා මහින්ද මහත්තයා සහ ගෝඨාභය මහත්තයා අත්අඩංගුවට ගත යුතුයි කියලා. ඔහු මහින්ද මහත්තයාගෙන් පෝෂණය වෙච්ච දේශපාලඥයෙක්. ඉතින් ඒ වගේ දෙයක් කියනවා නම් අමරවීර නෙමෙයි අමනවීර කියලා නමට දාගත්තා නම් හරි කියලා මම කියනවා. කවුරු මොනවා කිව්වත් රටේ ජනතාව දන්නවා මේ දෙදෙනා රටටවත්, ජනතාවටවත් වරදක් කරලා නැහැ කියලා.

Q ඔබ ඒකාබද්ධ විපක්‍ෂයෙන් ඉවත් වෙන බවට මුහුණු පොතේ සටහනක් තබා තිබුණා. නමුත් ඉවත් වුණේ නැහැ?
නැහැ, මම ඉවත් වෙන්න තීරණය කළේ නැහැ. යම්කිසි කාරණයක් සම්බන්ධව මගේ විරෝධය පළකළා. මොකද අපේ ආණ්ඩුව තිබුණු කාලයේ සමහර කාරණාවලට විරෝධය පළ නොකළ නිසා තමයි අපේ ආණ්ඩුවට ගෙදර යන්න වුණේ. මම යම්කිසි වරදක් පෙන්නුවේ, ඒ මහින්ද මහත්තයාගෙන් ඉවත් වෙනවා හෝ පක්‍ෂයෙන් ඉවත් වෙනවා කියන එක නෙමෙයි.

Q ඒ කියන්නෙ ඒකාබද්ධය ඇතුළෙ යම් අර්බුදයක් තියෙනවා?
මෙහෙමයි අපේ පක්‍ෂයට විවිධ පාර්ශ්ව එකතු වෙනවානේ. පැරණි වැරදි කරපු අය එක්ක මේ ගමන යනවානම්, අපි පරිස්සමි විය යුතුයි. නැත්නම් විශාල ගැටලුකට මුල් වෙන්න පුළුවන්. එවැනි දෙයක් මම පෙන්වලා දුන්නෙ නැතුව පක්‍ෂය ඇතුළෙ වෙන අර්බුදයක් නැහැ.

Q ආණ්ඩුවෙන් පිරිසක් ඒකාබද්ධ විපක්‍ෂයට එකතු වෙන්න ඉන්නවා කියන කතා ඇත්තක්ද?
ඒ දේවල් දැන්ම හෙළි කළොත් මම හිතන්නේ අගයක් නැහැ. හැබැයි එහෙම එන එක හොඳයි. මොකද ආණ්ඩුවේ ඉන්න අය අනාගතයක් ගැන හිතනවා නම් කරන්න තියෙන එකම දේ ආණ්ඩුවෙන් එළියට බහින එක. ඕනෙ නම් විපක්‍ෂයේ වාඩි වෙන්න පුළුවන්, නැතිනම් අපේ සන්ධානයට එකතු වෙලා ආණ්ඩුවක් හදන්න පුළුවන්. ඒ වෙනුවෙන් වසර දෙකක් ගිහින් හරි පිරිසකට හෝ මොළේ පෑදුණු එකට අපි සතුටුයි. හැබැයි ඒ තීන්දුව ඉක්මනට ගන්නවා නම් හොඳයි නැතිනම් ප්‍රමාදය පසුතැවීමට හේතු වෙන්නත් බැරි නැහැ.

Q පිං කැට සම්බන්ධව අද විශාල කතාබහක් ඇතිවෙලා තිබෙනවා නේද?
වර්තමාන රජය පිං පෙට්ටියට අත තියන්න කලින් කල්පනා කළයුතු දෙයක් තමයි, 2015 බිලියන 26ක වංචාවක් වෙලා තියෙනවා. මුලින් එය හොයලා අනෙක් වංචා ගැන පසුව හොයනවා නම් හොඳයි. මං හිතන්නෙ නැහැ මොනම විහාරස්ථානයකවත් පිං පෙටිටිය අයුතු ලෙස ප්‍රයෝජනය ගත්තා කියලා. අනෙක මේවා ප්‍රසිද්ධියේ කතා කළ යුතු දේවල් නෙමෙයි. බිලියන 26ක් බැඳුම්කරයෙන් වංචා කරලා එය අප්‍රසිද්ධියේ කතා කරනවා. පිං පෙටිටිය ගැන ප්‍රසිද්ධියේ කතා කරනවා. රටකට ගිය කලක් තමයි ඉතින්.

Q ඡායා කැබිනට්ටුවේ ඔබට ධීවර අමාත්‍යාංශය නොලැබීමේ කනගාටුවක් තිබෙනවා නේද?
කොහෙත්ම නැහැ. ඡායා කැබිනට්ටුව අපි සාමූහිකව ගත්ත තීන්දුවක්. අපට විෂයයන් 03ක් යෝජනා කරන්න තිබුණා. එහිදී මට ක්‍රීඩා අමාත්‍යාංශය ලැබුණා. ඉතින් ක්‍රීඩා අමාත්‍යාංශයේ කෙරෙන කාර්යභාරය සොයාබලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා. පාර්ලිමේන්තුවේ වාද විවාද කරනවා. එයට ධීවරද, ක්‍රීඩාද කියලා නැහැ, ලැබුණු දේ උපරිමයෙන් මම කරනවා.

Q හිටපු අමාත්‍යවරයෙකු වන මහින්ද විජේසේකර මහතා රෝගීව දිවි ගෙවනවා. පැවැති හෝ වර්තමාන රජයෙන් එතුමා පිළිබඳව සොයාබැලීමක් කරන්නෙ නැහැ නේද?
මගේ පියා රෝගී වුණු අවස්ථාවේ සිට අද දක්වා මහින්ද රාජපක්‍ෂ අපේ ජනාධිපතිතුමා සොයා බැලීම් කළා. එම රජයෙන් ගත් ක්‍රියාමාර්ග නිසා තමයි එතුමා මෙහෙම හරි අද ජීවත්ව ඉන්නෙ. කොටි ත්‍රස්තවාදීන්ගෙන් ප්‍රහාරයට ලක්වුණු අයගෙන් අද ජීවත්ව ඉන්නේ ඉතා සුළු පිරිසක්. ඉතින් වර්තමාන රජයෙන් පියා සම්බන්ධව කිසිවක් බලාපොරොත්තු වෙන්නෙ නම් නැහැ.

-ada.lk

No comments:

Post a Comment

Post Bottom Ad